සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සහාය දෙන්න


 අජිත් පැරකුම් ජයසිංහ

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.

යෝජනාව සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකිය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.

ගැසට් මගින් පළකර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්තගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.

365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

නව සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.

Adapted from praja.lk


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා