ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂයේදී බදුර්දීන්ගේ ගෙදරදී මරාදැමූ/ මියගිය හිෂාලිනී

 

අජිත් පැරකුම් ජයසිංහ

රිශාඩ් බදුර්දීන්ගේ නිවසේදී මියගියේ දැරියක නොවේ. 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. දරුවා හෝ දැරිය හෝ කියන්නේ ළමයෙකුට පෙර වයසේ පුද්ගලයන්ටය. අපයෝජනයට ලක්වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා දැරිය යන වචනය යොදයි. දැන හෝ නොදැන මේ කරන්නේ ළමා අපයෝජකයන්ගේ පරිකල්පනීය ෆැන්ටසියට අවශ්‍ය පරිදි මේ ප්‍රවෘත්ති සංවේදී කර සැපයීමයි. නිසි තාක්ෂණික වචන භාවිතා නොකිරීම ද අපයෝජනවලට දිරි දීමකි.

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේදී අපයෝජනයට ලක්කර ඝාතනයට ලක්කරන ලද ගැහැණු ළමයා දින 12ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබේ. ඇය අසාධ්‍ය තත්වයක සිටි නිසා ඇගෙන් කටඋත්තරයක් ගන්නට බැරිවන්නට ඇත. ඇය අපයෝජනයට ලක්කළ පුද්ගලයාට එයින් නීතිමය ආරක්ෂාවක් ලැබී තිබේ.

මෙම ගැහැණු ළමයා ගිනිතබාගෙන සියදිවි නසාගත්තා වන්නට පුළුවන. ගිනිතබාගෙන සියදිවි නසාගැනීමේ වේදනාකාරී ක්‍රමය වතුකරයේ දිළිඳු කාන්තාවන් අතර ප්‍රචලිත දෙයකි. සියදිවි නසාගැනීමට මූලික පෙළඹවීම ඇතිකරන විෂාධය නම් මානසික තත්වය සම්බන්ධයෙන් සංවේදී වීමේ මට්ටමට ලංකාවේ වෛද්‍ය සේවා පවා දියුණු වී නැත. සියදිවි නසාගැනීම් මෙතරම් වැඩිවන්නට ප්‍රධාන හේතුව එයයි. විෂාධය ගැන සාමාන්‍ය සමාජය පවා අසංවේදී තත්වයකදී, වතුකරයේ දිළිඳු සමාජයන් තුළ හින්දු හෝ ක්‍රිස්තියානි අභිචාර මැද ළමයකුට විෂාධය නිසා සියදිවි නසාගැනීමට ඇතිවන පෙළඹවීම වැඩිය. එවැනි ළමයකු මුස්ලිම් නිවසක සේවයේ යොදවා තිබීමෙන් තත්වය තවත් දරුණු විය හැකිය. කොවිඩ්-19 විසින් නිර්මාණය කරන ලද තත්වයන් ද එයට බලපාන්නට ඇත.

1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී තිබේ. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් නීතිමය අඩුපාඩු ඇත. ළමයකුට වයස අවුරුදු 14 සිට රැකියාවල යෙදීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීති අනුව තිබෙනවා. එහෙත්, වෘත්තීය සමිතියකට බැඳිය හැක්කේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ අයට පමණයි.

ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ නීති විස්තර මෙතැනින්

1985 අංක 20 දරන ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සෑම ළමයෙකුටම කිසිදු වෙනස්කමකට හෝ හිංසා පීඩාවකට ලක් නොවී ජීවත් වීමේ හිමිකම ලැබිය යුතු ය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියෙන් සියලු පුරවැසියන් වෙනුවෙන් තහවුරු කර තිබෙන සමානාත්මතාවට ව්‍යතිරේඛයක්.

එහෙත්, ළමා ශ්‍රමය හා ළමා ගෘහ සේවය ලංකාවේ මෑත කාලීන සංස්කෘතිය තුළට කොයි තරම් කාවැදී තිබුණාද යත්, එය විහිළු ගීතයක් බවට ද පත්වී තිබේ. ‘සකලබුජං කොටකලිසං තමයි අඳින්නේ’ ගීතය ගයමින් විහිළු ඇඳුම් ඇඳගත් පෙරපාසල් ළමයි විවිධ ප්‍රසංගවල දැනුත් ජවුසං නටති.

වතුකරයේ ගැහැණු ළමයින් හා කාන්තාවන් අඩු වැටුපට ගෘහස්ථ හා ලිංගික ශ්‍රමය සඳහා විකිණීම කලක සිටම සිදුවේ. කුට්ටනය හෙවත් මානව පුද්ගල ජාවාරම හෙවත් ඉංග්‍රීසියෙන් ට්‍රැෆිකිං නම් වන මෙම වරද සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත් නැත. නීති තිබුණත්, වැරදිකරුවන් දණ්ඩනයට ලක්වන අවස්ථා විරලය. 2005 අංක 30 දරණ කාන්තාවන් හා ළමයින් ගණිකා වෘත්තිය සඳහා මානව පුද්ගල ජාවාරමෙහි යෙදවීම වැළැක්වීමේ පනත (Convention on Preventing and Combating Trafficking in Women and Children for Prostitution) එවැනි නීතියකි. (මූලාශ්‍රය මෙතැනින්)

ලංකාවේ බොහෝ විට මානව පුද්ගල ජාවාරම්වලට පවුල්වල අය ද සම්බන්ධ ය. දිළිඳුකම හා නූගත්කම එයට ප්‍රධාන හේතුවකි. රිසානා නෆීක් සිද්ධිය උදාහරණයකි. කල්මුනේ පදිංචිව සිටි බාල වයස්කාර ගැහැණු ළමයකු වූ රිසානා නෆීක් ව්‍යාජ උප්පැන්න සහතිකයක් භාවිතා කරමින් සවුදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවකට යැවිණි. එහිදී ළදරු මරණයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ලද ඇගේ හිස ගසා මරා දමන ලදී.

මියගිය හෝ මරා දමන ලද හිෂාලිනී ගෘහ සේවිකාවකි. ගෘහ සේවක/ සේවිකාවන් යනු ශ්‍රීලංකාවේ අඩුම ශ්‍රම අයිතිවාසිකම් සහිත සේවක පිරිසකි. ඔවුන් පඩි පාලක සභා නීතිවලින් හෝ ආවරණය වන්නේ නැත. එසේම කිසිදු සමාජ ආරක්ෂණ නීතියක් ද ඔවුන්ට අදාළ වන්නේ නැත. එහෙයින් ඔවුන්ට අවම වැටුපක් නැත. ඔවුන් ආවරණය වන එකම නීතිය ලෙස පෙනෙන්නේ 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනතයි. ස්වාමි සේවක සම්බන්ධයක් පැවතීම හා වාචික එකඟතා සම්බන්ධයෙන් එහිදී නීතිය ක්‍රියාත්මක කළ හැකිය. එහෙත්, ගෘහ සේවිකාවන් හට මෙම නීතිවලින් පිළිසරණක් ලැබුණු අවස්ථා ගැන තොරතුරු විරලය. (මූලාශ්‍රය මෙතැනින්)

හිෂාලිනීගේ මරණය බොහෝ අය විසින් පාවිච්චි කරන්නට උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබාගැනීම සඳහාය. එහෙත්, අවධානය යොමුවිය යුත්තේ ඉහත දක්වන ලද ගැටලු කෙරෙහිය. ඒවාට විසඳුම් සම්පාදනය කිරීම සඳහා රජයට බලපෑම් කළ යුතුය.

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය