2017-07-19

පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙන වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුත්තේ ඇයි?

කොළඹ කොලේජ් බේබිලාට ගැහැනුන් පෙනෙන හැටි 
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද නිපුණතා තරගයේ අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සම්මාන හා තෑගි බෙදා දීමේ අවස්ථාව නරඹන්නට යන්නට සිදු වුණා, රාජකාරි අවශ්‍යතාවක් එක්ක.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගොස් තිබුණේ එක වගේ ටී කමිස, කැප් තොප්පි දාපු තරුණ පිරිසකගෙන්. ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙන්නට ඇති.

මෙහි සම්මාන හා තෑගි බෙදා දෙද්දි එක්තරා කරුණක් වෙත මගේ අවධානය යොමු වුණා. එය ජනාධිපතිගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩිගේ සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ විශේෂ අවධානයට යොමු වෙනවා නම් හොඳයි.

සම්මාන දෙද්දි, යාන්ත්‍රික ශිල්පි, වැද්දුම්කරු, ජලනල කාර්මික වැනි කාර්මික අංශ විතරක් නෙමෙයි පරිගණක ග්‍රැෆික් නිර්මාන, දෘඪාංග වැනි ශිල්පයන් සම්බන්ධයෙනුත් පළමු, දෙවන, තෙවන ස්ථාන සියල්ල දිනා ගත්තේ පිරිමි සිසුන්.

සිසුවියන්ට සම්මාන ලැබුණේ කොණ්ඩා මෝස්තර, ඇඳුම් මැසීම, හෙද සහායක වැනි ක්ෂේත්‍රවල විතරයි.

බොහෝ දෙනෙකුට මේ ගැටලුවේ තිබෙන දේශපාලනය ග්‍රහණය වන්නේ නැහැ. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ ශ්‍රම විභජනයේ මූලික ලක්ෂණයක්.

ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35ක්වත් ශ්‍රම බලකායෙ නැහැ. ඒ කියන්නෙ රැකියා කරන්නෙ කාන්තාවන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකු පමණයි.

රැකියා කරන කාන්තාවනුත් වැඩිපුර යොමු වෙන්නෙ ගුරු වෘත්තිය, ලිපිකාර සේවය, හෙද සේවය, වෛද්‍ය වෘත්තිය, කාර්යාල කටයුතු වැනි රැකියාවලටයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවා කාන්තා සේවා නියුක්තිය අවමයි.

වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල ඉංජිනේරු හා අලුතෙන් පටන් ගත් තාක්ෂණ පීඨ හැර අනෙක් සියල්ලේ ම සිසුන් අති බහුතරය කාන්තාවෝයි. ඒ වගේ ම අධ්‍යාපන විද්‍යා පීඨවල කාන්තාවන් ප්‍රතිශතය සියයට 80කට වැඩියි.

කාන්තාවන් තාක්ෂණික අංශයේ රැකියාවලට යොමු නො වන්නේ ඇයි?

හොරණ අරමනාගොල්ලේ පිහිටි මරුති සේවා මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ එක් තරුණියක් ඉතා හොඳින් මෝටර් කාර්මික රැකියාවක යෙදී සිටියා.

කාන්තාවන් අතර ව්‍යවසායිකාවන් ප්‍රතිශතය සියයට එකටත් වඩා අඩුයි.

කාන්තාවන් බහුතරයක් රැකියා කරන ගුරු, හෙද, ලිපිකරු වැනි රැකියා ක්ෂේත්‍රවල පවා වෘත්තීය සමිති නායකයන් වන්නේ පිරිමි.

මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ දේශපාලනික කාරණාවක්. ලංකාවේ විප්ලව කරන්නට බැහැ කාටවත් මේ තත්වය වෙනස් කරන තාක් කල්.

රටේ ජනගහණයෙන් සියයට 52ක් කාන්තාවෝ. ඒ වුණාට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට හයයි. පළාත් සභාවල සියයට හතරයි. පසුගිය කාලයේ තිබුණු පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දෙකයි.

ලංකාවේ නියෝජිත දේශපාලනයේ තිබෙන මේ ගැටලුව ඉතාම කටුක විදියට නිරූපණය කරන්නේ වාමාංශික පක්ෂවල වීම තරම් විහිළුවක් තවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන මේ පක්ෂ දෙකේම සත්‍ය දේශපාලන මණ්ඩල හා මධ්‍යම කාරක සභාවල එකම එක ගැහැනියක්වත් නැහැ. අනෙක් වාමාංශික පක්ෂ, කල්ලි, කණ්ඩායම්වල තත්වයත් එයමයි.

නායකයන් සමග ඇති ලිංගික හා පවුල් සම්බන්ධතා නිසා පක්ෂවලට එකතු වන ගැහැනු ටික දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්නට මේ වාමාංශිකයන් අතර කාන්තාවන්ට තියෙන්නේ බත් තැම්බීම, තේ හැදීම, රතු කමිස මැද දීම, රෙදි මසා හෝ ටීචිං කර හෝ දරු පවුල් නඩත්තු කිරීම වැනි වාමාංශික පිරිමින් විසින් බාල වැඩ ලෙස සලකන කටයුතු පමණයි. න්‍යායික සාකච්ඡා වගේ සිරා වැඩ නම් කාන්තාවන්ට දෙන්නෙම නැහැ. එයාලට පැවරෙන්නෙ ඇවිත් අහන් ඉඳලා යන එක වගේ ඒවා විතරයි.

හැබැයි කොටි සංවිධානය මේ අයට වඩා එක පැත්තකින් ඉදිරියෙන් හිටියා. ඒ ඔවුන් කාන්තා මිලිටරි නායිකාවන් පවා බිහි කළ නිසායි. හැබැයි අවසානයේදී වුණේ කාන්තාවන් මිනිස් බෝම්බ බවට පත් කරන එකයි. 

ඔය ඔක්කොම බොරු ය කියලා අප කියන්නේ ඒ නිසායි.

සමාජය වෙනස් කරන්නට අවශ්‍ය නම්, වැඩ කරන ජනතාව අතර හා විශේෂයෙන් ම කාර්මික වැනි ක්ෂේත්‍ර තුළ කාන්තා සේවා නියුක්තිය ගැනත්, කාන්තා ව්‍යවසායකත්වය ගැනත් විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

දේශපාලන පක්ෂ මුලින් ම ගැහැනුන්ට බිය නො විය යුතුයි. ඔවුන්ට වැඩියෙන් ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතුයි. 

ඔක්කොටම කලින් පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙමින් වගකීම්වලින් ගැලවෙමින් සිටින වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුතුයි. ඔවුන් පුනරුත්ථාපනය වෙන්නට රැකියාවක් කරන එක ඉතා වැදගත්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.