හමුදාවල උසස්වීම් නිසා ආරක්ෂක වියදම් තවත් වැඩි වේද?


 

අජිත් පැරකුම් ජයසිංහ

14 වන ජාතික රණවිරු දිනය සැමරීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා සාමාජිකයින් 5,400 කට අධික පිරිසක් මැයි 19 සිට ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402ක් (නිත්‍ය හා ස්වේච්ඡා බළකාය) සහ සෙසු නිලයන් 3,348ක් උසස් කරන ලදී. බ්‍රිගේඩියර්වරුන් හත් දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල්වරුන් 19 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට, මේජර්වරුන් 33 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයට, මේජර්වරුන් නව දෙනෙකු තාවකාලික ලුතිනන් කර්නල් නිලයට, 115ක් කපිතාන්වරු මේජර් නිලයට, මේජර් (QM) නිලයට කපිතාන්වරුන් තිදෙනෙකු (QM), කපිතාන් නිලයට ලුතිනන්වරුන් 97 ක් සහ ලුතිනන් නිලයට දෙවන ලුතිනන්වරුන් 90 ක් (නිත්‍ය බලකාය සහ ස්වේච්ඡා බලකාය) මෙසේ උසස්වීම් ලබති.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුද්ගලයින් 1,731 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ උසස් නිලයට උසස් කරන ලදී. කාර්ය මණ්ඩලයේ සේවය සහ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඔවුන් දක්වන දායකත්වය අගයමින් මෙම උසස්වීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසයි.

කෙසේ වෙතත්, උසස් තනතුරු සඳහා පිරිනැමෙන ඉහළ වරප්‍රසාද හේතුවෙන් ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් තිබේ. 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය.

හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ද අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 2023 මුලදී පැවසීය.

යුද හමුදාවේ දැනට අනුමත සාමාජික සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වේ. තාක්ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් 2030 වසර වනවිට නිර්මාණය කිරීම අරමුණ බව ඇමතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ වැටුප් වලින් ආසන්න වශයෙන් පහෙන් පංගුවක් පමණ වැය වන්නේ හමුදා සඳහාය. 

විශේෂ කාණ්ඩ හැරැණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ලබාදීමට යෝජනාවක් 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැයෙහි තිබිණි.

2023 අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රු. බිලියන 400ක් වෙන්කර තිබේ. එය තුන්වන විශාලතම වැය ශීර්ෂයයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 614ක් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් රු. බිලියන 856ක් ද වෙන් කර තිබේ.

ආරක්ෂක වියදම් ගැන සලකා බැලීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පවා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බව අප අමතක නොකළ යුතුය. එසේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බලකාය වැනි ආයතන සඳහා වන වියදම්වලින් කොටසක් අධ්‍යාපනය සඳහා කරනු ලබන වියදම් ලෙස ද ගණනය කළ හැකිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?