පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු
අජිත් පැරකුම් ජයසිංහ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ….
පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී
අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.”
ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා:
රුපියල ශක්තිමත් කිරීම,
රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම,
වැඩි මිලට ඉන්ධන ආනයනය කර අඩු මිලට විකිණීම,
වැඩි මිලට ආනයනය කළ ඉන්ධන භාවිතා කර නිෂ්පාදනය කළ විදුලිය, ජලය ආදිය අඩු මිලට පාවිච්චි කිරීම,
අති විශාල අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය කර රටට දරාගත නොහැකි තරම් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද ලබාදීම.
මෙන්න මේවා තමයි වෙනස් කරන්න ඕනැ.
කොහොමද අපේ පාරක යන්නෙ?
රාජ්‍ය අංශයේ රැකියා ශ්‍රම ප්‍රමිතිය බවට පත්වීම වෙනස් කර ව්‍යවසායකත්වය දිරිගන්වන්නට ඕනැ.
ප්‍රාග්ධනය සඳහා සාධාරණ පොළියට ණය සුලබ කරන්නට ඕනැ.
තාක්ෂණය ලබාගන්නට මාර්ග විවෘත හා සුලබ කරන්නට ඕනැ.
දේශීය හා විදේශීය වෙළඳපොළ ප්‍රවේශය පහසු කරන්නට ඕනැ.
සමස්තයක් විදියට ව්‍යාපාරකරණය පහසු කරන්නට ඕනැ.
දූෂණය නැතිකරන්න ඕනැ.
දැන් තමයි අපි අතර විවාදය එන්නෙ. රජය බිස්නස් කරනවද, නැද්ද?
රජය බිස්නස් කරනවා නම්, දැන් කරන විදියට නම් නෙමෙයි. කළමනාකරණයේ සිට වෘත්තීය සමිති දක්වා පූර්ණ පරිවර්තනයක් ඇතිකරන්නට ඕනැ. චීනෙ, වියට්නාමෙ වගේ වෙන්න ඕනැ. කිසි සේත්ම ලංකාවෙ දැන් තියෙන විදිය වගේ නම් නෙමෙයි.
රජය බිස්නස් කරනවා නම්, ප්‍රාග්ධනය සොයාගන්න ඕනැ. ඒකට තව තවත් බදු අය කරනවාද? තව තවත් ණය ගන්නවාද? බදුවලට, ණයවලට සාධාරණ අන්දමින් ඵලදායීතාව ශක්තිමත් කරගන්නවාද? හැම මට්ටමකදිම දූෂණය නැතිකරන්න ඕනැ. ඒකට මං අර කලින් කියපු විදියෙ පරිවර්තනයක් කරගන්නට අපි කොච්චර සූදානම්ද?
නැතිනම්, හැකි තරම් විදේශ වෙළඳපොළ ඉලක්ක කරන විදේශ ආයෝජන ආකර්ශනය කරගනිමින්, දේශීය ආයෝජකයන් ද දිරිගන්වනවාද? ප්‍රාග්ධනය වගේම තාක්ෂණයත් ගෙන එන්නට ඔවුන් දිරිගන්වනවාද?
ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය මූලික තත්වයන් නිර්මාණය කරන එක දුෂ්කරයි. එක පාරට බෝයිං කොම්පැනිය වගේ ඒවා මේ රටේ ආයෝජනය කරන්නෙ නැහැ. එන අය පිළිඅරන් මුල ඉඳන් පටන් ගන්න අපි කැමතිද?
ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?
අපේ පාර මොකක්ද? ඒ සංවාදය නිර්මාණය වෙන්න ඕනැ ඔන්න ඔය වගේ ප්‍රශ්න මතුකරමින්.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.