අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ.
හේතුව, මූ මගේ වෙනත් යාළුවෙකුට කියලා මාව පරිස්සමෙන් ඇසුරු කරන්නය කියලා. ඇයි කියල ඇහුවාම මං දේශපාලනය කරන නිසාලු.
ඌ අංකූරා. හැබැයි කියල තියෙන්නෙ ඇත්ත. ඔය ඇත්ත මං සම්බන්ධයෙන් අපේ නෑදෑයන්, අසල්වැසියන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සෙ කියනවා. මං කරපු අවදානම් දේශපාලනික වැඩ එක්ක ඒක ඉතින් සාධාරණ කතාවක්.
මට ආදරේ කරපු ගෑනු මගේ ඔය ගතියටත් ආදරේ කළා. ඒ අය අතරින් එක ගෑනියෙකුව මං කසාද බැන්දා. අපි දෙන්නා වෙන්ඩු රවී වේලු යවී අයන්නයි පයන්නයි වගේ තාම ඉන්නවා.
කෙසේ වෙතත්, මං සම්බන්ධ ඔය කාරණේ නිසාම මං සම්බන්ධකම් එකතු කරන්නෙ නැහැ. සමහරුන්ගෙ විනෝදාංශයනෙ සම්බන්ධකම් එකතු කරන එක. මං ඒ ඒ කාලෙට හමුවෙන හොඳ මිනිසුන් අතරින් කීපදෙනෙකු එක්ක විතරක් සම්බන්ධකම් පවත්වනවා. සමහර කාලවලදි බොක්කෙ යාළුවො පස්සෙ කාලවලදි ඈත් වෙනවා. මේ කිසිවක් මං ගේම් ගහපු නිසා නම් නෙමෙයි. දේශපාලන හේතු මත. දේශපාලනය අතික්‍රමණය කළ සම්බන්ධකම් තියෙන යාළුවන් කීපදෙනෙකුත් මට ඉන්නවා.
තාපස කකුළුවා කරගහගෙන යන බෙලි කටු ගෙය උගේ ශරීරයේ කොටසක් නෙමෙයි. හැබැයි, ඌට ඒක අවශ්‍යයි. එක බෙලි කටුවක් එපා වුණාම ඌ අලුත් බෙලි කටුවක් සොයාගන්නවා. මටත් දැන් දේශපාලන බෙලිකටුව වෙනුවට වෙනත් බෙලිකටුවක් හොයාගන්න හිතිලා තියෙන්නෙ. හැබැයි වැඩේ ලේසි නැහැ.
පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා තාපස කකුළුවන් ගෙවල් මාරු කරන විදිය.
අර යාළුවා ඇහුවා, කළු පාට කාරෙකක උගේ ගේ ඉස්සරහින් අද ගියේ මංද කියලා. මං තාම ගමේ ගියෙ නැහැ. ගියාම ඌව බලන්න යන්න ඕනැ. තනියෙන් ඉන්න මිනිහෙකුට කවුරුහරි බලන්න එන එක තරම් සතුටක් තව කොයින්ද?
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.