කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

 

නිශාන් පෙරේරා

කංසා ,ගංජා කියූ පමණින් අපේ සමාජයේ ඇතැම් පිරිස් තුළ තවමත් ඇති වන්නේ අඳුරුමය ආකල්පයකි. ඖෂධ ගුණයෙන් පිරි, ප්‍රයෝජන රැසක් ලබා දෙන කප්රුකක් බඳු කංසා පැලෑටිය මෙලොවට බිහි වන්නේ මිනිසා බිහිවන්නටත් පෙරය.

අප්‍රිකාවේ බිහිවූ ආදි මිනිසා අදින් වසර 18,000 කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ දී කංසා ශාකය හඳුනා ගත් අතර ඒවා ‘මා’ ලෙස නම් කරන ලදී. හින්දු වේද ග්‍රන්ථවල සඳහන් ආකාරයට කංසා ශාකය මහා දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ ශාකයයි. එය වේදයේ ‘බාංග් ‘ ලෙස හඳුන්වා ඇති අතර සංස්කෘත භාෂාවෙන් ඊට නම් 43ක් දී ඇත. ​ත්‍රෛලෝක්‍යවිජයා යනු ඉන් එක් නමකි. එහි සරල අරුත ‘ තුන් ලොවජයගත හැකි’ ලෙස ගත හැකිය.

කංසා ශාකය අප රටට පැමිණ ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ රාවණ රජ සමයේ බව කියැවේ. ලංකාවේ මුලින්ම කංසා තහනම් කරන ලද්දේ යටත් විජිත යුගයේ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1961 දී කංසා තහනමක් පනවන ලදි. එසේ වුවද පාරම්පරිකව පැවති කංසා දැනුම ඔස්සේ කංසා පිළිබඳව රටවල් කිහිපයක විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කළ අතර ඔවුහූ මෙහි ඇති වටිනාකම ගැන ලොවට හෙළි කළහ.

Open Photo
වසන්ත සේන වැලිඅංග

අපේ රටේ බිහි වූ එවැනි පරීක්ෂණ සිදුකල සුවිශේෂී පර්යේෂකයයෙකු වන අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා කංසා කෞතුකාගාරයක් ඉදිකිරීමේ පුරෝගාමියා වන්නේය. ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාගේ් සංකල්පයක් අනුව තණමල්විල ප්‍රදේශයේ භූමි භාගයක ඉදි වන හෙම්ප් කෞතුකාගාරය සහ කංසා විලේජ් (කංසා හේන) ව්‍යාපෘතිය අපේ රටේ කංසා පිළිබඳව ඇති දුර්මත ඉවත් කිරීමේ සහ කංසාවලින් ගතහැකි ප්‍රයෝජනය ගැන ජනතාව සහ පාලකයන් දැනුවත් කිරීමේ සාමකාමී අරගලයේ තවත් එක් යෝධ පියවරකි. අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාගේ කාලය, ශ්‍රමය, දැනුම හා පෞද්ගලික ධනය වැය කරමින් ඉදිවන මෙම ව්‍යාපෘතියේ ඇති කංසා හේනේ පාරම්පරික හේනක දක්නට ලැබෙන පැලක් ද ඇති අතර එය කෝ වීඩ් හට් (CO – WEED HUT ) ලෙස නම් කර ඇත. වීඩ් යනු කංසා සඳහා යෙදෙන තවත් ඉංග්‍රීසි නාමයකි. පරිසරයට අවම ලෙස හානි කරමින් ඉදිවන මෙහි ජල සැපයුම හා අනෙකුත් විදුලිබල අවශ්‍යතා සඳහා බලශක්තිය ලබා ගැනීමට සූර්ය විදුලි පද්ධතියක් සැලසුම් කර ඇත. කෞතුකාගාරයේ ඉදිකිරීම් සඳහා කංසා අරටුවෙන් සාදන ලද කොන්ක්‍රීට් හා ගල් යොදා ගැනීමට බලාපොරොත්තු වේ. ඒවා ලංකාවේ නිෂ්පාදනය නොවන නිසා විදේශ රටවලින් ආනායනය කිරීමට සිදුව ඇත.

මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන දෑ අතර කංසා ගසේ මුල්, පොතු, අරටුව, කඳ , ඇට, මල්, පත්‍ර, සහ මැලියම්වලින් මෙතෙක් ලොව නිපදවා ඇති නිෂ්පාදන සහ අපේ රටේ නිපදවන පාරම්පරික කංසා අඩංගු ඖෂධ හා නවීන ක්‍රමයට නිපදවන ඖෂධ වර්ග ද ඇතුළත්ය.

දේශීය වෙදකමේ කංසා අඩංගු ඖෂධ වර්ග 101ක් ඇත. කංසා ශාකයෙන් නිපදවන කංසා කෝපි, කංසා තේ, චොක්ලට්, විවිධ පාන වර්ග, රසකැවිලි වර්ග, සැනිටයිසර්, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන්, හඳුන් කූරු, සබන්, ෂැම්පු වර්ග, ලෝෂන් වර්ග, කංසා තෙල්වලින් කර ඇති නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, කොන්ක්‍රීට් නිෂ්පාදන, බ්ලොක් ගල්, කංසා කෙඳිවලින් නිපදවන කංසා නූල්, කඔ, සපත්තු, බෑග්, ඇඳුම් සහ පළඳනා, හිස්වැසුම්, පැදුරු, ඇතිරිලි වර්ග ද, කංසා ශාකයෙන් නිපදවන ඉන්ධන වර්ග හා කඩදාසි එහි ප්‍රදර්ශනය සඳහා සැලසුම් කර ඇත.

ලොව මුලින්ම කඩදාසි නිපදවා ඇත්තේ කංසා ශාකයෙනි. බයිබලය මුලින්ම මුද්‍රණය කර ඇත්තේ කංසා වලින් නිපදවූ කඩදාසි වලය. ගෘහස්ථකරණය වූ මුල්ම ශාකය කංසා වන අතර විවීමේ කර්මාන්තය ආරම්භ වූයේ කංසා කෙඳි වලිනි. විජය කුමරු ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව අප අසා ඇත. කපු ශාකය ලංකාවට ගෙන ආවේ ඉංග්‍රීසීන් බැවින් කුවේණි කටිමින් සිට ඇත්තේ කංසා කෙඳිවලින් බව ආචාර්ය වැලිඅංගයන්ගේ අදහසයි. මෙම ව්‍යාපෘතියේ ඉදිවන පුස්තකාලයේ කංසා පිළිබඳව ලියැවුන පාරම්පරික පුස්කොළ පොත්, කංසා ගැන පළවී ඇති විදේශීය සඟරා, පොත්, පුවත්පත් වාර්තා , පර්යේෂණ පත්‍රිකා වැනි කංසා පිළිබඳ දැනුම ලබා ගත හැකි දෑ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

කංසා කෞතුකාගාරය සමඟ ඉදිවන හෙම්ප් වි​ලේජ්හි හෙම්ප් (හෙම්ප් – මත්නොවන කංසා) වගා කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇති අතර එසේ වවන කංසාවලින් විවිධ නිෂ්පාදන කරන ආකාරය ගැන හා එය ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. හෙම්ප් වර්ගයේ කංසා වලට අමතරව ශ්‍රි ලංකාවේ දුර්ලභ ඖෂධයක් වන අශ්වඝන්ධ හෙවත් අමුක්කරා වගා කිරීමට අදහස් කර ඇති අතර හේනේ බටහිර සීමාවේ ආර දෙපස මී පැල සහ කුඹුක් පැල සිටුවීමට බලාපොරොත්තු වන බව අචාර්ය වැලිඅංග මහතා පැවසීය. හේනේ වැට මායිම් දිගේ දෙහි, දොඩම්, යකිනාරං වැනි පැඟිරි කුලයේ ශාක වැවීමට ද සැලසුම් කර ඇත. කෞතුකාගාරයේ හා කංසා හේනේ ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් ගබඩා කිරීම් සඳහා ප්ලාස්ටික් භාජන වෙනුවට ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ලද භාජන හා ඇසුරුම් භාවිතා කිරීමට අදහස් කර ඇත.

ලෝකයේ නිෂ්පාදනය වන නව දැනුම අප රටට පැමිණෙන්නේ අති මන්දගාමීවය. දැැන් ලෝකයේ බොහෝ රටවල කංසා තහනම ඉවත් කර නීතිගත කර ඇත. ආසියාතික රටවල් ද ඒ අතර වේ. ඔවුහු කංසා ගසෙන් ලැබෙන ප්‍රතිලාභ නිදහසේ භුක්ති විඳිති. පෘථිවිය නැමති පාසැලේ අද වන විට ඇතැම් රටවල් උසස්පෙළ ද අවසන් කර ඇති අතර අප තවමත් පසුවන්නේ තුන වසරේ බව ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා පවසයි. ශ්‍රි ලංකාවේ කංසා නීතිගත කිරීමේ සටනේ පුරෝගාමියා වන අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා අත්සන් ලක්ෂයේ ඩිජිටල් පෙත්සමක්ද රජයට භාර දී ඇත. ත්‍රෛලෝක්‍යවිජයා නමින් නම් කංසා පිළිබඳව ඉතා වටිනා පර්යේෂණ ග්‍රන්ථයක් ද රචනා කර ඇති අචාර්ය වැලිඅංග කංසා නීතිගත කළ යුතු ආකාරය දැක්වෙන කංසා ප්‍රතිපත්තියක් ද සකස් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර ‘වැඩසටහන 2021 ජනවාරි මස 29 වන දින තණමල්විල කුකුල්කටුව ජලාශය අසල පැවති අවස්ථාවේ අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ලංකාවේ කංසා නීතිගත කර දෙන ලෙස සෘජුවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඒ සඳහා ඉහල මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව පැවසීය.

වසන්ත සේන වැලිඅංග ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසෙන්න

ඔහුගේ අරගලයට උදව් කරන්නට කැමති නම්, ඔබටත් පුළුවන්.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා