කළු රංජිත් නිල් මිනිසෙකි


 April 4, 2021 People

ජයසිරි අලවත්ත රංජිත් දිසානායක ගැන ලියූ පොතේ මාතෘකාව ‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යනුයි. එය 2021 අප්‍රේල් 5දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩියි.

රංජිත් දිසානායකට ඔහුගේ මිතුරන් කළු රංජි කීවේ නැති තැනයි. මූණට කීවේ රංජි කියාය. මා නම් අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ඔහුට කතාකරන්නේ රංජිත් අයියා කියාය.

මෑතක සිට රංජිත් අයියා තරුවක් වී තිබේ. ඒ කළු රංජි ලෙසයි. අනුන්ට උදව් කිරීම තම ජීවිත අරමුණ කරගත් ඔහු වැනි මිනිසකු යම් සමාජ තීරුවක් තුළ හෝ ජනප්‍රිය පුරාවෘත්තයක් බවට පත්වීම ඇත්තෙන්ම යහපත් තත්වයකි.

රංජිත් දිසානායක ඇත්තෙන්ම ගුණ යහපත්, එසේම, බුද්ධිමත් මිනිසෙකි. හිත හොඳ මෝඩයෙකු නොවේ. ඔහු ව්‍යවසායකයෙකි. එම ව්‍යවසායකත්වය තුළින් ද ඔහු සුවිසල් සේවයක් කරයි. විකල්ප දේශපාලනයේ යෙදුණු විකල්ප චරිත ගැන හා එම චරිත විසින් ලියන ලද පොත් රැසක ප්‍රකාශකවරයා වන්නේ අගහස් ප්‍රකාශන ආයතනයේ අධිපති රංජිත් දිසානායකයි.

කෙසේ වෙතත්, මගේ සාකච්ඡාව ජයසිරි අලවත්ත ලියූ පොතේ මාතෘකාව ගැනයි.

කළු රංජිත් සුදු මිනිසෙකි යන මාතෘකාව පශ්චාත් යටත් විජිත කතිකාව දක්වාම සම්බන්ධ කළ හැකිය. රංජිත් දිසානායක කළු රංජි වූයේ ඔහුගේ හමේ පැහැය කළු නිසාය. තවත් රංජිත්ලා අතර මේ රංජිත් හඳුනාගැනීමෙහිදී ඔහුගේ සමේ පැහැය විශේෂණ පදයක් ලෙස යෙදීම ලංකාවේ අනියම් නම් තැබීමේ සංස්කෘතිය අනුව නිවැරදිය. උස මාටින්, කොට සයිමන්, රතු නැන්දා, කළු එතනා, කෙට්ටු සෝමා, කටු ඇල්බට්, හීන් බණ්ඩා මෙන්ම පොට්ට විජේ, සොත්ති උපාලි වැනි නම් ද මා අසා තිබේ. ඒ පුද්ගලයන් ඇතැම් විට ඒ නම්වලට කැමති නැත. ඒ නිසා ඒ නම් ඔවුන් ආමන්ත්‍රණය කිරීම සඳහා යොදාගන්නේ නැත. නැති තැනදී හෙවත් ප්‍රථම පුරුෂයේදී භාවිතා වේ. එය ලොව පුරාම සාමාන්‍ය තත්වයකි.

එහෙත්, සමාජ කතිකාව තුළ මතු වූ ඇතැම් වැදගත් සංවාද හේතුවෙන් අපි ඇතැම් පද භාවිතය අතහැර තිබේ. උදාහරණයක් විදියට අන්ධ පුද්ගලයාට කණා, පොට්ටයා කීම, බිහිරි පුද්ගලයාට බීරා, ගොළුවා යයි කීම අපහාසාත්මක යයි අපි දැන් සලකන්නෙමු. ඒ වෙනුවට ඉතා ශිෂ්ට භාෂාවේදී ආබාධ සහිත පුද්ගලයන්, කථන ආබාධ සහිත, දෘෂ්‍ය ආබාධිත වැනි ශිෂ්ට යෙදුම් භාවිතයට පැමිණ තිබේ.

සංක්‍රාන්ති ලිංගික හා සමලිංගික පිරිමින්ට පොන්නයන් යයි කීම අපහාසාත්මක බව අපි දැන් දනිමු.

කළු මිනිසුන්ට කළු යයි කීම අපහාසාත්මක නැත. එහෙත්, කෙනෙකුගේ සම අනෙක් අයගේ සමට වඩා තද පැහැයක් ගත් පමණින් කළු යයි විශේෂණ පදයක් යෙදීම කියන තරම්ම අහිංසක හා ආදරණීය නැත. කළු රංජි සුදු මිනිසෙකි යි කීමෙන් ඒ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වී පෙනේ.

සුදු යනු හොඳ, නායකත්වය, අධිපතිකම, ශාන්තබව, සාමය වැනි දේ සමග යොදාගැනීම ද, කළු පැහැය මරණය, නරක, දුෂ්ඨත්වය, වහල්කම ආදිය සමග යොදාගැනීම ද අහඹු ලෙස සිදු වූවක් නොවේ. එය යටත් විජිතවාදය හා යුරෝපා අධිරාජ්‍යවාදය සමග කරන ලද සැලසුම් සහගත භාෂාත්මක හා සංස්කෘතික ගොඩනැගීමකි. මෑත කාලයට අදාළව එසේ වෙනවා මෙන්ම එහි බුදුන්ගේ සමය දක්වා ද දිවෙන සම්බන්ධයක් තිබේ. ඒ ගැන මතු දැක්වේ.

සුදු ලස්සනයි, කළු කැතයි යන සංකල්පය ද අපගේ ජාතික චින්තනය තුළ අපටත් හොරෙන් පැලපදියම් වන්නේ යටත්විජිතවාදයේ අනුග්‍රහයෙනි.

රංජිත් දිසානායක විප්ලවවාදියෙකි. ඔහු බොහෝ විට පෙනී සිටියේ සමාජය වෙනස් කිරීමේ අරගලයේ ක්‍රියාධරයන්ගේ සුබසාධනය වෙනුවෙනි. එවැනි කටයුතුවලදී ඔහු තම අත ඇති හා තමන්ට සොයාගත හැකි මුදල් වියදම් කළේ ජනවහරේ එන හැටියට නම් ‘සුද්දා වගේය.’

ඒ උපමාව හැදුණේ ගැමියා සුදු ජාතිකයා දුටු ආකාරයෙනි.

එහෙත්, රංජිත් දිසානායක යනු දේශපාලන චරිතයකි.

‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යයි කියන මාතෘකාවම සාකච්ඡා තේමාවකි.

කළු රංජිත් නිල් මිනිසෙකියි නොකියන්නට හේතුවක් නැත. බෞද්ධ සාහිත්‍යයේ මුගලන් තෙරුන් වැනි කාල වර්ණ පුද්ගලයන් නීල වර්ණ අය ලෙස දක්වා තිබේ. ඒ බුදුන්ගේ සමයේ කුල භේදය අනුව පහත් ලෙස සැලකුණු ක්ෂුද්‍රයන් කාල වර්ණ වූ බැවිනි. කළු කැත යයි පැවති බමුණු මතයට එරෙහිව බෞද්ධ හා පැරණි සිංහල සාහිත්‍යයේ සුදු උත්කර්ෂයට නගන්නේ නැත. ඒ වෙනුවට කළු මිනිසුන් නිල් කරනු ලැබේ. නැතිනම් වැහි වළාකුළේ පාට හෙවත් මේඝවර්ණයට සමාන කරනු ලැබේ. වර්තමානයේදී කළු කිත්සිරි යයි නම ලබන්නට තිබුණු රජ කෙනෙකුට නම තැබුවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරිමෙවන් කියාය. වැඩකරන, දුප්පත් මිනිසුන්ට සමේ ඡවි වර්ණය රැකගැනීම දුෂ්කරය. දැනටත් දුප්පත් බොහෝ මිනිසුන් කළුවන්ය. කම්කරුවන් උත්කර්ෂයට නගන වාම දේශපාලනය නියෝජනය කරන රංජිත් දිසානායක කළු මිනිසෙකි. කම්කරුවාට විමුක්තිය ලබාගත හැක්කේ කම්කරුවා ලෙසමය. කළු මිනිසා හොඳ මිනිසකු වන්නට සුදු මිනිසකු වන්නට අවශ්‍ය නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා