ආපදා අවම කරන සෙන්ඩයි ආකෘතිය

 

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ් -19 ගෝලීය මට්ටමේ ආපදාවකි. එයට අමතරව මෙම ලිපිය සම්පාදනය කරනු ලබන 2021 මැයි 24 දින වන විට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල ගංවතුර හා නායයාම් ආපදා තත්වයක් පැනනැගී තිබේ.

ස්වාභාවික ආපදා සම්පූර්ණයෙන්ම වළක්වාගත නොහැකිය. එහෙත්, එමගින් සිදුවන අවදානම් අවම කරගත හැකිය. උදාහරණයක් ලෙස ගංවතුර මගින් සිදුවන හානි අවම කරගත හැකිය.

ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි.

SFDDR ප්‍රධාන ‘අරමුණ’ වන්නේ අලුත් හා පවත්නා ආපදා අවදානම් වැළැක්වීමයි. එය සිදුකරනු ලබන්නේ, ඒකාබද්ධ හා සියලු අංශ ඇතුළත් කරගත් ආර්ථික, ව්‍යූහාත්මක, නීතිමය, සමාජ, සෞඛ්‍ය, සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික, තාක්ෂණික, දේශපාලනික හා ආයතනික ක්‍රියාමාර්ග හරහායි. එමගින් ආපදාවලට නිරාවරණය වීමේ අවදානම හා ආපදාවලට ගොදුරුවීමේ හැකියාව අවම කරනු ලැබේ. ප්‍රතිචාර දැක්වීමේ හා යථා තත්වයට පත්වීමේ සූදානම වර්ධනය කරනු ලැබේ. එසේම ඔරොත්තු දීමේ හැකියාව ද වැරගන්වනු ලැබේ.  

SFDDR හි මූලික සංකල්පය මාර්ගෝපදේශ එහි මූලධර්ම 13 මගින් පැහැදිලි කරනු ලැබේ. රජය ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව එහි දැක්වේ. එහිදී සෑම මට්ටමකම පාර්ශ්වකරුවන් හා අදාළ ආයතන සහභාගී විය යුතුය. පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ප්‍රජාවන් ඒ සඳහා යෝග්‍ය පරිදි සවිබලගැන්විය යුතුය. ගෝලීය හවුල්කාරීත්වයන් හා සහයෝගය ඔවුන් විසින් හඳුනාගන්නා ලද පරිදි සකස් කරගත යුතුය. රටේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමින් හා මෙම අදහස මත පදනම්ව, ශ්‍රී ලංකාව විසින් ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සම්පාදනය කළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පළාත් පාලන පද්ධතිය තුළ අදාළ ආයතන පුළුල් ලෙස සම්බන්ධ කරගත යුතුය.

SFDDR විසින් ගෝලීය ඉලක්ක හතක් නිර්ණය කරනු ලැබේ. ඒවා මෙසේය:

  1. ආපදා මගින් සිදුවන මරණ අවම කිරීම (2030 වසර වන විට)
  2. පීඩාවට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීම (2030 වසර වන විට)
  3. ආපදා මගින් ඇතිවන ඍජු ආර්ථික හානි අවම කිරීම (2030 වසර වන විට)
  4. වැදගත් යටිතල පහසුකම්වලට සිදුවන ආපදා හානි සහ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ඇතුළු මූලික සේවා බිඳවැටීම අවම කිරීම (2030 වසර වන විට)
  5. ජාතික හා ප්‍රාදේශීය ආපදා අවම කිරීමේ සැලසුම් සහිත රාජ්‍ය සංඛ්‍යාව වැඩිකිරීම (2020 වසර වන විට)
  6. මෙම කාර්ය රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර සහයෝගය වැඩිකිරීම (2030 වසර වන විට)
  7. පූර්ව අනතුරු ඇඟවීමේ හා ආපදා අවදානම් තොරතුරු වෙත ප්‍රවේශය වර්ධනය කිරීම (2030 වසර වන විට)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා