කළු සල්ලි ආර්ථිකයට එකතු කරගැනීමේ වරද කුමක්ද?
අජිත් පැරකුම් ජයසිංහ
හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත.
ලංකාවේ ජනතාවට නීතියේ පාලනයක් අවශ්‍ය නම් කිසි සේත්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරගන්නේ නැත. ලංකාවේ පුරවැසිකම අත්හළ ඔහු කවදා නීත්‍යානුකූල අන්දමින් පුරවැසිභාවය ලබාගත්තාද යන්න කවුරුවත් දන්නේ නැත. බැසිල් රාජපක්ෂ යනු දූෂණ චෝදනා රැසක් සමග නම කියැවෙන, කිසිවක් නීත්‍යානුකූලව ඔප්පු නොවූ පුද්ගලයෙකි. ඔහුට තිබෙන ඉතිරි නඩු ටිකත් ඉල්ලා අස්කරගැනීමට දැන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. රාජපක්ෂ පවුලේ නිර්වාන් වැනි දරුවන් හැර ඉතිරි අය ද ආණ්ඩුවෙ ඉතුරු කෙළිකාරයන් ටික ද එවැනිය.
අධිකරණයෙන් වැරදිකරුවන් වූවත් ප්‍රශ්නයක් නැත. මේ වන විට, මේ රට මෙහෙයවන ප්‍රධාන නිලධාරීන් කීපපොළක් වන පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග වැනි අය අධිකරණයෙන් වැරදිකරුවන් වූ අයයි (පසුව නිදහස් විය). ඉතින් මොකද?
විශේෂ ජනාධිපති සමාවක් යටතේ දුමින්ද සිල්වා නිදහස් කළේ ඇයි? ඔහුට රජයේ ප්‍රධාන තනතුරක් කුමටද? නිමල් ලන්සා වගකිවයුතු ඇමතිවරයකු වී සිටින්නේ කෙසේද? මේවා පිළිබඳ අප අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩුවත්, දේශපාලනයත්, නීති විරෝධී ජාවාරමුත් අතර සමීප සම්බන්ධය අලුත් එකක් නොවේ. එය මේ වන විට ක්‍රමය බවට පත්වී තිබේ.
කළු සල්ලි සුදු කරන්නට ඩේසි ආච්චිට ලැබුණු මැණික් මල්ල වැනි ක්‍රම භාවිතා කරන්නට උවමනා නැත. පන්සල්, පල්ලි, කෝවිල්, අසපු, මාධ්‍ය, සමාජ සේවා හා දේශපාලනය ආදිය හරහා සිදුවන දේ ආර්ථිකයට ප්‍රයොජනවත් නැත. ඒ වෙනුවට ඍජුවම කළු සල්ලි සුදුකිරීම වඩා යෝග්‍යය. දැනට ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ ලංකාව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් හෙවීම ගැන සිතීම පිළිබඳ පවා පුදුම විය යුතු නැත. මේ කිසිවක් අලුත් දේ ද නොවේ.
මෙය වළක්වා ගන්නවා නම් ජවිපෙට ඒ සඳහා 2015දී අවස්ථාව තිබිණි. ඒ ආණ්ඩුව සමග එක්වී එය මෙහෙයවාගැනීමේ හැකියාවක් ජවිපෙට නොතිබුණා නොවේ. එහෙත්, ජවිපෙ බිය විය. 2019 ජනාධිපතිවරණයේදී ද රාජපක්ෂ බලවේගය යළි බලයට පත්වීම වළක්වාගැනීමට කිසිදු උත්සාහයක් නොකළ ජවිපෙ සිතාගෙන සිටියේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයගනු ඇතැයි කියාය. අස්සයා පැනගිය පසු දැන් ඉස්තාලය වසා වැඩක් නැත. දැන් කළ යුත්තේ අස්සයා සමග කැලේ ගොස් තව අස්සයන් අල්ලාගෙන විත් ආර්ථිකය නම් ඉස්තාලයට අස්ස පැටව් පිරවීමයි.
කළු සල්ලි සමග දේශපාලකයන් සම්බන්ධය. වර්තමානයේදී පවතින තත්වය තුළ කළු සල්ලි නැතුව දේශපාලන බලය ලබාගැනීම පවා දුෂ්කරය. පහත දැක්වෙන්නේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අයථා අන්දමින් මුදල් ඉපැයීම වැළැක්වීම සඳහා පනවා තිබෙන නීති පිළිබඳ විස්තරයකි. වර්තමානයේදී මේවායින් ඇති වැඩක් නැත. ලංකාව මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික අර්බුදය පියමං කිරීමෙන් පසු අප නැවත යහපාලනයක් ගැන සිතන්නේ නම්, මේ නීති ගැන දැනුම ප්‍රයෝජනවත් විය හැකිය.
2019 ජනාධිපතිවරණයේදී වඩා ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මෙසේ දක්වන ලදී: “රජයේ ඇමතිවරුන් විසින් අන්තර්ජාලය ඔස්සේ වාර්ෂිකව වත්කම් බැරකම් ප්රකාශයට පත් කිරීම අවශ්‍ය වන අතර එමගින් මහජනයාට ඔවුන් වගවීම කෙරෙහි යොමු කර තබාගත හැකිය. මෙම ප‍්‍රකාශ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් තහවුරු කරනු ලැබේ. ප‍්‍රමිති සහ ආචාර ධර්ම පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයකු අපි පත් කරන්නෙමු, ඔවුන් විසින් සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බැඳියාවන් පිළිබඳ ලේඛනයක් පවත්වා ගෙන යනු ඇති අතර එහිදී මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු චර්යාධර්ම පද්ධතිය කෙරෙහි අනුකූලවීම ද සහතික කරනු ඇත. බැඳියාවන් සම්බන්ධයෙන් ගැටුමක් පවතින අවස්ථාවලදී ඇමතිවරුන්ට එබඳු තනතුරු දැරීමට ඉඩ නොදේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනා සඳහා සුඛෝපභෝගී තීරුබදු රහිත වාහන බලපත‍්‍ර අප විසින් ඉවත් කරන අතර මහජනතාවගේ සේවය සඳහා ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් පවතින බව අපි සහතික කරන්නෙමු. ”
1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශන පනත අනුව කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායකවරයාට ද, අමාත්‍යංශ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ද යනාදී වශයෙන් විවිධ ආයතනවල නිලධාරීන් සිය ආයතන ප්‍රධානියාට සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුතුය. 1988 අංක 74 දරණ වත්කම් බැරකම් සංශෝධන පනත අනුව, මහජනතාවට මෙම වත්කම් බැරකම් ප්‍රකාශ මුදලක් ගෙවා ලබාගත හැකි ය.
ඇතැමෙකු 1975 පනත අනුව යමින් මේවා රහස්‍ය ලේඛන ලෙස සලකති. 1975 පනත යටතේ මෙම ලේඛන ලබාගත හැකි වූයේ අධිකරණ නියෝගයක් මත පමණක් වුව ද වර්තමාන නීතිය යටතේ ඕනෑම පුද්ගලයකුට වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත හැකි ය. වත්කම් බැරකම් ප්‍රකාශන පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ යොදාගත හැක්කේ නඩුවකදී සාක්ෂි වශයෙන් පමණි. එහෙත්, තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත යටතේ ලබාගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට බාධාවක් නැත.
හජන නියෝජිතයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් විසින් මහජන දේපල වංචා නොකළ බවට සහතික කිරීම මෙහි මූලිකම අභිප‍්‍රාය වේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, කිසියම් මහජන නියෝජිතයෙකු හෝ උසස් රාජ්‍ය නිලධාරියෙකු සතුව ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය නීත්‍යානුකූල ආදායම් මාර්ගයට පරිබාහිරව උපයාගත් කිසියම් දේපලක් වේ නම්, එය දූෂණ වංචා මගින් උපයාගත් දේපලක් ලෙස වත්කම් ප්‍රකාශන නීතිය යටතේ පිළිගැනෙනු ඇත. එවැනි අවස්ථාවක අදාළ මහජන නියෝජිතයාට හෝ රාජ්‍ය සේවකයාට එම අමතර දේපල නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් හරහා උපයාගත්තක් බවට ඔප්පු කිරීමට සිදු වේ. එලෙස ඔප්පු කිරීමේ ක‍්‍රියාවලිය වත්කම් හා බැරකම් ප්රකාශයට පත් කිරීම ලෙස හැඳින්‌වේ.
කෙසේ වුවද වත්කම් බැරකම් ප්‍රකාශනය යනු, සැමවිටම දූෂිත නිලධාරීන් දේශපාලකයින් පිළිබඳ හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණයක් පමණක් ම නොවේ. එය අවංක පුද්ගලයින් චෝදනාවලින් හා සැකයට භාජනය වීමෙන් ආරක්ෂා කිරීමේ ක‍්‍රමවේදය ද වේ. මක්නිසාද යත්, රටක දේශපාලන ක‍්‍රියාවලිය තුළ තොරතුරු මහජන දැනගැනීම පිණිස හැකිතාක් නිරාවරණය කිරීම, දූෂණ වංචා සිදුවීම්වලට එරෙහිව ගත හැකි සාර්ථකම පියවරයි. තොරතුරු මහජනතාව හා මාධ්‍ය වෙත නිරාවරණය වන තරමට රටක පාලන තන්ත්‍රය හොබවන පුද්ගලයින් තම ක‍්‍රියාවන් කෙරෙහි වඩාත් වගවීමෙන් යුතුව කටයුතු කරන බව පැහැදිලි ය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.