2019-08-20

කෝප් රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම සහ පාර්ලිමේන්තු විවෘතභාවය

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 18 ලංකා පුවත්පතෙනි)

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීම් දැන් මාධ්‍යයට විවෘත ය. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
Translations by Creative Content Consultants
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන පරිදි සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ ප්‍රථම සැසිවාරයේදී සාමාජිකයින් විසින් සභාපතිවරයකු පත්කර ගනු ලබන අතර එහි ගණපූරණය 04කි.
1979.06.21 දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයේ වගකීමක් ඇති රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහතික කිරීමයි. ඕනෑම පුද්ගල‌‌යෙකු තමන් ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයන් පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ දේපළවලට ප්‍රවේශ වීමටත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට බලය තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ද මේ හා සමාන ම පාර්ලිමේන්තු කාරක සභාවකි. එය රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ යෙදෙයි. මෙම සංවිධානයන්හි ගිණුම් විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කරනු ලබන අතර කාරක සභාවේ විමර්ශන කටයුතු වලට අදාල පදනම ඉන් සැලසේ. කාරක සභාව පාර්ලිමේන්තුවට සිය වාර්තා ඉදිරිපත් කරන අතර ඒවායේ ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනුගමනය කළ යුතු නියමයන් ලෙස සැලකේ.
පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීම රටේ ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීමට වහල් වේ. මෙය කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය. “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදු වෙමින් පවතින වර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට පුරවැසියන් හට  පාර්ලිමේන්තුව ඔස්සේ  මැදිහත්වීමට තිබෙන අවස්ථා තව දුරටත් පුලුල් වීමක් ලෙස වැදගත්වේ. 
“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම මගින් රාජ්‍ය ආයතනයන් හි මුල්‍ය කළමානකරණය පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු වන අතර, සිවිල් සමාජයට මෙම කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වන තොරතුරු ඔස්සේ තවදුරටත් පොදු අධිකාරීන් ගේ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉඩක් ලැබෙයි.”
පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාවල කටයුතු ද කඩිනමින් මාධ්‍යයට විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
OpeningParliament.org යනු තම රටවල පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක ආයතන නිරීක්ෂණය, ඒවාට උපකාර කිරීම සහ විවෘතභාවය වැඩි කිරීම සඳහා වැඩ කරන ලොව සිවිල් සංවිධාන සම්බන්ධ කිරීමට උපකාර කරන වේදිකාවකි. එය පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ ප‍්‍රකාශයට පදනම සැකසුයේ එම සංවිධානය විසිනි. මේ වන විට ලොව පුරා සංවිධාන රැසක් එම ප්‍රකාශය සම්මත කර තිබේ.
එම ප්‍රකාශයේ විධායක සාරාංශයේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ ප‍්‍රකාශයේ අරමුණ වන්නේ ජාතික, උප ජාතික හෙවත් පළාත් සහ පාරජාතික ව්‍යවස්ථාදායක ආයතනවලට පාර්ලිමේන්තු කටයුතුවලදී වැඩි විවෘතකමක් සහ පුරවැසි මැදිහත්වීමක් ඇති කිරීම සඳහා ඇපකැප වන ලෙස පාර්ලිමේන්තුවලින් ඉල්ලා සිටීමයි.
පුරවැසියන්ට පාර්ලිමේන්තු තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම අරභයාත්, පුරවැසියන්ට පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගිවීමට තිබෙන හැකියාව ශක්තිමත් කිරීම සඳහාත්, පාර්ලිමේන්තු වගවීම වර්ධනය කිරීම සඳහාත් රජයන්ට බලපෑම් සිදුකළ යුතු ය. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහාත් පාර්ලිමේන්තු, පාර්ලිමේන්තු නිරීක්ෂණ සංවිධාන සහ පුරවැසියන් අතර අතර සංවාදයක් අවශ්‍ය ය.
පාර්ලිමේන්තු තොරතුරු අයිති ජනතාවටයි. එම තොරතුරු පුරවැසියන් විසින් නැවත පාවිච්චි කිරීමටත්, නැවත පළ කිරීමටත් හැකි විය යුතු ය. පාර්ලිමේන්තු තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට පුරවැසියන්ට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා නීතිමය විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කළ යුතු ය. පාර්ලිමේන්තු පටිපාටි පිළිබඳ පුරවැසි අවබෝධය ප‍්‍රවර්ධනය කිරීමටත්, විවෘතකම සහ පාරදෘෂ්‍යභාවය වර්ධනය කිරීම සඳහා වෙනත් පාර්ලිමේන්තු සමග යහභාවිතාවන් බෙදාහදාගැනීම පිණිසත් පාර්ලිමේන්තුවට වගකීමක් තිබේ.
විවෘත සහ මනා පිළිවෙලකින් යුතුව පාර්ලිමේන්තු තොරතුරු අන්තර්ජාලය හරහා නිදහස් කළ යුතු බව OpeningParliament.org පෙන්වා දෙයි. එමගින් පුරවැසියන්ට ඒවා පුළුල් පරාසයක මෙවලම් භාවිතා කරමින් විශ්ලේෂණයට සහ නැවත පාවිච්චියට අවස්ථාව ලැබේ. පාර්ලිමේන්තු තොරතුරු පහසුවෙන් සොයාගත හැකි විය යුතු ය. එසේම, තොග වශයෙන් බාගත කරගැනීමේ හැකියාව ද තිබිය යුතු ය. ඒවා ගවේශණය කිරීම සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කරගැනීමේ අයිතිය ද ජනතාවට තිබේ. Manthri.lk වෙබ් අඩවිය මෙවැනි ප්‍රයත්නයකට මනා උදාහරණයකි.
ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ හා දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ඒ සඳහා යෝග්‍ය පුද්ගලයන් නොවේ. පාර්ලිමේන්තුවේ කාර්යභාරය වන්නේ නීති, ප්‍රතිපත්ති සම්පාදනය බව හෝ ඇතැමෙකු දන්නේ නැත. පාර්ලිමේන්තුව තිබෙන්නේ ගම්වල පාරවලට තාර දැමීමට යයි සිතන විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිති. 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලදී මෙවැන්නන්ගේ චර්යාවන් කුප්‍රකට ය. එහිදී පොදු දේපලවලට හානි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. එසේම, එකී කුමන්ත්‍රණයේ නියමුවෝ ද නිරුපද්‍රිතව දිගට ම කඩාකප්පල්කාරී ක්‍රියාවල නියැලෙමින් සිටිති.
මෙම තත්වය වෙනස් කිරීම ද පහසු නැත. එහෙත්, පාර්ලිමේන්තුව වෙනුවෙන් දැවැන්ත මහජන ධනයක් වැය වේ. එබැවින් මහජන මුදල්වල වගවීම පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් පුරවැසියන් මැදිහත් විය යුතු ය. පාර්ලිමේන්තුව වැඩි වැඩියෙන් ජනතාවට විවෘත කරවා ගැනීමට තව තවත් බලපෑම් කළ යුතු ය. එසේ විවෘත වන අවස්ථා භාවිතා කරමින් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීම පුරවැසියන්ගේ, සිවිල් සමාජ සංවිධානවල සහ ජනමාධ්‍යවල වගකීමකි.
එය සිදු නොකර පාර්ලිමේන්තුව වැඩක් නැහැ යි කියමින් ප්‍රතික්ෂේප කිරීම හා එය හුදු විහිළුවක් ලෙස සැලකීම දේශපාලනික ක්‍රියාවක් නොවේ. එකී විහිළුව නඩත්තු කිරීම සඳහා මහජන මුදල් කෝටි ගණනින් වැය වේ.
පාර්ලිමේන්තු විවෘතභාවය පිළිබඳ සංකල්පය හුදෙක් ම ජාතික පාර්ලිමේන්තුවට පමණක් සීමාවන්නක් නොවේ. ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයක් ක්‍රියාත්මක විය. මෙම පළාත් සභා රැස්වීම්වල සිදුවන්නේ කුමක් ද යන්න මාධ්‍ය විසින් පවා වාර්තා කරන්නේ එහි කෝලාහලයක් ඇති වූ විට හෝ මන්ත්‍රීවරුන් පිරිසක් අලුත සවි කළ ටැබ්වලින් කාමුක චිත්‍රපට බැලීමක් හෝ කළ විට පමණි. එහි සම්මත වූ යෝජනා ආදිය පිළිබඳ ජනතාව සොයා බලන්නේවත් නැත.
පළාත් පාලන ආයතන මට්ටමේදී ද පුරවැසියන්ට සභා කටයුතු සඳහා මැදිහත්වීම සඳහා නීතියෙන් සලස්වන ලද ඉඩකඩ තිබේ. එම අවස්ථා භාවිතා කරන්නේ කුමන පුරවැසියා ද? දේශපාලකයන්ට බැන බැන සිටීමෙන් සමාජය වෙනස් වන්නේ නැත. සමාජය වෙනස් කරන්නට නම් දේශපාලකයා පැත්තක තබා සක්‍රිය, ප්‍රගතිශීලී පුරවැසියකු හැදීම වෙනුවෙන් වැඩ කළ යුතු ය.

පළාත් සභා මැතිවරණයක් නැහැ; ජනාධිපතිවරණය දෙසැම්බර් 7ට පෙර

ශ්‍රී ලංකාවේ මේ වන විට නිල කාලය අවසන් වී තිබෙන පළාත් සභා නවය සඳහා නව සභිකයන් තෝරාගැනීමේ මැතිවරණ ජනාධිපතිවරණයට පෙර නොපැවෙත්වෙන බව තහවුරු වෙමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින පුවත්පත්වල පළ කරන ලද දැන්වීමක් මගින් දෙසැම්බර් මස 7දාට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් තැපෑලෙන් ඡන්ද දැමීමේ සුදුසුකම් ඇති රජයේ සේවකයන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.
Translations by Creative Content Consultants
එම දැන්වීම අනුව ජනාධිපතිවරණයක් කැඳවීමෙන් පසු තැපෑලෙන් ඡන්දය දැමීමට ඉල්ලා සිටීමේදී ප්‍රමාදයන් සිදුවීම වළක්වාගැනීම සඳහා 2018 ඡන්ද හිමි නාමලේඛනයේ පරිපාලන දිස්ත්‍රික්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය හා නම, ඡන්ද කොට්ඨාසයේ අංකය, ග්‍රාම නිලධාරි කොට්ඨාසය, වීදියේ/ ගමේ නම, ඡන්ද හිමියාගේ සම්පූර්ණ නම, තමන්ගේ නමට අයත් අන්‍රක්‍රමික අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු සූදානම් කර තබාගන්නා ලෙස ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, මෙම ජනාධිපතිවරණය සඳහා භාවිතා කරනු ලබන්නේ 2019 ඡන්ද හිමි නාමලේඛනය බව ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා දැනුම් දෙයි.
පළාත් සභා ඡන්ද මේ වසර තුළ නොපැවැත්වුවහොත් තමා සභාපති තනතුරින් ඉවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මාස කීපයකට ඉහතදී පැවසී ය.
2017 අගභාගය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයක් ජයගත නොහැකි තත්වයක සිටි හෙයින් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් 2017 ඔක්තෝබර් මාසයේදී සම්මත කරගන්නා ලදී. මෙයට එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ද හේතු විරහිතව සහාය පළ කළ හ.
එම පනත අනුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් කොමිසමක් පවා පත් කරන ලදී. එම කොමිසමේ වාර්තාව 2018 පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන ලදී. එය පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු වූ මුත් 2018 අගෝස්තු මාසයේදී එම වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය විය. එය ඉදිරිපත් කළ එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවා එයට සහාය දැක්වූයේ නැත. වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය දුන් හ.
ඒකාබද්ධ විපක්ෂය මෙන් ම දෙමළ මුස්ලිම් පක්ෂ ද එයට එරෙහි වූ හ. අවසාන ප්‍රතිඵලය ලෙස දැන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැත. එසේ පවත්වන්නට නම් එක්කෝ අලුතින් සීමා නිර්ණය සිදු කර සම්මත කරගත යුතු ය. නැතිනම්, පැරණි ක්‍රමයට ම එය පවත්වන්නට පනතක් සම්මත කරගත යුතු ය. මෙම මොහොත වන විට කිසිදු පක්ෂයක් එයට උනන්දුවක් දක්වන බවක් නොපෙනේ.

මාලබේ කොළඹ සැහැල්ලු දුම්රියේ මේ දවස්වල වෙන දේ

මාලබේ සහ කොළඹ අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියරට අදාළ කණු ඉදිකරන ස්ථානවල සිදුරු හාරා පරීක්ෂා කිරීමේ bore hole tests ආරම්භ කර තිබෙන බව මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
Translations by Creative Content Consultants
මෙම පරීක්ෂණ මගින් කණු සිටවීම සඳහා අදාළ වලවල් සැකසිය යුතු ආකාරය, ගැඹුර, පසේ ස්වභාවය ආදිය පිළිබඳ අධ්‍යයනය කරනවා.
මුළුමනින් ම කණු මතින් ඉදි වන මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාළ ස්ථාන 200ක පමණ මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා සමාගම් පහක් සේවයේ යෙදෙන බව අමාත්‍යාංශය පවසනවා.
මෙම පරීක්ෂණ නාගරික කටයුතුවලට අවම බාධා සිදුවන පරිදි කරන බව අමාත්‍යාංශය පවසනවා.
ඩොලර් බිලියන 2.2ක් වන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා විසින් ඩොලර් බිලියන 1.8ක සහන ණයක් ලබාදෙනවා.
මෙම දුම්රිය ස්ථාන 16ක් සහිත මෙම කිලෝමීටර් 17 දුම්රිය මාර්ගයේ ගමන් වාරයක් සඳහා වැය වන්නේ විනාඩි 35ක් පමණි.

බුදුන් උපන්නේ ලංකාවේ කියන කණ්ඩායම සමග මතවාදී ගැටුම් උග්‍ර වේ

බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව පවසමින් ජනප්‍රියත්වය පසුපස හඹා යන බෞද්ධ දෘෂ්ටිවාදී කණ්ඩායමක් හා ප්‍රධාන ධාරාවේ බෞද්ධ භික්ෂූන් අතර මතවාදී ගැටුම් ඇති වී තිබේ.
Translations by Creative Content Consultants
මෙම මතවාදය ප්‍රවර්ධනය කරන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂුවක් විසිනි. මෙම භික්ෂුව හා ඔහුගේ අනුගාමිකයන් ඓතිහාසික සාක්ෂි සියල්ල බටහිර හා ඉන්දියානු කුමන්ත්‍රණ ලෙස බැහැර කරති. මෙම ආගමික කණ්ඩායම වටා මේ වන විට විශාල අනුගාමිකයන් පිරිසක් රැස් වී සිටිති.
මෙම භික්ෂුව විසින් දේශනා කරනු ලබන බණ ද මතභේදයට ලක් වී තිබේ.
මෙම ගැටුමේ අලුත් ම අවස්ථාවක් ලෙස, බුදු දහම විකෘති කර ප‍්‍රචාරය කරන විවිධ කණ්ඩායම් පිළිබඳව දැඩි පියවර ගන්නා බව ත‍්‍රිපිටක ග‍්‍රන්ථ සංරක්ෂණ මණ්ඩලයේ සාමාජික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමි පවසයි.
එහෙත්, එසේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ලබන්නේ ඉදිරියේදී බව එහිමියෝ පවසති. 

වැලිපැන්නෙ හදන වෙස්ල් වගේ කාරෙක ලක්ෂ 33කට විකිණේ (වීඩියෝ)

මතුගම වැලිපැන්නේ අලුතින් විවෘත කළ මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් සමාගමේ කර්මාන්තශාලාවේ නිපදවන SUV පෙනුමක් තිබෙන වාහනය රු. ලක්ෂ 33ක් වැනි මිළකට දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත බව වාර්තා වෙනවා.
Translations by Creative Content Consultants
2016 වසරේදී මහින්ද්‍රා සමාගම විසින් හඳුන්වාදෙන ලද මෙම වාහනය KUV 100 නම් වන අතර එහි ඇත්තේ 1200 cc පෙට්‍රල් එන්ජිමක්. කියන වෙස්ල් කාරයේ පෙනුමට සමාන එය ඉන්දියාවේ රු. ලක්ෂ පහකට අඩු මිළකට තමයි මුලින් හඳුන්වා දුන්නේ. එම වාහන ලක්ෂයකට වඩා ඉන්දියාවේ අලෙවි වී තිබෙනවා. එහි එයාර් බෑග් – ඇලෝයි වීල් ආදියත් තිබෙනවා. එය මැනුවල් ගියර් කාරයක්.
මෙම කාරයේ තිබෙන ඇකොලේඩ් සීට්, සියැට් ටයර්, එක්සයිඩ් බැටරි, මොඩිකොන් දුම් බට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයි.
මහින්ද්‍රා අයිඩියල් ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ සහ ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගමේ හවුල් ව්‍යාපාරයක්. එහි කොටස්වලින් 65%ක් අයිති අයිඩියල් මෝටර්ස් සමාගමටයි. ශ්‍රී ලංකා රුපියල් කෝටි 200ක පමණ ආයෝජනයක් වන එහි ආරම්භයේදී වසරකට වාහන 5000ක් හැදිය හැකියි. ඍජු හා වක්‍ර රැකියා 200ක් පමණ සැපයෙනවා. අයිඩියල් මෝටර්ස් කුමාර් වෙල්ගම අයත් වන වෙල්ගම පවුලේ නලින් වෙල්ගමගේ කර්මාන්ත ශාලාවක්.
මෙම කාරය ගැන විස්තර සහිත වීඩියෝවක් පහත දැක්වේ.

2019-08-19

අනුර කුමාර දිසානායක යනු කවුරු ද? (වීඩියෝ)

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 19දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය.
Translations by Creative Content Consultants
අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ.
ඔහුගේ පියා කම්කරුවෙක්. මව ගෘහනියක්. ඔහුට එක් සහෝදරියක් සිටිනවා. ඔහු දැන් විවාහකයි දරුවන් දෙදෙනෙකි.
මුලින් තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පසුව තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස උසස් පෙළ විභාගය ගණිතය විෂය ධාරාවෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහු ය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වන්නේ පාසල් ශිෂ්‍යයකු ලෙසයි.
1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා මුලින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු තවත් සිසුන් පිරිසක් සමග පසුව කැලනිය විශ්වවිද්‍යාලයට මාරුවෙයි. 1995දී ඔහු උපාධිය ලබාගනියි.
1997 දී ‘සමාජවාදී ශිෂ්‍ය සංගමයේ’ ජාතික සංවිධායක ලෙස ද මධ්‍යම කාරක සභාවට ද පත්වන ඔහු 1998දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත්වෙයි.
1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජවිපෙ මහ ඇමති අපේක්ෂකයා විය.
ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000දී ය.
ජවිපෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී බිහිකරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2004දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන අනුර කුමාර දිසානායක එම රජයේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් ඇමති ධුරය ද හොබවනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ නායකත්වයෙන් ඇරඹුණු ප්‍රධාන ව්‍යාපෘතියයි.
2008 වසරේදී ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් පත්වන ඔහු 2010දී ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වෙනවා.
2015 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි. 2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනවා.
2014 පෙබරවාරි 2 දින පැවැත්වුණ ජවිපෙ හත්වන ජාතික සම්මේලනයේදී අනුර කුමාර ජවිපෙ නායක ලෙස පත්විය.
ඔහුගේ විනෝදාංශය ලෙස ඔහු වරක් මාධ්‍යයක සඳහන් කළේ වැවේ පිහිනීමයි. ඔහු පිහිනුම් තටාකවලට කැමති නැති බව ද ඔහු එහි සඳහන් කළා.
ඔහුගේ ජීවිතයට බලපෑ පොත් වන්නේ මක්සිම් ගෝර්කිගේ අම්මා, ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය වැනි රුසියානු සාහිත්‍යය, ඒබ්‍රහම් ටී. කොවුර්ගේ පොත්, මාක්ස්, එංගල්ස්, ලෙනින්, මැන්ඩෙලා, කස්ත්‍රෝ, ගාන්ධි, මාෂල් ටිටෝ වැනි අයගේ චරිත කතා ආදියයි.

2019-08-16

බලංගොඩ බීමත් පියා අතින් පුතා මිය ගිය ඇත්ත හේතුව මෙන්න

අජිත් පැරකුම් ජයසිංහ

බලංගොඩ මස්සැන්නේ 17 හැවිරිදි පිරිමි දරුවකු වන මලිත් ධනංජය දින කීපයකට පෙර මිය ගියේ බීමත් පියා විසින් මවට එල්ල කරන ලද උදලු මිටි පහරක් එයින් මව බේරීමට ගිය ඔහුගේ හිසට වැදීමෙනි.
මෙම සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද පියා මාංචු පිටින් බන්ධනාගාරයේ සිට අවමංගල්‍ය නිවසට පැමිණ හඬා වැළපුණේ ය.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමැරුම්වලට ප්‍රධාන හේතුවකි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ කැලනිය විශ්වවිද්‍යාලය එක්ව ශ්‍රී ලංකාවේ පළාත් පහක කාන්තාවන්ගේ ‘ස්වාභාවික නොවන මරණ’ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ පරිදි ශ්‍රී ලංකාවේ කාන්තා මිනීමැරුම් තුනෙන් එකකට වඩා සිදුවන්නේ සමීපතම සහකරුවාගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙනි.
අධ්‍යයනයේදී විවරණය කරන ලද මිනීමැරුම් 243ක් අතරින්, සිදුවීම් 128කදී ම වැරදිකරුවා ලෙස හඳුනාගනු ලැබුවේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ය. 
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සමීපතම සහකරුගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දරුවන් මිය යාම ද එතරම් ම දුර්ලභ තත්වයක් නොවේ. මව හෝ පියා විසින් දරුවන් ඝාතනය කර තමන් ද සියදිවි නසාගැනීම නිතර නිතර වාර්තා වන තත්වයකි.
මෙම ගැටලුසහගත තත්වය තවදුරටත් පවතින්නේ ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය ද කර තිබියදී වීම ඉතා කණගාටුදායක ය. නීති හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
2005 අංක 34 ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ගැන ඔබ දන්නවා ද?
එම පනතේ අර්ථ දක්වා තිබෙන ආකාරයට ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියාවක් යනු පීඩාවට පත් තැනැත්තිය සහ වරදකරු අතර ඇති පෞද්ගලික ස්‌වභාවයේ සම්බන්ධතාවෙන් පැන නගින්නා වූ, නිවසේ පරිසරය තුළදී හෝ පිටතදී හෝ වරදකරු විසින් යම් පීඩාවක්‌, අතවරයක්‌, සාපරාධී බිය ගැන්වීමක්‌, උද්වේගශීලී බැණොවැදීමක්‌, බරපතල ස්‌වභාවයේ අවමන් කිරිමක් හෝ අපහාස කිරීමක් වන ක්‍රියා කලාපයකි.
පනතේ 2 (1) වගන්තියට අනුව, එම ගෘහස්‌ථ පීඩාව වැළැක්‌වීම සඳහා ආරක්‌ෂා කිරීමේ ආඥාවක්‌ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට ගෘහස්ථ පීඩාවට ලක් වන තැනැත්තාට අයිතියක්‌ ඇත. පොලිස් නිලධාරියකුට වුව ද අධිකරණයෙන් එම ඉල්ලීම කළ හැකි ය. වයස අවුරුදු 18ට අඩු ළමයකු සම්බන්ධයෙන් නම් මව, පියා, භාරකරු, පොලිසිය හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ඉල්ලීම කළ හැකි ය.
ප්‍රචණඩත්වය පිළිබඳ තතු දන්නා කවුරුන් හෝ අයකුගේ /අයවලුන්ගේ දිවුරුම් ප්‍රකාශන ඉල්ලුම් පත්‍රයට ඇමිණීම වැදගත් වේ.
ගෘහස්ථ පීඩාව සිදු වන ස්ථානය අයත් අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් උසාවියට කෙළින් ම හෝ නීතිඥවරයකු හෝ පොලිසිය මාර්ගයෙන් හෝ පැමිණිලි කරන්නට පුළුවන. මහේස්ත්‍රාත් උසාවියට යාමට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත.
පනතේ 3 වගන්තියට අනුව එසේ ඉල්ලීමක්‌ කර ඇති විටක අධිකරණය විසින් වහාම එම ඉල්ලීම සලකා බැලිය යුතුය. පනතේ 4 වන වගන්තිය අනුව නඩු විභාගය අවසන් වන තුරු නොසිට සැකකාර පුද්ගලයාට එරෙහිව අතුරු ආරක්‌ෂාවක්‌ නිකුත් කිරීමටද අධිකරණයට බලය තිබේ. මෙවන් අවස්‌ථාවකදී පාර්ශ්වයන්ගේ යහපත පිණිස ඔවුන් උපදේශනයට යොමු කිරීමට ද අධිකරණයට බලය තිබේ.
ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමේ පනත අදාළ වන්නේ කාන්තාවන්ට පමණක් නො වේ. පීඩාවට ලක් වන තැනැත්තා කාන්තාවක වුණත්, පිරිමියකු වුණත් නීතිය විසින් එක හා සමානව සලකනු ලැබේ.
වැඩිහිටියෙකුට මානසික උද්වේගශීලී හිංසනයන් පැමිණවීම හැර සෙසු ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල දණ්ඩ නීතී සංග්‍රහය යටතේ ද දඩුවම් පැමිණ වියහැකි වරදවල් වේ. එබැවින් පොලිසිය ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ද සෙසු අපරාධ වලදී කටයුතු කරන ආකාරයට ම ය.
දැඩි ශාරීරික හා ලිංගික අපයෝජන අවස්ථාවන්හීදී වින්දිතයා ඒ ගැන රෝහලකට හෝ පොලිසියට වාර්තා කළ යුතුය. සිදුවී ඇති තුවාල අපරාධ සහගත ස්වභාවයක ඒවානම් අපරාධ නීතිය යටතේ වග උත්තරකරුට නඩු පැවරිය යුතු වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ (1995 අංක 22 දරණ සංශෝධිත පනතේ) ද හිංසාව, බරපතල හිංසාව, බරපතල ලිංගික අපයෝජනය, සහ මනුෂ්‍ය ශරීරයට සිදුකෙරෙන අපරාධ වැනි ක්‍රියා පොදු සාපරාධී ක්‍රියා ලෙස සැලකේ.
ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වන්නන්ට පිහිට ලබා ගත හැකි සේවා තිබේ. නො බියව ඒවා වෙත පිවිසෙන්න.
පොලිස් ක්ෂණික ඇමතුම් අංකය – 119
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1929
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1938