2022 මැයි 9 පිළිබඳ සත්‍යය සෙවිය යුත්තේ ඇයි?


 

අජිත් පැරකුම් ජයසිංහ

2022 මැයි 9 සිදුවීම්වලට අවුරුද්දක් සපිරෙයි. එම දිනය ආසන්නයේදීම එම සිදුවීම් ඡායාරූපගත කර ප්‍රංශ පුවත් සේවය හරහා ලොවට බෙදාදුන් ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිද්ධියකි. ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වීම සතුටු විය හැකි කාරණයක් වන මුත්, ඒඑෆ්පීහි පළ වූ ඡායාරූප මාලාව නැවත බැලූ විට අපට රට, එහි ජනතාව සහ ඔවුන් විසින් පත්කරගන්නා ලද දේශපාලකයන් ගැන සතුටු විය හැකිද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා පිළිකුල් සහගත චිත්‍රයක් නිර්මාණය කරන සාමාන්‍ය නවකතාවක් වූ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ශෙහාන් කරුණාතිලකට පසුගිය වසරේදී මෑන් බූකර් සම්මානය හිමි වීම ද මෙහිදී සිහිපත් වේ.

2022 මැයි 9 සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් හා වාම ජාතිකවාදී දේශපාලකයන් දෙදෙනෙකු වන විමල් වීරවංශ හා ලාල් කාන්ත පවා කියන්නේ එය පසුපස කුමන්ත්‍රණයක් තිබූ බවයි. විමල්ට අනුව එය ඇමරිකානු කුමන්ත්‍රණයකි. කෙසේ වෙතත්, එම සිද්ධි මාලාවේ තිත් යා කරමින් නිර්මාණය කරගත හැකි එක් කතාවක් වන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රභූ දේශපාලනික නායකත්වය අහෝසි කර දැමීමේ ප්‍රයත්නයක් තිබූ බවයි. එය වැළකුණේ කෘතහස්ථ දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙනි. අනෙක් පැත්තෙන්, මෙම මහජන නැගිටීම විකල්ප දිශාවකට යොමුවනු දක්නට ලැබුණේ ද නැත. එය යොමු වී තිබුණේ නොනවතින විරෝධයක් හා කඩාකප්පල්කාරීත්වයක් දෙසටය. අරගලය කර තබාගෙන සිටින පිරිස් තවමත් ප්‍රදර්ශනය කරන්නේ එම අරාජිකවාදී චර්යාවන්මය.

2022 වසරේ සිදු වූ සිදුවීම් තිත් ලෙස සලකා යා කිරීම ඔස්සේ අනුමාන කතන්දරයක් නිර්මාණය කරගත හැකි මුත්, පරිපූර්ණ චිත්‍රයක් නිර්මාණය කරගැනීම දුෂ්කරය. 2022 වසරේ ආර්ථික අර්බුදය, මහජන නැගිටීම, දේශපාලනික හා ජාත්‍යන්තර අතපෙවීම්, ප්‍රචණ්ඩත්වය හා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පූර්ණ විමර්ශනයක් සිදුකළ හැකි කොමිෂන් සභාවක් පත්කිරීම වැදගත් වන්නේ එබැවිනි. එහිදී සිදුකරන ලද බරපතල අපරාධ සම්බන්ධයෙන් දැනටමත් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත්, සාමාන්‍ය වැරදි සිදුකළ අතිවිශාල පිරිසක් කිසිදු දණ්ඩනයකට ලක් නොවී නිදැල්ලේ වෙසෙති. එතැනින් නතර නොවී නැවත එසේ කරන බවට තර්ජනය ද කරති. තමන් අගය කරන මානව හිමිකම් උල්ලංඝනයන් මහත් අභිරුචියෙන් යුතුව නැවත නැවත සමරති.

2022 මැයි 9 අහඹු සිද්ධීන් මාලාවක එකතුවකින් අනපේක්ෂිතව නිර්මාණය වූවකි. ඒ පසුපස දේශපාලනික හා ප්‍රචණ්ඩ මැදිහත්වීම් තිබුණු බව රහසක් නොවේ. එහෙත්, ඒ සියල්ල එක් අරමුණකින් මනා සැලැස්මකින් ක්‍රියාත්මක කළ ඒවා නොවේ. උදාහරණයක් ලෙස, ගෝල්ෆේස් අසල අරගල භූමියට පහරදීමෙන් පසු ජනතාව එම ස්ථානයට පැමිණීම බොහෝදුරට ඒ මොහොතේ ප්‍රතිචාරයක් ලෙස සිදුවිය. එහෙත්, එහිදී ආරම්භ වූ පළිගැනීමේ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචාරය කිරීම මගින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිරවීමට දිරි දෙන ලදී. බොහෝ වාමාංශික, ලිබරල් හා ප්‍රගතිශීලී කොටස් මෙම ප්‍රචණ්ඩත්වය අගය කළහ. එයට දිරි දුන්හ. ඇතැමෙකු තවමත් එය තලුමරා රස විඳිති.

එහෙත්, මේ වසරේ හෙවත් 2023 වසරේ මැයි 9 දින පවත්වන ලද සැමරුම් ඊට වඩා භයානක කතාවක් කියයි. 2022 වසරේ එම දිනයේදී ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමක් සිදුවූ බව හා ආණ්ඩුවේ දේශපාලන පක්ෂවල ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාරාත්මක යම් යම් පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයන් සිදු වූ බව ඇත්තකි. එහි දේශපාලනික වැදගත්කම සැමරීමෙහි කිසිදු වරදක් නැත. එහෙත්, එහිදී සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්, වධහිංසනය, පොදු ප්‍රවාහන බස් රථ හා නිවාස ඇතුළු දේපළ ගිනිතබා විනාශ කිරීම් හා සෙසු ම්ලේච්ඡ ක්‍රියා මහත් අභිරුචියෙන් යුතුව නැවත නැවත සැමරීම බරපතළ ගැටලුවකි. බොහෝ අරගල ක්‍රියාකරුවෝ මැයි 9 සැමරුවේ එසේය. එය මැයි 9 ප්‍රචණ්ඩත්වයේම දිගුවක් විය.

අරගල ක්‍රියාකාරිකයකු හා යූටියුබර්වරයකු වන පියත් නිකේශල එදින උදෑසන 2022 මැයි 9දා ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ හා පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත්ව වධහිංසනයට ලක්කරන ලද දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මහින්ද කහඳමගේට දුරකථන ඇමතුමක් දෙමින් ඔහුට සිදුකළ වධහිංසනය සිහිපත් කරමින් විනෝද වන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය. වඩා භයානක කාරණය වන්නේ ඉන් පසු එම අරගලකරුවා වෙනත් සිද්ධියකදී පොදුජන පෙරමුණේ දේශපාලනඥයකුගේ ප්‍රහාරයට හා වධහිංසනයට ලක්වී රෝහල්ගත වීමයි.

අරගලකරුවන් විසින් සිදුකරන ලද මෙම ප්‍රචණ්ඩත්වයේ වමාරා කෑම මගින් ඇත්තටම සිදුවී තිබෙන්නේ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයන් කුපිත කිරීමයි. අනාරක්ෂාවට ප්‍රතිචාර දැක්වීමේ පදනමින් ඔවුන් අතර යළි සමගියක් ද නිර්මාණය වෙමින් තිබේ. ඔවුන් නිසගයෙන්ම ප්‍රචණ්ඩත්වයට නැඹුරු පිරිසකි. විශේෂයෙන්ම, 2022 මැයි 9 පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩියෙන්ම වධහිංසනයට හා බියගැන්වීමට ලක්වුණේ එම පක්ෂයේ පහළ මට්ටමේ ක්‍රියාකාරිකයන්ය. ඔවුන් හිංසනයට ලක්කිරීම නැවත නැවත මතක් කරමින් රසවිඳීම නින්දිත ක්‍රියාවකි. එය සිදු නොවිය යුතුව තිබුණු දෙයකි. එහෙත්, අදේශපාලනික අරගලකරුවන් විසින් මෙය නැවතත් ජුලි 9 ද සිදුකිරීමට ඉඩ තිබේ.

2022 වසරේ සිදු වූ ප්‍රචණ්ඩත්වය නැවත පැනනැගීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර සෑම පාර්ශ්වයකින්ම ගත යුතුය. ආර්ථික අර්බුදය නිසා ඇති වූ මෙම මහජන නැගිටීමට විසඳුම වන්නේ ආර්ථික තිරසරභාවය ඇතිකිරීම සඳහා පියවර ගැනීමයි. මේ වන විට ආණ්ඩුව එම දුෂ්කර පියවර ගනිමින් තිබේ. එහිදී ඇති වූ ප්‍රචණ්ඩත්වයට විසඳුම වන්නේ නැවත එවැනි ප්‍රචණ්ඩත්වයන් පැනනැගීමට අවස්ථා ලබා නොදීමයි.

2022 වසරේ සිදු වූ ප්‍රචණ්ඩත්වය, කඩාකප්පල්කාරීත්වය හා මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සත්‍යය සෙවීමේ ක්‍රියාමාර්ගයක් ද අවශ්‍යය. සියලු වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතුය. සියලු වැරදිකරුවන් වාර්තාගත විය යුතුය. වැරදි කර තිබෙන පරිමාණය අනුව පොදු සමාවක් ලබාදිය යුතුද යන්න සලකා බැලිය හැකිය. එහිදී සුළු වැරදිවලට සමාව දුන්නත්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, දේපළ විනාශ කිරීම්, වධහිංසනය වැනි බරපතල වැරදි සම්බන්ධයෙන් සමාව දිය යුතුද යන්නත් සාකච්ඡාවට භාජනය කළ යුතුය. නැවත නැවත මතුවෙමින් පවතින වීඩියෝ සාක්ෂි ඔස්සේ විමර්ශන ද පුළුල් කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ නීතියේ පාලනය නැවත පිහිටුවීමයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා