2017-09-01

උත්සව ධනවාදය හරහා පාරිභෝජනවාදය අපේ ජීවිත ගිලගන්නා හැටි

Photo: Daily Mail
ධනවාදයේ මූලික ම නරකක් වන්නේ පාරිභෝජනවාදයයි. සරලව කිව්වොත් පාරිභෝජනවාදය කියන්නෙ පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කිරීම වැනි දෙයක්. ඒ කියන්නෙ ජීවිතයේ මූලික අරමුණ පරිභෝජනය ලෙස සැලකීම. 

පරිභෝජනයේ හා පාරිභෝජනවාදයේ වෙනස හඳුනා ගැනීම තරමක් සංකීර්ණයි. මිනිසාට හොඳින් ජීවත් වීම සඳහා පරිභෝජනය කරන්නට සිදු වෙනවා. හැබැයි, පරිභෝජනය කළ යුත්තෙ වගකීමෙන්. පරිභෝජනය කියන්නෙ තනියෙන් තමන් කැමති දෙයක් තමන්ට ඕනැ විදියට ‘මයි කාර් - මයි පැට්‍රල්' විදියට කිරීමේ නිදහස නෙමෙයි. පරිභෝජනය කියන්නෙ සමාජය ගැන, පරිසරය ගැන, සොබාදහම ගැන සංවේදීව කළ යුතු වැඩක්. වගකීමක් සහිත පුරවැසියෙක් කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයෙක්.

පාරිභෝජනවාදය විසින් කරන්නේ මිනිසා පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කරන, තේරුමක්, වගකීමක් නැති, ආත්මාර්ථකාමී මෝඩයකු බවට පත් කිරීම. එවැන්නන් පරිභෝජනය කරන්නෙ තමන්ට ඕනැ නිසා නෙමෙයි. වෙනත් අය කියන නිසා. 

පාරිභෝජනවාදයේ හොඳ සංකේත දෙකක් තමයි කොකා කෝලා සහ පීට්සා. කොකා කෝලා කියන්නෙ තනිකර ම ප්‍රචාරණය මත මනසේ නිර්මානය වී තිබෙන පානයක්. ඒ හැර එහි කිසිම හරයක් නැහැ. කොකා කෝලා විරෝධීන් ඒ ගැන කියන ඇණ මුරිච්චි ගලවන්නට පුළුවන්, ටොයිලට් හෝදන්නට පුළුවන්කමක් හෝ එහි තිබෙනවා ද යන්න සැක සහිතයි. එහි තිබෙන්නෙ වතුරවලින් අධික ලාභ ලැබීමේ උපායක් විතරයි. කොකා කෝලා විරෝධයත් එක්තරා විදියකට ප්‍රචාරය ම තමයි.

පීට්සා කියන්නෙත් මහ ලොකු රස කෑමක් නෙමෙයි. ඒවා කන්නෙ ප්‍ර‍ර්ශනයට හා විලාසිතාවට. ඒවා කන ගමන් ෆොටෝ අරන් ෆේස්බුක් දාන්න. නැතිනම්, ඩිලිවරි එකෙන් හරි, ඩ්‍රෝන් එකෙන් හරි ඒක ගෙනත් දෙනකොට අල්ලපු ගෙදර අයට පේන්න. අපි ඊ්යෙ පීට්සා කෑවා, හරි ෂෝක් අනේ කියල පහුවෙනිදට ඔෆිස් ගිහින් කියන්න.

පාරිභෝජනවාදය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබෙනවා.

පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් හඳුනා ගන්නට තමයි පහත දැක්වෙන ලැයිස්තුවෙන් උත්සාහ කරන්නෙ. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍යයි. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.

  • භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
  • පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
  • අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
  • අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
  • අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධික බල තණ්හාව
  • අධික කාම තෘෂ්ණාව

මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ  අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.


  • අධික ජංගම දුරකථන ලෝලය
  • සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
  • සෙල්ෆි පිස්සුව
  • ට්‍රිප් යාමේ, පිටරට යාමේ අධික ආශාව හෙවත් සංචරණ තෘෂ්ණාව
  • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධ්‍යාපන සහතික තෘෂ්ණාව
  • තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
  • ටියුෂන්
  • පාසල්වාදය
  • ජාතිවාදය
  • ආගම්වාදය
  • බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
  • මංගල්‍යෝත්සව
  • අවමංගල්‍යෝත්සව
  • දාන පිංකම්
  • උපන් දින සාද
  • දන්සැල්
  • අවුරුදු උත්සව
  • පාසල් ස්පෝට්මීට්
  • දේශපාලන රැස්වීම්
  • පොත් දොරට වැඩීම්
  • කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
  • අධික ලෙස මත්පැන් බීම
  • කම් සැපෙහි අධික ලොල්කම
  • ටෙලිනාට්‍ය
  • වැඳීම
  • සංගීත සංදර්ශන
මේ ලැයිස්තුවේ තිබෙන කහ පාටින් හයිලයිට් කරපු අවස්ථා සමග උත්සව ධනවාදය දැඩිව බැඳී තිබෙනවා. මේ වන විට රජය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් රාජ්‍ය සංවිධාන, අලෙවිකරණ සමාගම් ආදිය අධික වශයෙන් මෙවැනි උත්සව පැවැත්වීම කරනවා. 

මේ උත්සව වෙනුවෙන් ම වෙනම ඉවන්ට් මැනේජ්මන්ට් සමාගම් තිබෙනවා. ඇමතිලා තමන්ගෙ චක්ගෝලයන්ගෙ ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට තමයි උත්සව පැවැත්වීම භාර දෙන්නෙ. ඇතැම් විට චක්ගෝලයන්ගෙ කොම්පැනි නමට විතරයි. උන් උත්සව සංවිධානය ඇත්ත ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට උප කොන්ත්‍රාත්තු දෙනවා ගානක් තියාගෙන. අමාත්‍යාංශවලට වෙන් වෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නෙ මේ උත්සව වෙනුවෙන්.

රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් රාජ්‍ය සංවිධාන එහෙමත් කරන්නෙ ඒ වැඩේම තමයි. ලංකාවෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න, සාමය ගොඩනගන්න, දුප්පත්කම නැති කරන්න එහෙම ලෝකයෙන් ලැබෙන ආධාරවලින් වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නෙ ඩිජිටල් බැනර්, ස්ටේජ් සෙටප්, හෝටල් බිල්, සැන්විචස්, පැටිස්, කට්ලට්, තේ , කෝපි, වතුර බෝතල්, අත පිහින කඩදාසි ආදිය වෙනුවෙන්. 


මීට අමතරව, නැට්ටුවෝ, පොටෝකාරයෝ, භාෂා පරිවර්තකයෝ, ජෝකර්ලා, වීදි නාට්ටිකාරයෝ වගේ තව පිරිසකුත් ජීවත් වෙන්නෙ උත්සව ධනවාදයෙ පිහිටෙන්. 

උත්සව ධනවාදය බිම් මට්ටමට එනකොට මංගල උත්සව, අවමංගල උත්සව, කොටහළු පාටි, උපන් දින උත්සව, දාන, කඨින පිංකම් ආදිය සම්බන්ධව පොටෝ ඇල්ලිලි, වීඩියෝ කෙරිලි, බෙර, නැටුම්, අෂ්ඨක, ඇඳුම් ඇන්දීම, ෆේෂල්, මල්, කේක්, මත්පැන්, පුටු, ටෙන්ට්, කොඩි, ලයිට් ආදිය විතරක් නෙමෙයි දැන් දැන් රූපවාහිනියෙන් බණ කීම් ආදිය දක්වාත් පාරිභෝජනවාදී උත්සව ධනවාදය විහිදෙනවා. 

පාරිභෝජනවාදී උත්සව ධනවාදයේ පහළ මට්ටමේදී උත්සව පැවැත්වීම වෙනුවෙන් මිනිසුන් ණය වෙනවා. එයින් ලබන සතුටට වඩා ණය නිසා ලබන දුක හා ඒ නාස්ති වූ මුදල උපයන්නට වෙන මහන්සිය නිසා සිදු වන කරදරය වැඩි වෙන්නට පුළුවන්. 

මේකෙ අනෙක් පැත්ත තමයි, රටේ උත්සව ධනවාදය. ඒක නිසා රජය ණය වෙනවා. ඒ බර ජනතාව පිට පැටවෙනවා. මානව හිමිකම් තත්වය වර්ධනය කරන්න, සාමය ඇති කරන්න, දුප්පත්කම දුරලන්න සහ තවත් බොහෝ හොඳ අරමුණු වෙනුවෙන් වෙන් වෙන මුදල්වලින් සැන්විචස්, කට්ලට්, පැටිස්, කේක්, ෆ්‍රයිඩ් රයිස් කාලා මධ්‍යම පන්තිකයන් දියවැඩියා, අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල් ආදිය හදා ගන්නවා. 


උත්සව ධනවාදය පිටුදැකීම පාරිභෝජනවාදයට එරෙහි අරගලයේ හා සමාජවාදී ජීවින විලාසයක් වෙනුවෙන් කරන අරගලයේ අත්‍යවශ්‍ය පියවරක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.