අවිධිමත් අංශයේ කම්කරුවාගේ කම්කරු දිනය

 

අජිත් පැරකුම් ජයසිංහ

මා සාදන නිවසෙහි පොටි ඇදීමේ කටයුතුවල යෙදෙන කම්කරුවන් දෙදෙනාගෙන් මා ඔවුන් අද වැඩට එනවාදැයි ඇසුවේ ඊයේය. අද ජාත්‍යන්තර කම්කරු දිනය බවට හැඟීමක්වත් ඔවුන්ට නොතිබිණි.

“එනව මහත්තයා, කොයි වෙලාවෙ ලොක්ඩවුන් කරයිද දන්නෙ නැහැනෙ. ඒ නිසා පුළුවන් දවස්වල වැඩකරන්න ඕනැ.”

දෛනික වැටුප් ලබන කම්කරුවන්ට ආගමික හා සංස්කෘතික උත්සව දින හැර සෙසු රජයේ නිවාඩු දින එතරම් අදාළ නැත. බුද්ධිමය කම්කරුවකු වන මගේ තත්වය ද එයයි.

කම්කරුවන් යයි කී විට අප වැනි බුද්ධිමය ශ්‍රමිකයන් කම්කරුවන් ලෙස සැලකීමට බොහෝ අය අකැමැතිය. කම්කරුවන් ලෙස සැලකෙන අය සාමාන්‍යයෙන් වැඩකරන්නේ කය වෙහෙසාය. අද දවසේත්, අපේ ගම්වල කාන්තාවෝ දළු නෙළති. වතුවල වැඩකරන කම්කරුවෝ වැඩකරති.

කුලී වැඩ කරන කම්කරුවන්ට සාමාන්‍යයෙන් දිනකට රු. 1,500 – 2,000ක පමණ වැටුපක් ලැබේ. මේසන් අත්වැඩකරුවන්ට රු. 2,000 – 2,200ක් පමණ ද, මේසන් හා වඩු බාස් කෙනෙකුට රු. 2,500 – 3,000ක් පමණ ද වැටුප් ලැබේ. කෑම හා තේ ලබා දෙන්නේ නම් වැටුප් තරමක් අඩුය. ගරාජ්වල මිකැනික් වැනි පුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප් ද ඒ ආසන්න අගයක තිබේ.

පෞද්ගලික බස්, ලොරි වැනි රියදුරකුට ද කෑම හා තේ සමග දිනකට රු. 1,500 – 2,000 අතර වැටුපක් ලැබේ.

මෑන් පවර් සමාගම් හරහා සේවයේ යොදවනු ලබන කම්කරුවන්ට ද කෑම, බීම රහිතව රු. 1,000 – 1,500 අතර සාමාන්‍ය වැටුපක් ලැබේ.

කාන්තාවන් සම්බන්ධයෙන් වෙනස්කම් කිරීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, කුඩා තේ වතුවල වැඩකරන කාන්තාවන්ට කෑම හා තේ ලබාදී දිනකට රු. 900ක පමණ වැටුපක් ලැබේ. ඔවුන් දිනකට දළු කිලෝ 25ක් පමණ නෙළති. වැඩකරන පැය ගණන අඩුය.

ගෘහ සේවිකාවකට ගෙවන වැටුප කෑම, තේ, ගමන් වියදම් සමග රු. 750ක් පමණ වේ (නිවසේ නතර වන්නේ නම්, රු. 20,000 – 30,000 අතර වේ).

සාප්පු සේවක සේවිකාවන්ගේ වැටුප ඉතා අඩුය. ඇතැම් අවස්ථාවලදී වැටුප රු. 10,000 – 15,000 අතර වේ.

ඉතා අඩු වැටුප් ලබන කාන්තාවන් පිරිසක් වන්නේ ළදරු පාසල් ගුරුවරියෝය.

ස්වයං රැකියා කරන බොහෝ අය ද මෙවැනි කම්කරුවන්ට සමානය.

ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය පැය අටේ වැඩ දිනයක් වෙනුවෙන් කළ අරගලයක් සමග සම්බන්ධය. එහෙත්, අද වන විට, පැය අටේ වැඩ දිනය කම්කරුවන්ට එතරම් වැදගත් නැත. පැය අටේ වැඩ දිනය දැන් දැන් යම් දුරකට යල්පැනගිය සංකල්පයක් බවට පත්වී තිබේ.

බුද්ධිමය කම්කරුවකු වන මට දෛනික වැටුප කීයක් අවශ්‍යදැයි යමෙකු ඇසුවොත්, මා කියන්නේ රු. 10,000ක් කියාය (හැම දිනකම එවැනි ආදායමක් ලැබෙන බව ඉන් අදහස් වන්නේ නැත. සත පහක්වත් නැති දවස් ද ඊට වැඩි ආදායමක් ලැබෙන දවස්ද ඇත).

මෙම අවිධිමත් අංශයේ රැකියා කරන ඇතැම් පිරිස්වලට පැය අටේ වැඩ දිනය, රජයේ නිවාඩු දින ආදිය එතරම් අදාළ නැත. මා වැඩකරන අංශය ඇතුළු ඇතැම් අංශවල වැඩකරන වේලාවන් වෙනස්ය. බොහෝවිට, පැමිණෙන වේලාව අනුව, වැඩ අවසන් කරන වේලාව නිගමනය වේ. මා නම් වැඩ කරන වේලාවන් ඉතා අවිධිමත්ය. ඇතැම්විට මහ පාන්දර ද, මැදියම් රැයේ ද වැඩ කරමි. මේ වන විට කම්කරුවන් අතර බැඳීම් අඩු, නම්‍යශීලී සේවා කාලයන් ජනප්‍රිය වෙමින් තිබේ. ඇතැම්, සේවායෝජකයෝ ද ඒ අනුව හැඩගැසෙමින් සිටිති.

ඉහත දක්වන ලද මා ද ඇතුළු කිසිදු කම්කරුවකුට ඊපීඑෆ්, ඊටීඑෆ්, රක්ෂණ වැනි කිසිදු වරප්‍රසාදයක් නැත. වැඩ කරන්නට බැරි දිනවලදී ආදායමක් ද නැත. ඊටත් වඩා බරපතල තත්වය වන්නේ වෘත්තීය අනතුරු සම්බන්ධයෙන් රක්ෂණයක් නැතිකමයි.

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත.

නිවෙස්වල වැටුප් නොගෙවන ශ්‍රමය යනු අවිධිමත් අංශයේත් වඩාත් අවිධිමත් අංශයකි. ඒ ගැන වෙනම කතා කළ යුතුය.

ඡායාරූපයේ ඉන්නේ ධර්මපාලයි. ඔහු ගැන දැනගන්න කියවන්න: දැනුත් 140ට 150ට කාර් එලවන, කාර් හදන 83හැවිරිදි ධර්මපාලගේ මිනි මෝක් එක

මේ ලිපියත් කියවන්න: කම්කරුවා කියන්නෙ ප්‍රබන්ධයක්

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය