2017-07-12

ලංකාවේ දුප්පත්කමට හේතු

ධනවත්කමට හේතු වන විවාහයක්. අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව හා අර්ජුන් ඇලෝසියස් 
ලංකාවේ දුප්පත්කමට මූලික හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනෙක මා ෆේස්බුක්හි ආරම්භ කරන ලද සංවාදයකට බොහෝ දෙනෙක් දායක වූ හ. ඒ අනුව, මම ලැයිස්තුවක් සකස් කළෙමි.

මේ කරුණු විධිමත් අධ්‍යයනයක් නොව, කිසියම් නිදහස් පොදුජන සංවාදයක් පමණයි. දරිද්‍රතාව පිළිබඳ විධිමත් අධ්‍යයනයන් කරන, පත්‍රිකා ඉදිරිපත් කරන සංවාදයක් වෙන ම  තලයක තිබෙනවා. ඒකයි මේකයි අතරත් වැඩි වෙනසක් තිබේ ය කියා මා සිතන්නේ නැහැ. හේතුව, ඒවායේ යෙදී සිටින අයට දුප්පත්කම කියන්නේ තමන්ගේ වෘත්තියට සම්බන්ධ කොම්පියුටරයක්, පුටුවක් වගේ දෙයක් වීමයි. ඒ අධ්‍යයනවත්, මේ පොදු ජන සංවාදවත් කිසිවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ නැහැ. උන්ට කෝකත් එකයි. 

මෙන්න මේ ටික තමයි පෙළගස්වා ගත්ත හේතු. ඕනැ නම් විද්‍යාර්ථියෙකුට මේවා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම කළා ය කියලාත් විශේෂ දෙයක් වෙන්නෙ නැහැ. මේවා අපි අපි ම වෙනස් කර ගත්තොත් අපි ගොඩ. නැතිනම් ඉතින් සොරි අපට ම තමයි. 

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය
6. කම්මැලිකම
7. බෝ නොවෙන රෝග
8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම
9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)
10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම
11. සූදුව හා ලොතරැයි
12. පවුල් සැලසුම් නො කිරීම
13. රාජ්‍ය අකාර්යක්ෂමතාව
14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ
15. සහනාධාර

මෙයට දේශපාලනය ද එකතු විය යුතු බව ඇතැමෙකු යෝජනා කළත්, මගේ අදහස වන්නේ දේශපාලනය යනු මෙම සියලු මූලික සාධකවල බලපාන මහා පොදු සාධකයක් බවයි. මෙතැනදී උත්සාහ කරන්නේ වඩා සංයුක්ත ලෙස මෙම හේතු හඳුනා ගන්නට ය.

ආගමත් මෙහිදී වැදගත් සාධකයක්. හේතුව එය සෑහෙන දුරට නූගත්කම පෝෂණය කරනවා.

භාණ්ඩ හා සේවා වෙළෙන්දන් අධික ලාභ ලබන අවස්ථා තිබුණත්, බදු හා තරගකාරිත්වය නිසා ඒවා නියාමනය වෙනවා.

කම්කරුවන් සූරා කන්නට සූදානම් ව්‍යවසායකයන් ඕනැ තරම් ඉන්නවා. ඒත්, ලංකාවේ වෙළඳපොළේ තිබෙන ශ්‍රම හිඟය නිසා බුද්ධිමත්, පුහුණු කම්කරුවන්ට තත්වය කළමනාකරණය කර ගන්නට බැරිකමක් නැහැ. ඒ වුණාට, කම්කරුවන් වැඩිදෙනෙකු නූගත්. උගත් අයත් ඉහත කී ඒවාට අහු වෙලායි ඉන්නෙ.

මේ පිළිබඳව චානුක වත්තේගම විසින් පළ කරන ලද අදහස ද වැදගත්. “ලංකාව දුප්පත් ඇයිද කියන ප්‍රශ්නය අහන්න කලින් අපි අහමු සිරිදාස කියන ගොවියා දුප්පත් ඇයිද කියලා. බේබදුකම, කම්මැලිකම වගේ පුද්ගල සාධක යම් පමණෙකට හේතු වෙන්න පුළුවන් හැබැයි ප්‍රධාන හේතුව සිරිදාසට ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් කරන්ට නොහැකි වීම. ඇයි ගොවිතැනින් වෙනත් රැකියාවකට යොමු වෙන්න බැරි කියලා ඇහුවොත් ඒකට හේතුව ඒ තරමට රට කාර්මීකරණයව නොතිබීම. (රටේ කර්මාන්තයක් නැතිනම් ඉගෙන ගත්තා කියලත් රැකියා නෑ.) රටේ කර්මාන්ත දියුණු වෙනවා නම් සිරිදාසට වැඩි වැටුපක් ලැබෙන කොට ඔය අනෙක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. කර්මාන්ත (භාණ්ඩ හා සේවා දෙකම) දියුණු නොවන්නේ නම් ඔය වෙන මොන ප්‍රශ්නය විසඳුවත් දුප්පත්කම නැති කරන්න බැහැ."

මිනිසුන්ගේ චින්තනය වැදගත් නැති බව හා වැදගත් වන්නේ පාලකයන්ගේ චින්තනය පමණක් බවත් ඔහු පවසනවා. ඇත්තෙන් ම ලංකාවේ දැන්, දැන් පාලකයන්ට කිසිදු චින්තනයක් තිබේ ද යන්න පැහැදිලි නැහැ.

ආචාර්ය ජග්දීෂ් භගවති වරෙක කිව්වෙ වෙන රටවල් දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් මදිවෙලා හැබැයි ඉන්දියාව දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් වැඩි වෙලා කියලා ය කියමින් මෙවැනි මාතෘකා පොදු ජනතාව කතා කිරීම වැදගත් නැති බවත් චානුක පවසනවා. එහෙත්, හේතුව හරියට ම දන්නා බව සිතන චානුක වත්තේගමට මේ රටේ ජනාධිපතිකම තබා ජනාධිපති උපදේශකකමක්වත් ලැබෙයි ද කියන එක සැකයි. ඒ වගේ ම චානුක සමස්තය ග්‍රහණය කරගෙන තිබෙනවා ය කියා සිතන සිතීමත්, ස්වයං අධි තක්සේරුවක් බවයි ඔහු විසින් පළ කරන ලද අදහස්වලින් පෙනෙන්නේ.

මේ සියලු කතාබහ අතරේ සොඳුරු සිත විසින් පළ කරන ලද මෙම අදහස තුළ සැලකිය යුතු ඇත්තක් ගැබ්ව තිබුණා.

මම ඉස්සර දැකපු දුප්පත්කම දැන් දකින්න නැහැ. මම ඉස්සර දැකපු දුප්පත් ගෙවල් බිත්ති කටු මැට්ට, සෙවිලි කරල තිබ්බෙ පොල් අතු වලින් , බිම ගොම මැට්ට. පත්තු කලේ භූමිතෙල් ලාම්පු. ඒකෙත් අර පෝසත් අය ඒ කාලේ පාවිච්චි කරල අයින් කරපු සූත්‍රිකා බල්බ වලින් හදපුවා. ලිප් දර. මිදුල වැලි සහ පුංචි ගල්.පුංචි ළමයි හොටු නාවර පෙරාන පැය 24ම හෙලුකොට්ටෙන්. කොටින්ම මම වයස අවුරුදු හත අට වෙනකම්ම හිටිය ගේත් බාගයක් ඔය වගේ. ඒත් දැන් අපේ අහල ගම් 7ක පොල් අතු සෙවිල්ලපු ගෙයක් හොයා ගන්න නෑ. දැන් ඉන්නේ දුප්පත්තු නෙමේ “මධ්‍යම ප්‍ාන්තික දුප්පත්තු. ඒකත් විහින් දුප්පත් වෙලා."

මේ සංවාදයේ මා දුටු සුවිශේෂ ම කාරණය වන්නේ දුප්පත්කමට ඉවහල් වන කිසියම් සමාගමක නමක් කිසිවෙකු සඳහන් නො කිරීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.