2014-04-12

රූකාන්ත පවුලට අපරාධ කර නිදහස් වූ ජනාධිපති ආරක්ෂකයන් ආපසු සේවයට යන්නේ කා ළඟ ද?

රූකාන්ත සිද්ධියෙන් ලැබූ තුවාල
වර්ෂ 2000 ජනවාරි මස 26 වැනිදා රාත්‍රීයේ ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ නිවසට කඩා වැදී රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක් වටිනා රන් ආභරණ සහ ජීප් රථය කොල්ලකෑම, ඔවුන්ට තර්ජනය කිරීම සහ ශාරීරික බාධක සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, පාණදුර පළාත්බද මහාධිකරණය විසින් සිරදඬුවම්, වන්දි හා දඩ නියම රන ලද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය‍ටතේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් දසදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කර තිබේ.

එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිලාගේ දොන් නිහාල් විජේසිරි, මාන්කොට්ට කංකානමලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පිල්වල ගුණතිලකගේ ලෙස්ලි චන්ද්‍රතිලක, දිසානායක අප්පුහාමිලාගේ අතුල සේනාරත්න, රතුහැලඹගේ ධර්මසිරි බට්ටාගේ ලලින්ද රාජරත්න, ඉෂාන් සම්පත් රණසිංහ සහ බොහොතලේ ආරච්චිගේ උපාලි ආරියදාස යන අය මේ අනුව ඊයේ නිදහස ලැබූ හ.

මේ වනාහි ඉතා නරක පූර්වාදර්ශයකි. මෙම ජනාධිපති සමාවෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද?

බලවතුන් යටතේ විවිධ තනතුරුවල සේවය කරන අතරතුර, එම බලවතුන්ගේ උවමනාව පරිදි අපරාධ කරන විශාල පිරිසක් රටේ සිටිති. ඔවුන්ට සාමාන්‍යයෙන් නීතියෙන් මුක්තිය හිමි වේ. එහෙත්, අහම්බයකින් හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමට බැරි වුවහොත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය ඊළඟට තහවුරු වන ආකාරය මෙමගින් සහතික කර තිබේ.

මෙමගින් දෙන පණිවුඩය මෙයයි: "අප කියන දේ බය නැතිව කරපල්ලා. අසු වෙන්න එපා. ඒත්, වැරදීමකින් හෝ අසු වුණත් අපි නුඹලා බේර ගන්නෙමු."

ඒ අතර ම මෙම පිරිස චන්ද්‍රිකාට එරෙහිව ද භාවිතා කරන්නට ආණ්ඩුව වග බලාගෙන තිබේ. 

පහර දීමට නියෝග කිරීමේ සිට නිදහස් කිරීමට නියෝග කිරීම දක්වා මෙම සමස්ත සිද්ධිය විසින් හෙළිදරව් කර තිබෙන්නේ මේ රටේ ජනාධිපතිවරුන් බවට පත් වන අය කෙබඳු පුද්ගලයෝ ද යන්නයි.

අප මෙම සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රශ්න කීපය අසන්නෙමු. 

  •  මෙම සිද්ධියේදී නඩු පැවරීම කරන්නේ රූකාන්ත ගුණතිලක පවුල විසින් නො වේ. පොලිසිය විසිනි. රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම නඩුවේ සාක්ෂිකරුවෝ පමණි. විත්තිකරුවන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටින්නට සාක්කිකරුවන්ට තිබෙන අයිතිය කුමක් ද?
  • ලේ වන්දි ලෙස මුදල් ගෙන  අපරාධකරුවන්ට නිදහස ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අපරාධයක වින්දිතයන්ට ලබා දී ඇත්තේ අරාබි රටවල් වැනි ප්‍රජාතාන්ත්‍රික අතින් නොදියුණු මිනිස් සමාජයන්හි නීති පද්ධති තුළය. ලංකාව පරමාදර්ශ කර ගන්නේ එවැනි නීති පද්ධති ද?
  • මෙම සිද්ධියෙහි ඍජු වින්දිතයන් රූකාන්ත චන්ද්‍රලේඛා පවුල බව සැබෑ ය. එහෙත්, එමගින් සිදු වූ සාමය කඩවීම සමස්ත සමාජයට ම අදාළ ය. මෙම නඩු විභාගය වෙනුවෙන් මහජන මුදල් වැය කරන ලදී. මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නො තිබිණි. අඩු තරමේ පාර්ලිමේන්තුවේ හෝ මේ පිළිබඳ කතා නො කෙරිණි. ඒ පිළිබඳව කියන්නට ඇත්තේ කුමක් ද?
  • මෙම අපරාධය සිදු කිරීම සඳහා නියෝග දුන් අය එළියේ සිටියදී එය ක්‍රියාත්මක කළ අය සිරගත කිරීමේ අසාධාරණකම ගැන කියැවිණි. ‍එසේ නම් කළ යුතුව ති‍බුණේ අපරාධය ක්‍රියාත්මක කළ අය නිදහස් කිරීම නොව, නියෝග දුන් අයට එරෙහිව අලුත් පරීක්ෂණයක් ආරම්භ කිරීමයි. එසේ නො කළේ ඇයි?
  • මෙම අපරාධයේදී වින්දිතයන්ට බරපතල ශාරීරික අඩන්තේට්ට‍ම් හා මානසික පීඩාවන් සිදු කරන ලදී. එසේ කළේ තනිකරම නියෝගය නිසා පමණයි ද? මෙම අපරාධකරුවන් එයින් යම් වින්දනයක් ලබා ඇති බව පැහැදිලි ය. එසේම, තමන්ගේ ඉහළ නිලධාරියකු දෙන නියෝගය නීති විරෝධී නම් එය ක්‍රියාත්මක නො කර සිටීමේ අයිතිය රජ‍යේ සේවකයන් වී සිටි විත්තිකරුවන්ට තිබේ. මෙම සමාව දීම ඔවුන් විසින් කරන ලද වැරදි අගය කිරීමක් නො වේ ද?
  • රූකාන්ත අපරාධයට ලක් වූයේ ඔහු එක්සත් ජාතික පක්ෂයට සහාය දෙමින් සිටියදී ය. පසුව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය ප්‍රකාශ කළේ ය. එයත්, මෙම නිදහස් කිරීමත් අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්නේ කෙසේ ද?
  • අවසන් ප්‍රශ්නය මෙයයි. නිදහස ලැබීමෙන් පසු මොවුන් නැවත සේවයට යනවාද? සේවය කරන්නට යන්නේ කාට ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com