ඉන්දිරා ජයසූරිය; මාතෘත්වය හා ජීවිතය අතර සංවේදී තෝරාගැනීමක කතාව

අජිත් පැරකුම් ජයසිංහ

සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය හා ජීවිතයේ තෝරාගැනීම් පිළිබඳ පුරාවෘත්තයක් නිසායි. (මෙම ලිපියත් කියවන්න: දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ)

බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධිධාරිනියක වන ඉන්දිරා 2016 නොවැම්බරයේදී මිය ගියේ 40වන වියේදීයි. ඇය මිය ගියේ පිළිකා රෝග තත්වයක් නිසායි. මිය යාමට වසර දහයකට පමණ පෙර පියයුරු පිළිකා තත්වයක් සම්බන්ධයෙන් ඇය ප්‍ර‍තිකාර ලැබුවා. පියයුරක් ඉවත් කිරීමේ සැත්කමෙන් හා කීමෝතෙරපි ප්‍ර‍තිකාරවලින් පසු ඇයට දරුවන් ලබන්නට හැකියාවක් නැති බවත් වෛද්‍යවරු පැවසුවා. 

නවීන තාක්ෂණය එහිදී ඇයටත්, ඇගේ සැමියා වන මාටින්ටත් පිහිට වුණා. ඇගේ ඩිම්බ ඉවත් කර සංසේචනය කර සංරක්ෂණය කර තැබුවා. පූර්ණ සුවපත් වීමෙන් පසු තැන්පත් කිරීම මගින් ඇයට සිය පළමු දරුවා පිළිසිඳ ගත්තා. දියණිය තිලිණි උපත ලැබුවේ 2012දීයි. 

එහෙත්, ඇගේ දෙවෙනි දරුවා පිළිසිඳ සිටියදී ඇගේ පිළිකාව අක්මාවට පැතිර ඇති බව දැනගන්නට ලැබුණා. ඇය සති 28ක් වූ සිය පුතු සැත්කමකින් ප්‍ර‍සූත කර, වහා ප්‍ර‍තිකාර සඳහා යොමු විය යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කළා. එහෙත්, වෛද්‍ය නිර්දේශ ප්‍ර‍තික්ෂේප කළ ඇය දරුවාට ජීවිතයේ හොඳම අවස්ථා ලබා දීම සඳහා ඇය පෞද්ගලිකව ජීවිත අවදානම ගත්තා ය. 

“ඔහු ඉතා අඩු වයසින් නො මේරූ දරුවකු ලෙස ඉපදෙන එකට මා කැමති වුණේ නැහැ. මට ඕනැ වුණේ ඔහුට ජීවිතයේ හැකි හොඳම අවස්ථාව ලබා දෙන්නටයි. ඔහු මගේ පිළිකාව හඳුනාගෙන මාව බේරාගන්නට උදව් කළා. මට ඕනැ වුණේ ඔහුවත් බේරා ගන්නටයි,“ ඇය බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පතට පැවසුවා. 

ඉන්දිරාගේ පිළිකා තත්වය හඳුනා ගනු ලැබුවේ ඇය ගැබ් ගැනීමත් සමග මුහුණ දුන් වේදනාකාරී තත්වයන් සම්බන්ධයෙන් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ නිසායි. ඊ්ස්ට්‍ර‍ජන් හෝමෝනයට සංවේදී වූ මෙම පිළිකාව ගර්භනීභාවය නිසා වැඩියෙන් ක්‍රියාකාරී වන ඊස්ට්‍ර‍ජන් නිසා පිළිකාව දවසින් දවස වැඩි වැඩියෙන් ආක්‍ර‍මණශීලී වන බව වෛද්‍යවරු පැවසුවා. ඇගේ ජීවිතය බේරා ගන්නට නම්, වහා දරුවා සැත්කමක් මගින් බිහි කර ඇයට ප්‍ර‍තිකාර කළ යුතුව තිබුණා. 

දරුවාට සති 33ක් වන තුරු ඉන්දිරා ප්‍ර‍තිකාර පමා කළා. ඇගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් දරුවාගේ ජීවිතය අවදානමට ලක් කරන්නට ඇය කැමති වුණේ නැහැ. සීසේරියන් සැත්කමකින් දරුවා ප්‍ර‍සූත කිරීමෙන් පසු මාස කිහිපයක් පිළිකාව සමග පොරබැදූ ඇය අවසානයේදී මරුට පරාජය වුණා. 

මවක් ලෙස ඇය කළ තෝරාගැනීම අති විශිෂ්ට මානව ගුණයක ප්‍ර‍කාශයක් ලෙස සැලකිය හැකියි. 

මෙම සටහන ලියන්නට සිත් වුණේ ගර්භණී අවධියේදී ඇති විය හැකි පිළිකාවන් හා එයින් කළලයට ඇති විය හැකි ප්‍ර‍තිඵල පිළිබඳ මෙම ලිපිය කියවූ විටයි. 

මුල් ඡායාරූපය උපුටා ගත්තේ ස්වාධීන රූපවාහිනී වෙබ් අඩවියෙනි. පහත දැක්වෙන ඡායාරූප උපුටා ගනු ලැබුවේ ඩේලි මේල් පුවත්පතෙනි. 



Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා