හෙද සේවයේ කාන්තා ආධිපත්‍යය අහෝසි කරනු!

 

ඊශා කප්පරගේ

අද ජාත්‍යන්තර හෙද දිනයයි. නර්ස් යන වචනය කියූ සැණින් හිතේ මැවෙන රූපය කාන්තාවකි. එසේම, හෙද සේවයේ යෙදී සිටින බහුතරයක් පිරිස කාන්තාවෝය. ශ්‍රී ලංකාවේ නම් රජයේ හෙද සේවාවට බඳවාගැනීමේදී පිරිමින් බඳවාගනු ලබන්නේ 5%ක් පමණ සුළු ප්‍රතිශතයකි.

හෙද සේවය කාන්තාවන්ට වෙන්කිරීම ද ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතියකි. පවුල් තුළ සත්කාර කටයුතු වැඩිපුර කරන්නේ කාන්තාවන් බව ඇත්තකි. සම්ප්‍රදායිකව, පවුල් තුළ සත්කාර කටයුතුවල යෙදෙන්නේ කාන්තාවන් නිසා හෙද සේවය ද ඓතිහාසිකවම කාන්තාවන්ගේ රැකියාවක් වී තිබේ.

සත්කාර කටයුතු යනු ගැහැණු වැඩක්ය යන අදහස ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතියකි. පිරිමින්ට සත්කාර කටයුතු බැරිවන්නට කිසිදු හේතුවක් නැත. රෝගීන්ගෙන් 50%ක් පමණ පිරිමින් නම් සත්කාර කටයුතු කරන හෙද නිලධාරිවරුන්ගෙන් 50%ක් ද පිරිමින් වීමේ කිසිදු ගැටලුවක් නැත. වෛද්‍ය වැනි සෞඛ්‍ය සේවාවන් තුළ මෙවැනි තත්වයක් නැත.

පවුල තුළ වැටුප් නොගෙවන සත්කාර කටයුතු සම්බන්ධයෙන් දැන් දැන් සමාජ අවධානය යොමුවෙමින් තිබේ. පවුල තුළ වැටුප් නොගෙවන සත්කාර කටයුතු වැඩි ප්‍රමාණයක් කරන්නේ කාන්තාවන්ය. එහිදී කාන්තාවන්ට සිදුවන අසාධාරණයට විසඳුම පවුල තුළ සත්කාර කටයුතු හා වෙනත් වැටුප් නොගෙවන කාර්යයන් සමසේ බෙදාගැනීමයි.

එසේම, හෙද සේවය, පෙර පාසල් ගුරු සේවය, ප්‍රාථමික ගුරු සේවය වැනි 90%කට වඩා කාන්තාවන්ට වෙන්වූ, කාන්තා ආධිපත්‍යයෙන් යුත් සේවාවන් පිරිමින්ට විවෘත කිරීම ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍යය.

එහි අනෙක් පැත්ත වන්නේ, මේසන්, වඩු කාර්මික, මෝටර් කාර්මික, විදුලි කාර්මික, රා මැදීම, බර වාහන පැදවීම, දුම්රිය පැදවීම, ගුවන් යානා පැදවීම, යුද්ධ කිරීම ආදී පිරිමින්ට බොහෝ දුරට වෙන්වී තිබෙන රැකියා සඳහා අවස්ථා ලබාගැනීමට කාන්තාවන් උත්සාහ කිරීමයි.

“කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට පටහැණි අන්දමින් මෙසේ ස්ත්‍රී හෝ පුරුෂ ආධිපත්‍යයන් පවත්වාගෙන යන සේවාවන් වහා වෙනස් කළ යුතුය.

පිරිමි ආධිපත්‍යය නිල වශයෙන්ම තහවුරු කර තිබෙන පොලිස් සේවයේ මෙම ගැටලුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක්වී තිබේ. පොලිසියේ පිරිමි විශාල කාඩරයක් ද, කාන්තා කුඩා කාඩරයක් ද තිබේ. කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති ධුරයක් නැති බව කියමින් පිරිමි නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිං ආරච්චිගේ උසස්වීම අභියෝගයට ලක්කර තිබේ. කියවන්න: ලංකාවේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද?

මෙම අසමබරතාව හේතුවෙන් හෙද සේවය තුළ බරපතල ප්‍රශ්න මතුවී තිබේ. හෙද විදුහල්වල සිටම කොන්වන්ට්වල වැනි යල්පැනගිය ශික්ෂණයක් ක්‍රියාත්මක වන අතර, රෝහල් හෙද පරිපාලනය තුළ ඇත්තේ ද එවැනිම තත්වයකි. පවුල් තුළ නැවත වරක් පුරුෂාධිපති ක්‍රමයක් තුළ සිරවන හෙද නිලධාරිනියන්ට තම සේවාවේ අභිවෘද්ධිය හා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට ලැබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයකි. හෙද සේවය දියුණු නොවී එකතැන පල්වන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ජාත්‍යන්තර වශයෙන් දියුණු සේවාවක් වන හෙද සේවය ශ්‍රී ලංකාවේ ද දියුණු තත්වයකට ගෙනඒම සඳහා මෙම ස්ත්‍රී ආධිපත්‍යය වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මුල් පියවරක් ලෙස බඳවාගැනීම් සිදුකිරීමේදී පිරිමින්ට තිබෙන අවස්ථා වැඩිකළ යුතු අතර පිරිමින් මෙම සේවාවට ඇතුළත් වීම දිරිගැන්විය යුතුය.

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය