මා ඔබේ ආහාරයයි

වේදනාවෙන් බියෙන් ඇලලුණු
කඳුළු පිරි මුව දෙනෙත් ඔසවා
ගෙලින් ඩැහැගත් දත් පොකුර දෙස
අන්ත අසරණ ගොදුර බැලුවා

මුව වසාගෙන ගිරිය දෙදරා
නගන ගෙරවුම කණ පුරා
කුරිරු කොටි තෙම හිස් බැල්මකින්
ගොදුර දෙස නෙත් යොමු කළා

මිතුර නුඹ මගෙ අහර වේ
විලෝපිතයා මා නුඹේ
අන් කිසිත් නැත එපමණකි එය
ලෝක ධර්මය එසේ වේ

උපන්නොත් මියයන ලොවේ
මරණයත් ජීවිතය වේ
වේදනාවේ කඳුළු බිඳුවකි
මුව නෙතින් ගැලුවේ

මුව දෙනෙත් පියවී ගියා
රත් හිරුත් අවරට ගියා
කැණහිලුන්ගේ භීම වාදන
රෑ පුරා ඇසුණා

උදේ ආ ගිජු ලිහිණියන් හා
කපුටුවන් දහවල ගියා
දවස් ගෙවිලා පස් වුණා
අලුත් ගස් බිම පැළවුණා

මුවන් විතරක් නෙමෙයි කැළයේ
කොටිත් පැටවුන් ඉපදුණා
එකම තණ බිම උන් සියලු දෙන
ගොදුරු සොයමින් ගැවසුණා

- අජිත් පැරකුම් ජයසිංහ, 2023-04-11





Comments