ඉන්දීය මහ මැතිවරණය කොයිබට ද?

ඉන්දියාව හැඳින්වෙන්නේ ලොව සුවිසල් ම ප්‍රජාතන්ත්‍රවාදය ලෙසයි. එහි විශාලත්වයටත් වඩා එහි ජීවත් වන දැවැන්ත ජනගහණය හා ජන විවිධත්වය එයට හේතුවයි. එහි ජනගහණය බිලියන 1.23 හෙවත් කෝටි 123 ඉක්මවයි. ජනගහණයෙන් ඉන්දියාව දෙවෙනි වන්නේ කෝටි 135කට වැඩි ජගහණයක් ජීවත් වන චීනයට පමණි.

වාර්ගික කණ්ඩායම් ලෙස සැලකූ විට ඉන්දීය ජනගහණය ඉන්දු ආර්යයන් 72%කින් ද, ද්‍රවිඩ සම්භවයක් සහිත ජනයා 25%කින් ද, මොංගෝලොයිඩ් හා වෙනත් ජනයා 3% කින් ද සමන්විත වේ.

වැඩිපුර ම කතා කෙරෙන භාෂාව හින්දි ය. ප්‍රතිශතය 41%කි. ඉංග්‍රීසි භාෂාවට ආදේශක නිල භාෂාවක තත්වය හිමි වන අතර ජාතික, දේශපාලනික හා වානිජ සන්නිවේදනයේදී එයට සුවිශේෂ තැනක් හිමි වේ. තවත් රාජ්‍ය භාෂා 14කි. ඒවා නම් බෙංගාලි, තෙළිඟු, ‍මරාති, දෙමළ, උර්දු, ගුජරාටි, මලයාලම්, කන්නඩ, ඔරියා, පංජාබි, ඇසෑම්, කාශ්මීර්, සින්ධි හා සංස්කෘත යන ඒවායි.

2011 ජන සංගණන වාර්තා අනුව, ඉන්දියාවේ ජනගහණයෙන් 70%ක් පමණ ජීවත් වන්නේ ගම්වලයි. එහෙත්, එරට වේගවත් නාගරීකරණයක් සිදු වෙමින් ඇති දේශයකි. 2011 - 15 අතර කාල සීමාවේදී වසරකට 2.5%ක පමණ නාගරීකරණයක් සිදු වනු ඇතැයි ගණන් බලා තිබේ. නවදිල්ලි, මුම්බායි, කල්කටා, චෙන්නෙයි, බැංගලෝර් යන නගර ප්‍රධාන පුරවර වේ. 

ඉන්දියාවේ සමාජ සංවර්ධනය ලංකාවට සාපේක්ෂ වශයෙන් ගත් කල තිබෙන්නේ පසුපසිනි. විෂමතා සුවිසල් ය. නිදසුනක් ලෙස 2006දී එරට ළමා ජනගහණයෙන් 43.5%ක් අඩු බර දරුවන් ලෙස සැලකිණි. ශ%ම බලකායෙන් 12%ක් ළමා ශ්‍රමිකයෝ වූහ. 2009 සංඛ්‍යාලේඛන අනුව වෛද්‍යවරුන් සිටියේ ජනගහණයෙන් 1000කට 0.65කි. 

ඉන්දීය දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වැය කරන්නේ 3.2%කි. සෞඛ්‍යයට වැය කරන්නේ 3.9%කි. (2011)

2014 අප්‍රේල් 07දා සිට මැයි 12දා දක්වා අදියර නවයකින් පැවැත්වෙන්නේ ඉන්දියාවේ 16වන පාර්ලිමේන්තු මැතිවරණයයි. ලෝක් සභා නමින් හැඳින්වෙන ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන ගණන 543කි. ඒ වෙනුවෙන් කෝටි 81.45ක් ජනයා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. අලුත් ඡන්ද කෝටි 10කි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ තක්සේරු අනුව, ආරක්ෂක වියදම් හා දේශපාලන පක්ෂ විසින් දරනු ලබන වියදම් හැර, ඉන්දීය මහ මැතිවරණය සඳහා වැය වන මුදල ඉන්දීය රුපියල් කෝටි 3500ක් හෙවත් බිලියන 35කි. ඉන්දීය මාධ්‍ය අධ්‍යයන මධ්‍යස්ථානය තක්සේරු කර තිබෙන ආකාරය අනුව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම ඉන්දියානු රුපියල් බිලියන 305ක් හෙවත් කෝටි 30,500කි. 

මැතිවරණය කඩින් කඩ පැවතියත් ප්‍රතිඵල නිකුත් වන්නේ එක ම දිනයකයි. ඒ මැයි 1‍6වෙනිදා ය. 

මැතිවරණයේ ප්‍රධාන තරගය තිබෙන්නේ දැනට ආසන 206ක් හිමි, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රසය හා ආසන 116ක් හිමි නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයයි. දිනන පක්ෂය කුමක් වුවත් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ආසන 272 තනිව ලබා ගැනීම දුෂ්කර ය. එහෙයින් වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමට අනිවාර්යයෙන් ම සිදු වේ. 

මෙම මහා මැතිවරණයේ ඉදිරියෙන් සිටින පක්ෂය වන්නේ භාරතීය ජනතා පක්ෂයයි. එහි මැතිවරණ කමිට‍ුවේ සභාපති වන ගුජරාට මහ ඇමති නරේන්ද්‍ර මෝඩි අනාගතයේ අගමැති ධුරයට පත් වීමට ‍බොහෝ දුරට ඉඩ ඇති කෙනෙකි. ඔහු 2013 වසරේ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකදී තමන් හින්දු ජාතිකවාදියකු ලෙස හැඳින්වී ය. එහෙත් භාරතීය ජනතා පක්ෂයේ පරමාදර්ශී රාජ්‍යය වන රාමගේ ජන්ම භූමියට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ සංවර්ධනය නිසා වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමේ වැදගත්කම ඔහු ඉස්මතු කර දැක්වී ය. 

නරේන්ද්‍ර මෝඩි මෙවර ආසන දෙකකට තරග කරයි. ඉන් එකක් බරනැස වන අතර එහිදී ඔහු‍ගේ ප්‍රතිවාදියා වන්නේ දූෂණ විරෝධී රැඩිකල් නායකයකු වන අර්වින්ද් කෙජ්රිවාල් ය. පොදු ජන පක්ෂයේ නායකයා වන ඔහු දිල්ලියේ හිටපු මහ ඇමතිවරයා ය. පොදු ජන පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය ආසන 400කට තරග කරයි. සම්ප්‍රදායිකව වාමාංශික පක්ෂ විසින් අත් පත් කරගෙන සිටි ස්ථානය මෙවර හිමි කරගෙන සිටින්නේ එම පක්ෂය විසිනි. 

ඉන්දීය ජාතික කොංග්‍රසයේ අගමැති අපේක්ෂක ලෙස නම් කර තිබෙන්නේ රාහුල් ගාන්ධි ය. 

ඉන්දීය ජාතික කොංග්‍රසය මෙම මැතිවරණය තරග කරන්නේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය සමගයි. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් නිර්මානය කර තිබෙන සන්ධානය වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. 

මෙ මැතිවරණයේ අපේක්ෂකයන්ගෙන් 20%ක් පමණ ජනවාර්ගික හා ආගමික හිංසන, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පුද්ගලයන් පැහැරගෙන යාම් වැනි අපරාධ චොදනාවලට ලක් වූ අයයි. අනාගත අගමැති බවට පත් විය හැකි නරේන්ද්‍ර මෝඩි පවා 2002 වසරේ ගුජරාටයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අයෙකි. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දහසක් පමණ ජනයා මිය ගිය හ. 

මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණයක් ලෙස මාධ්‍ය වි‍ශ්ලේෂකයන් විසින් හුවා දක්වා තිබෙන්නේ සමාජ මාධ්‍ය භාවිතාවයි. ඉන්දියාවේ කෝටි නවයකට වැඩි ෆේස්බුක් භාවිතා කරන්නෝ ද කෝටි තුනකට වැඩි ට්විටර් භාවිතා කරන්නෝ ද වෙති. අන්තර්ජාලය‍ මෙන් ම ස්මාට් ජංගම දුරකථන ඇප් ද ඡන්ද ප්‍රචාරණ කටයුතුවලදී පුළුල් ලෙස භාවිතා කරන ලදී. නරේන්ද්‍ර මෝඩිට ලක්ෂ 37ක් පමණ ට්විටර් සාමාජිකයෝ සිටිති. ඔහුට ඒක්කෝටි විසි ලක්ෂයක් ෆේස්බුක් අනුගාමිකයෝ සිටිති. රාහුල් ගාන්ධි ට්විටර් පණිවුඩ නො යවන අතර ඔහු‍ගේ ෆේස්බුක් ගිනුමේ 190,000ක් අනුගාමිකයෝ සිටිති. 

තමිල්නාඩුවේ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරය ලංකාවට සුවිශේෂ ය. අපි මීළඟ කලාපයෙන් ඒ ගැන සාකච්චා කරන්නෙමු.  

-ජනරළ 2014 - 04 - 12


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. //201 - 15 අතර කාල සීමාවේදී //

    //209 සංඛ්‍යාලේඛන අනුව//

    ?

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා. ස්තුතියි

      Delete
  2. SRI LANKA PARLIAMENT EKE MEMBERSLA KEEYADA?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා