කුරුල්ලන්ගෙ මේ විස්මිත සංදර්ශනය මතුගම විතරයි


 April 2, 2021 Matugama

අජිත් පැරකුම් ජයසිංහ – 2018 දෙසැම්බර් මස w3lanka බ්ලොගයෙහි පළකරන ලද ලිපියකි

සවස හයත්, හයහමාරත් අතර එන්න මතුගම නගරයට. ඔබට අතිශය මනරම් දසුනක් දැක ගන්නට ලැබේවි. හැමදාම නැහැ. හැමතැනම නැහැ. මේ දර්ශන වාරය තව ටික දවසයි. සිංහල, දෙමළ අලුත් අවුරුද්දට කලින් ඔවුන් යනවා යන්න. ආයෙත් දැකගන්නට සැප්තැම්බර් වෙනකල් ඉන්නට වේවි.

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා. කොටින් ම හංදිය මැද්දෙ ඔර්ලෝසු කණුවෙ කටුවලත් කුරුල්ලන් වහනවා.

සවස හයයි කාලට විතර තමයි අහසේ සිට වළාකුළු වගේ ඔවුන් පහත් වන්නේ. විදුලි කම්බි මත ලගින්නට පෙර මේ කුරුලු වළාකුළු වට කීපයක් මතුගම අහසේ සරනවා. තල ගණනාවකට එක එක අතට පියඹන කුරුලු වළාකුළුවලින් පිරෙන සැඳෑ අහස අතිශය මනරම් දර්ශනයක්. මතුගම මහජන පිට්ටනිය වගේ නිදහස් තැනකට ගියොත් මේ දර්ශනය වඩාත් හොඳින් බලන්නට පුළුවන්.

හවසට වැඩ ඇරී නිවෙස් වෙත යන මිනිසුන්ගේ කලබලයෙන් පිරුණු බස් නැවතුම්පල දෙක අසල අහසේත් මහා කුරුලු කලබලයක්. හීං හඬින් කතා දහසක්. ලක්ෂ ගණනක් පුංචි තටු සැලෙන, අහසින් රහස් කතා ඇහෙන, ගුප්ත සෞන්දර්යයකින් පිරුණු අපූරු විනාඩි කීපයක් මේ සන්ධ්‍යාවේ නිර්මානය වෙනවා. අහස දෙස නො බලන කෙනෙක් මේ සෞන්දර්යය නො දකින්නටත් පුළුවන්. ඔවුන් එතරම් නිහඬව ඇවිත් පිටව යන පක්ෂීන් වර්ගයක්.

විදුලි කම්බි යටින් යනකොට හිස මතට වැටෙන පුංචි සුදු පාට වසුරු පිඬක් නිසා කේන්ති යන අයත් හැමදාම ඉන්නවා. විදුලි කම්බිවල ඉඩකඩ මදි වූ විට නගරයේ කඩවල බිත්ති කයිරු මතත් ලගින මේ පුංචි මිතුරන් නිසා කඩ හිමියන්ට ගැටලුවකුත් තියෙනවා. ඒත්, මේ කුරුලු කලබලය දැන් අවුරුදු ගණනාවක සිට මතුගමට මිහිරියාවක්. සැප්තැම්බරය අග වන විට උන් නාවොත් මතුගමට පාළුවක් දැනේවි.

රූ පුරාමත් විදුලි කම්බියකින් පය ලිස්සා වැටෙන කුරුල්ලෙක් අලුතෙන් තැනක් සොයා නිදා සිටින කුරුල්ලන් අතර සක්ක ගහන්නට ගිය විට පැය ගණනක පුංචි කලබලයක් නිර්මානය වෙනවා. ඒත්, මහ වැසි මධ්‍යයේ පවා විදුලි එළි මැද මේ පුංචි කුරුල්ලන් සුවබර නින්දක් සැතපෙනවා.

ඉර පායාගෙන එනකොට ම ඔවුන් නික්ම යාම ආරම්භ වෙනවා. ඒක, සන්ධ්‍යාවේ තරම් ලොකු සංදර්ශනයක් නෙමෙයි. ඇහැරුණා. ඇටෑෂ් බාත්රූම් එකේ වගේ එතනම චිරිස් ගාලා කක්කා දැම්මා. ඉර පායනකල් කතා කර කර හිටියා. වටපිට බැලුවා. පරක්කු වෙලා වගේ රූං ගාලා ඉගිලුණා. එච්චරයි. දවස් දෙක තුනක් ම මම වැඩට ගිහින් බලනකොට කමිසෙ පුංචි හුරතල් පැල්ලමක් තිබුණා. ඒ නිසා විදුලි කම්බි යටින් ඇවිදින්න එපා. සෙන්දනායක හෝටලේ ඉස්සරහා පාරෙ අනෙක් පැත්තේ විදුලි කණුව තමයි අප්සෙට් ම තැන. එතනින් දුවලා යන්න.

දවල්ට මතුගමට එන අයට පාර දිගට, පදික වේදිකා දිගට තියෙන හුණුවලින් ඇන්දා වැනි ඉරි මොනවාද කියා ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ ඔබ ඇවිදින්නේ රෑ පුරා කුරුල්ලන් ගිය වැසිකිළිය මතිනුයි.

උදේට මතුගමින් ඉගිලෙන බස්වල නගින්න ලහි ලහියේ දුවන මිනිසුන් වගේ ම ඔවුනුත් කොහේදෝ ඉගිලිලා යනවා. උදේ හය වන විට ඔවුන් විදුලි කම්බි හිස් කර අවසන්. රෑට ඔර්ලෝසු කණුවේ ලගින පරෙයියන් පමණක් ගුමු ගුමු ගාමින් අනඟ රැඟුම් පාමින් විදුලි කම්බි මත ඉන්නවා දකින්නට පුළුවන්.

දවල් දවසේ මේ පුංචි කුරුල්ලන් යන්නේ කොහේ ද? ඔවුන් කෑම සොයා ගන්නේ කොතැනින් ද? දිවා කාලයේ මේ කුරුල්ලන් සැරිසරන්නේ කුඩා කණ්ඩායම් වශයෙනුයි. දක්ෂ පියාසරන්නෙකු වන අටු ලිහිණියා පියාසලමින් ම කෘමීන් ආහාරයට ගන්නවා. තෙත් බිම්, කුඹුරු පිටි, තැනිතලා ආදී ජලය ආශ්‍රිත පාරිසරික කලාපවල ඔවුන් සුලබව දැකිය හැකියි.

ඔවුන් එන්නේ ඊසානදිගින් සුළං හමන්නට පටන් ගන්නවාත් සමගයි. ඒ එන්නේ සයිබීරියාව පැත්තේ සිට බවයි පක්ෂි විශේෂඥ ෂර්ලි උපුල් කුමාර පවසන්නේ.  පිට වී යන්නේ ඒ සුළං නතර වෙනවාත් එක්කයි. අප්‍රේල් මාසයේ අවුරුදු දවස් අවසන් වන විට ඔවුන් සියල්ලන් ම ආපසු ගිහින්. ඔවුන් ලංකාවේදී පැටවුන් ජනිත කිරීමක් නො කරන බව ෂර්ලි උපුල් කුමාර පැවසුවා.

මේ පක්ෂීන් රත්නපුර නගරයේත් මේ ආකාරයෙන් විදුලි කම්බි මත වසන බව වාර්තා වෙනවා. කොහොම වුණත්, මතුගමට ඔවුන් එන්නට පටන් අරන් අවුරුදු පහකටත් වැඩියි.

මෙම පක්ෂීන් බාර්න් ස්වොලෝ (Barn Swallow) යන පක්ෂි වර්ගයයි. මොවුන් අටු වැහි ලිහිණියන් ලෙස සිංහලෙන් හඳුන්වන්නට පුළුවන්. විද්‍යාත්මක නාමය Hirundo Rustica Gutturalis ය. ලොව පුරා බොහෝ රටවල සිටින පක්ෂියකු වන අටු වැහි ලිහිණියා විවිධ වර්ණවලින් යුක්ත ගේ කුරුල්ලකු පමණ වන පක්ෂියෙක්. ලිහිණින්ට හිමි දිගු පියාපත් හා පෙඳය ඔවුන් ද සතු වෙනවා. මතුගමදී දකින්නට ලැබෙන අටු වැහි ලිහිණියා බඩවත සුදු පැහැති කළු පිහාටු ඇති ප්‍රභේදයක්. හිසෙහි තඹ පැහැයක් ද දකින්නට ලැබෙනවා.

ඡායාරූපය හර්ෂණී නාකන්දල

කෝප්ප වැනි කුඩා කූඩු තනා බිජු ලන අටුලිහිණියෝ ඒ සඳහා ගොඩනැගිලි බිත්ති ආදිය පාවිච්චි කරනවා.

කුඩා කෘමීන්ගෙන් පෝෂණය වන අටු වැහි ලිහිණියා ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන සංක්‍රමණික පක්ෂි විශේෂයක් ලෙස සැලකෙනවා. එහෙත්, මතුගමදී ඔවුන් පෙන්වන සංදර්ශනය හැම තැන ම තිබෙන එකක් නෙමෙයි.

පහත ඡායාරූපය ගත් හර්ෂනී නාකන්දල ෆේස්බුක්හි මෙහෙම සටහන් කරනවා.

“බොහොම හදිසියේ සතියකට ගෙදර යන්න උනා. වැඩ දාහක් අස්සෙ පොඩ්ඩිව එක්කන් ගිහින් පෙන්නුවා.”

මේ මතුගම ලංකා බැංකුව ළඟ.

BBC Sinhala 



Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා