මහජන නැගිටීමේ නායකත්වය හා ජවිපෙ

 

අජිත් පැරකුම් ජයසිංහ

දවස් කීපයක් ඇතුළත ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. අප්‍රේල් 3දා උද්ඝෝෂණය ප්‍රතික්ෂේප කරපු ජවිපෙ ඇඳිරි නීතිය මැදම ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ උද්ඝෝෂණවලට ඉදිරිපත් වීම හොඳයි. එය ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නම විශේෂයෙන් ප්‍රදර්ශනය නොකරමින් කළ බවක් ද පෙනෙන්නට තිබෙනවා.

මහජන නැගිටීම සම්බන්ධයෙන් ජවිපෙ මුලදි හිටියෙ අසංවිධානාත්මක නැගිටීම් සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයේ. ඒත්, මහජනතාව ජවිපෙ ගණන් නොගෙන ඉදිරියට ගියේ අපට ඔබේ නායකත්වය අවශ්‍ය නැති බව ප්‍රකාශ කරමිනුයි. ජවිපෙ ඒ පණිවුඩය තේරුම් අරගෙන පසුපසින් එකතුවීම ඉතා හොඳ තත්වයක්.

මහජන නැගිටීම් කොහොමත් අසංවිධානාත්මකයි. ඒ අසංවිධානාත්මකබව තමයි දේශපාලන පක්ෂවලට, ව්‍යාපාරවලට වාසිදායක වෙන්නෙ. ඒවායේ නායකත්වය උපක්‍රමශීලීව අල්ලාගන්නට දේශපාලකයන් හැමවිටම සමත්වෙනවා. ජවිපෙ ඒ සඳහා උත්සාහ කිරීමේ කිසිදු වරදක් නැහැ.

ජවිපෙ ආරම්භයේ සිටම විප්ලවයක් ප්‍රවර්ධනය කළ පක්ෂයක්. එහෙත් මෙවැනි විප්ලවීය අවස්ථාවක් ජවිපෙට මීට පෙර නම් හමුවුණේ නැහැ. එහෙත්, ජවිපෙ වර්තමානයේදී විප්ලවය පිළිබඳ සිතන ආකාරය වෙනස් විය හැකියි. ඒ වගේම, දැන් ජවිපෙ කියන්නේ තවදුරටත් තරුණ පක්ෂයක් නොවන බවත් එහි ක්‍රියාකාරිකයන් දෙස බැලූ විට පෙනෙනවා.

සමාජවාදී විප්ලවය පිළිබඳ ගතානුගතික මාක්ස්වාදී අදහස් ද අද වන විට අභියෝගයට ලක්වෙලායි තියෙන්නෙ. ලංකාවේ සමාජ ක්‍රමය මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුක්ත එකක් බව හා ජවිපෙ නියෝජනය කරන්නේ ද මූලික වශයෙන් එම පන්තියම බව මා මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නා. ඒ නිසා සමාජවාදී විප්ලවය පිළිබඳ ගතානුගතික සංකල්පය ජවිපෙ සම්බන්ධයෙන් ගත් කල ඉතා ව්‍යාජයි. ලංකාවේ විප්ලවය මූලික වශයෙන්ම සිදුකළ යුතුව තිබෙන්නේ මධ්‍යම පන්තියට හා ඔවුන් හිමිකාරීත්වය දරණ රජයට එරෙහිවයි.

තමන් බලය ගත්තොත් වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීමට හා ගොඩනැගීමට කුමක් කරන්නට අදහස් කරන්නේද යන්න ජවිපෙ 43 සේනාංකය පැවසූ ආකාරයට සමානව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මහජන නැගිටීමට හේතු වුණේ 2019 වන විට තිබුණු පාරිභෝජනවාදී ජීවිතය කෘර ලෙස බිඳවැටීම මිස සමාජවාදය පිළිබඳ අපේක්ෂාවක් යයි මා සිතන්නේ නැහැ. එම ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ජවිපෙට තිබෙන වැඩපිළිවෙල කුමක්ද?

ක්ෂණික සහන ඉතා දුෂ්කරයි. වේදනාකාරී පරිවර්තනයකට අප සූදානම් විය යුතුයි. ඒ ගැන ජවිපෙ කතාකළ යුතුයි. බොරු ෆැන්ටසි ඉදිරිපත් නොකළ යුතුයි. එහෙම බොරුවලින් ජනතාව රැවටූ අයගේ දේශපාලන ආයුෂ කෙතරම් කෙටි වෙනවාද යන්න ගෝඨාභය රාජපක්ෂගෙන් තේරුම්ගත යුතුයි.

ජවිපෙ දිගු කලක සිට තනි බලයක් සමග අවස්ථාවක් ඉල්ලාසිටිනවා. ජවිපෙට මේ අර්බුද අවස්ථාවේදී පුළුවන් තමන්ගේ හැකියාවන් මහජනතාවට පෙන්වන්නටත්, කැමති නම්. ජවිපෙ වැනි ප්‍රභූන් අතර නිර්ප්‍රභූ ප්‍රභූ බලවේගයකට ඒ අවස්ථාව ලබාදිය යුතුයි. හැබැයි, ගෝඨාභය රාජපක්ෂ වගේ අලුතෙන් සියල්ල ඉගෙනගන්නකල් අපට නාස්ති කරන්නට කාලයක් නැහැ.

Adapted fromm praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා