මියන්මාර් සිවිල් විරෝධතාවේ දින 100කට පසු
බර්නාඩ් එදිරිසිංහ
‘මියන්මාර් සිවිල් නිති කඩ කිරීමේ අවිහිංසාවාදි ව්‍යාපාරය (CDM) වෙනත් අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවලට අනුබලයක්’ බව නෝර්වේ ඔස්ලෝ සරසවියේ සමාජ විද්‍යා මහාචාර්ය ක්‍රිස්ටීන් ස්ටාකි පැවසුවාය. CDM සංවිධානය නොබෙල් සාම ත්‍යාගය පිණිස නාමයෝජනා කර තිබේ. එම නාමයෝජනාව 2022 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය පිණිස සලකා බලනු ඇතැයි අපේක්ෂිතය.
මියන්මාර් ජුන්ටාවට එරෙහිව ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, නිදහස හා සියලු බුරුම ජනවර්ග සඳහා සමානත්මතාවය වෙනුවෙන් සටන් වැද සිටින මියන්මාර් බහුතරයක් ජනතාවගේ සහ ඊට සහයෝගය පළ කරන ජගත් ප්‍රජාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරලීමට සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය සමත්වේද?
සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය දියත් වු අවස්ථාවේ මියන්මාර්හි පැවැති තත්ත්වයෙහි වැදගත් කරුණු දෙකක් සලකුණු කළ හැකිය. මියන්මාර් සමාජ ඒකාග්‍රතාවය බිඳී තිබිම ඉන් පළමුවැන්නයි. මියන්මාරය විචිත්‍ර වර්ණ රටා සහිත පලසක් මෙන් ජනවර්ග හා කලාපීය භාෂා විවිධත්වයක් සහිත ජනතාව එකට එක්වී ගොඩනඟාගත් සමාජයක් ලෙස හැඳින්විය හැකිය. එරට මිලියන 50ක් වන ජනගහනයෙන් ප්‍රධාන ජන කොටස වන්නේ බුරුම ජාතිකයින්ය (68%). ඔවුහු බහුතරයක් බෞද්ධ ද වෙත්.
ශාන් ප්‍රාන්ත රාජ්‍යයේ වැසියන් වන ශාන් ජාතිකයින් (9%) මියන්මාරයේ ප්‍රධානම සුළුතර ජනවර්ගය වෙයි. ශාන්වරු එරට බුරුම- බෞද්ධ බහුතර ආධිපත්‍යය සහිත මධ්‍යම ආණ්ඩුවේ නිරන්තර මර්දනයට හා සුරාකෑමට ලක්වන ජන කොටසකි. මෙම අමානුෂික මර්දනයට මුහුණ දීම පිණිස සිය ජාතිකානුරාගය විසින් පෝෂණය කරන ලද විමුක්ති සටන් ව්‍යාපාරයක දිර්ඝ කාලයක් තිස්සේ ශාන්වරු නිරත වී සිටිත්.
ජනගහනයෙන් 7%ක් වන කැරන් ජාතිකයින් සිය සවාධීනත්වය වෙනුවෙන් සටන් කරන්නේ 1947 සිට යැයි කිව හැකිය. රොහින්ග්‍යාවරුන් ජනගහනයෙන් 4%ක් වුවත් ඔවුහු මුස්ලිම් ආගමිකයන් වීම හේතුවෙන් වඩාත් නිර්දය ලෙස මියන්මාරය තුල බුරුම-බෞද්ගාමික ජාතිවාදීන්ගේ මර්දනයට ලක් වු ජනකොටසක් වෙයි.
මියන්මාරය තුළ සුළු ජනවර්ග මර්දනය ලක් කිරීම දිර්ඝ කාලයක සිට සිදුවෙයි. එම නිසා මෙම ජනවාර්ගිකයින්ගේ ජීවිතවල ගුණාත්මකභාවය පිරිහී ගොස් ඇති අතර, උදාවන සෑම දිනකම අඩමානකරණයට ලක් වන ඉතාමත් දිළිඳු ජනකොටස් බවට පත්වී සිටිති. මේ වන විට මියන්මාර් ජනතාවගෙන් සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් තමා දිළින්දෙක් යැයි පිළි ගන්නා බව 2020 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක බැංකුව ඒකාබද්ධව කළ සමික්ෂණයකදි හෙළිදරව් විය. උදාහරණ ලෙස රකායින් ජාතීන් සහ රොහින්ග්‍යා මුස්ලිම් ආගමිකයින් බහුතරයක් වන ජාතීන් ජිවත්වන රකායින් ප්‍රාන්තය (42%) කචීන් ප්‍රාන්තය (37% ) වැනි ප්‍රාන්ත එදිනෙදා තමන් ගිලෙමින් සිටින ද්‍රරිතාවයෙන් ගොඩ ඒමට නිරතවී සිටින ජිවන අරගලය දැක්විය හැකියි.
සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයේ අනාගත ජයග්‍රහණ තීරණය වන්නේ මියන්මාර් ජන වර්ග විවිධත්වයට හා ආර්ථික අසමානත්මතාවයට එහි නායකයින් දක්වන ධනාත්මක ප්‍රතිචාරය මතයැයි කිව හැකිය.
මින්කුනායි තංහං මියන්මාර සිවිල් නිතී කඩකිරීමේ ව්‍යාපාරයේ නොනිල නායක වශයෙන් සැලකේ. ඔහු ‘හමුදා කුමන්ත්‍රණය පිළිගන්න එපා. ඔවුන්ගේ පාලන තන්ත්‍රයට දායක වෙන්නත් එපා’ යැයි කියමින් සිවිල් නීති කඩකිරීමට එක් වන්නැයි පෙබරවාරි 01 දින මියන්මාර් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. මියන්මාර් දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වු 8.8.88 ව්‍යාපාරයේ පුරෝගාමි ශිෂ්‍ය නායකයෙක් වු මින්කුනායි තංහං ට ආත්ම විශ්වාසයකින් එසේ ඉල්ලා සිටීමට හැකි වුයේ හේතු කිහිපයක් නිසාය. 2011 නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ විසින් විවර කරන ලද අවකාශය තුළ විවිධ මාදිලියේ සමිති සංවිධාන ඔස්සේ මියන්මාර් ජනතාව සංවිධානය කිරීමේ පෙර සුදානමක් තිබිම වැදගත් හේතුවක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකු පද්ධතිය, ගමනා ගමන සේවාවන්, අන්තර්ජාල සේවාවන්, වරාය,ගුවන් තොටුපොළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇතුලු අධ්‍යාපන සේවා පද්ධතිය සම්පුර්ණයෙන්ම අක්‍රිය කිරීමට අද වන විට මියන්මාර් සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය සමත් වි තිබේ.
මිලිටරි ජුන්ටාවේ ශක්තියේ පදනම් කිහිපයකට සිය දින සියයේ කාල සීමාව තුළ පහර දීමට මියන්මාර් සිවිල් නීති කඩකිරිමේ ව්‍යාපාරය සමත් වි ඇත. භාණ්ඩ වර්ජනය හා ව්‍යාපාරික බහුජාතික සමාගම් හවුල්කරුවන්ට සිය ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වීමට බලපෑම් කිරිමෙන් සාර්ථක ලෙස ප්‍රතිඵල අත්පත් කරගෙන තිබේ යැයි වාර්තාවේ. ඉතාමත් ප්‍රසිද්ධ සිදුවිම වුයේ බියර් ලෝලී මියන්මාර් ජනතාව, විශේෂයෙන්ම නාගරික ජනතාව, මිලිටරි ජුන්ටා නායකයාගේ පවුලට අයත් බියර් වෙළදාමෙන් සියයට 80% ක් නියෝජනය කළ ‘මියන්මාර්’බියර් සන්නාමය වර්ජනය කිරීමයි. අප්‍රියෙල් මැද භාගය වන විට බියර් වර්ජනය නිසා ‘මියන්මාර්’ බියර් සමාගමට වී ඇති දළ අලාභය ඇමරිකන් ඩොලර් බිලියනයක් යැයි වාර්තා විය.
මියන්මාර් ආර්ථිකය තුල මියන්මාර් යුද්ධ හමුදාව ප්‍රධානතම පාර්ශවකරු වෙයි. මේ සඳහා ආයතන දෙකක් ඔවුන් පිහිටුවා තිබෙන අතර බහුජාතික සමාගම් ව්‍යාපාර ආරම්භ කළ යුත්තේ එම සමාගම් සමග විම මියන්මාර් ව්‍යාපාර ලෝකයේ අප්‍රකාශිත නීතිය වෙයි. සිවිල් නීති කඩ කිරිමේ ව්‍යාපාරය නිසා මියන්මාර් බියර් සමාගමේ ජපන් හවුල්කරු වු Kirin Holding සමාගම සහ දකුණු කොරියානු වානේ නිෂ්පාදන සමාගමක් වු POSCO සමාගම සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීමට තිරණය කර තිබේ. බටහිර ආණ්ඩු විසින් මියන්මාර් 1990 හමුදා පාලනය යටතේ පිහිටවු Myanma Economic Holdings Public සමාගම සහ 1997 පිහිටුවා ගත් Myanmar Economic Corporation යන බූවලු සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ ද වර්ජනය කිරීමට තිරණය කර ඇත. මේ සම්බන්ධයෙන් විදේශිය මාධ්‍යයකට ප්‍රකාශයක් කළ එක් බූවලු සමාගමක උපදේශකයෙක් වු විශ්‍රාමික හමුදා ජනරාල්වරයෙක් කියා සිටියේ සිය ව්‍යාපාර සියල්ලම පාහේ දේශීය වෙළඳපොළ කෙන්ද්‍ර කොටගත් ව්‍යාපාර වන බැවින් විදේශිය රටවල් තහංචි මගින් බලපෑමක් විය හැක්කේ අමුද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් යැයිද, සිය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා දීමට චීනය ඉදිරිපත් වි සිටින බව ද ප්‍රකාශ කොට ඇත.
එක්සත් (මියන්මාර්) ආණ්ඩුව (CHPR) නමින් හැඳින්වෙන මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිත කමිටුවක් පිහිටුවීම සිවිල් නිතී කඩකිරීමේ ව්‍යාපාරය විසින් තබන ලද වැදගත් පියවරක් විය. 2020 මහා මැතිවරණයෙන් තමන්ට ලැබුණු ජනවරම මත පිහිටුවා ගත් මෙම කමිටුව ‘සිවිල් ආණ්ඩුවක’ කාර්යභාරය ඉටු කිරීම අරමුණු කරගත් බව පැවසේ. මාර්තු 5 දින ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් මියන්මාර් සිවිල් ආණ්ඩුව මිලිටරි එකාධිපතිත්වය අවසන් කිරීම, අත්අඩංගුවේ පසුවන ජනාධිපති සහ අවු සං සුචී ඇතුලු සියලු දේශාලන සිරකරුවන් නිදහස් කිරීම, 2008 ව්‍යවස්ථාව අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානත්මතාවය පදනම් කොටගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, එතෙක් මිලිටරි ආණ්ඩුව විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කොට තිබු සුළු ජනවර්ග ආයුධ සන්නද්ධ දේශපාලන කණ්ඩායම් එම ලේඛනයෙන් නිදහස් කිරීම හා මියන්මාර් යුද්ධ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමත් සිදුකර තිබේ.
සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයේ අභියෝග හමුවේ මිලිටරි ජුන්ටාව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සිය ප්‍රතිරූපය වර්ධනය කරගැනීම පිණිස විවිධ පියවරයන් ගනියි. මියන්මාර් හමුදා කුමන්ත්‍රණය එරට අභ්‍යයන්තර අර්බුදයක් බව ප්‍රකාශ කරමින් භූදේශපාලන වැදගත් කම නිසා සම්බන්ධතා පවත්වන චීනය රුසියාව, ඉන්දියාව වැනි රාජ්‍යයන් සමග සම්බන්ධතා තහවුරු කර ගනිමින් සිටින බව පෙනේ. මෑතකදී පැවැත්වු ආසියාන් සංවිධානයේ රාජ්‍ය නායක හමුවට ජුන්ටා නායක සහභාගි වීම, මියන්මාර් යුද්ධ හමුදා දිනය සැමරීම පිණිස සිය රාජ්‍ය නියෝජිතයින් සහභාගි කරවීම ආදිය මගින් එය සනාථ විය.
මෙවැනි මර්දනයකාරී උපායමාර්ගයක් අනුගමනය කරන මියන්මාර් ජුන්ටාවේ ශක්තිය සාධක කිහිපයක් කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලද තීරණයක් බව පෙනේ. ආසියානු රටවල හමුදා බොහෝ විට ප්‍රදර්ශනය කරන ආකාරයට මියන්මාර් හමුදා ජුන්ටාව එරට බහුතරයක් වන බුරුම ජාතිකයින්ගේ සහ බෞද්ධාගමේ සංකේතාමක ආරක්ෂයන් වශයෙන් පෙනි සිටි. මේ සඳහා මිලිටරි ජුන්ටාව තෝරා ගත් උපාය වුයේ ලොව උසම බුදු පිළිමය මියන්මාරයේ ඉදිකිරීමට සැලසුම් කිරිමය. මියන්මාර් යුද්ධ හමුදාව සහ බුද්ධාගම අතර තිබෙන සම්බන්ධය පැහැදිලි කරමින් මියන්මාරය පිළිබඳ ශාස්ත්‍රාලීය තොරතුරු එකතුවක් වන Tea Circle වෙත නිර්නාමිකව ලිපියක් ලියු තද්මාව්හි කර්නල්වරයෙකුගේ පුත්‍රයෙකු පෙන්වා දුන්නේ ‘ අවුන් සාන් සුචි සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට විරුද්ධව ප්‍රචාරය කරන අලංකාරොක්ති විවේචන සහ බෞද්ධ ජාතිකවාදය’ යුද්ධ හමුදාවේ බහුතරයක්ගේ මනස අරක් ගෙන ඇති බවයි. අවුන් සාන් සුචි ජනතාව විසින් තෝරා පත්කරගත් නායිකාවක් ලෙස පිළි ගන්නවා වෙනුවට ජාත්‍යන්තරයට බර, විදේශිකයෙකු හා විවාහ වු රෝහින්ග්‍යා හා මුස්ලිම්වරුන් හා අත්වැල් බැඳගෙන ඇති නායිකා යැයි මියන්මාර් යුද්ධ හමුදාවේ බහුතරයක් විශ්වාස කරන්නේ යැයි’ ඔහු තවදුරටත් සඳහන් කරයි.
එහෙත්, බෞද්ධ ප්‍රජාව ඉලක්ක කරගෙන කරනු ලබන ආයෝජනයන්ගෙන් බෞද්ධයන්ගේ සහාය ජුන්ටාව ලැබේයැයි සැක සහිතය. මිලිටරි ජුන්ටා විරෝධී භික්ෂු දේශපාලන ඉතිහාසයක් සහිත මියන්මාර් භික්ෂුන් අතරින් ඇතැම් හික්ෂු සංවිධාන මේ වන විට වීදි බැස සිවිල් නිතී කඩකිරීමේ ව්‍යාපාරයට සිය සහයෝගය පළ කර තිබේ.
මෙම පසුබිමේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණින් බලය ඩැහැගත් මියන්මාර් ජුන්ටාව මේ වනවිට (මැයි 16) දේශපාලන සිරකරුවන් 3,989ක් අත්ඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කළ සංඛ්‍යාව 790කි. ඹ්නෑම මිලිටරි ජුන්ටාවක් කරන්නාක් මෙන් කොල්ලකෑම, දුටු තැන වෙඩිතැබීම් කෙළවරක් නැත. මෙම දේශපාලන සිරකරුවන්ගෙන් බහුතරයක් තරුණ දේශපාලන ක්‍රියාකාරිකයන් වන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින්, මාධ්‍යවේදින් බහුලව දක්නට පුළුවන.
මියන්මාර් සිවිල් නිතී කැඩීමේ ව්‍යාපාරයේ ජයග්‍රහණය විල්ලුද මාවතක් ඔස්සේ දිගහැරී නැත. මියන්මාර් බහුතරය සිය ජාති හා ආගමික භේද පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය හා සමානත්මතාවය වෙනුවෙන් අත්වැල් බැඳගෙන ජුන්ටා විරෝධී පෙරමුණක රැඳී සිටීන අතර එම සිවිල් දේශපාලන පෙරමුණ නොබිඳී තබාගැනීම ප්‍රබල අභියෝගයකි. මේ වන විටත් සිවිල් නිතී කඩ කිරීමේ ව්‍යාපාරයට එකතුවී සිටින දහස් ගණනකගේ ආදායම් මාර්ග වැසී ගොසිනි. නාගරික ප්‍රදේශවලින් ග්‍රාමීය පළාත්වලට පළා ගිය තරුණ කොටස් ඒ ඒ ප්‍රාන්තවල සන්නද්ධ දේශපාලන කණ්ඩායම් හා එක් වෙමින් සිටිති. ජයග්‍රහණය පිළිබඳ සිය අභියෝගය ජයගත හැක්කේ සිවිල් නිතී කඩකිරිමේ ව්‍යාපාරයේ ආයතනික ප්‍රකාශනය ලෙස සලකන නාමික සිවිල් ආණ්ඩුව (CHPR) විසින් කොපමණ දුරට මහජන ආධිපත්‍යයට සහ දේශපාලනික හා ආර්ථික සමානත්මතාවය ප්‍රායෝගිකව විශේෂයෙන්ම තරුණ මියන්මාර් ජනතාවට දැනෙන ලෙස ක්‍රියාත්මක කරන්නේ ද යන්න මත යැයි කිව හැකිය.
මේ ලිපියත් කියවන්න:
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.