අරගලයෙන් එහාට ගුරු වෘත්තිය

 

අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2021-11-14

ඉතා සටන්කාමී ගුරු අරගලයකින් අනතුරුව, ඔවුන්ගේ වැටුප් ඉල්ලීම යම් දුරකට ලබාදීමට රජය එකඟ වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. රටේ පවතින ආර්ථික තත්වය තුළ එය කෙසේ කරනු ඇද්දැයි අපැහැදිලියි. කෙසේ වෙතත්, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට මෙවැනි පිළිගැනීමක් ලබාදීම පවා අතිශය වැදගත්.

මීළඟට ඇතිවන අවදානම වන්නේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම නිසා තමන්ට විෂමතාවක් ඇති වූ බව කියමින් වෙනත් රාජ්‍ය සේවක වෘත්තිකයන් ද සටනට එළැඹීමයි. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා යනු කිසිදු කලෙක අවසන් නොවන ගැටලුවක්. එක් වෘත්තියක සේවකයන් තම වැටුප් තත්වය අනෙක් වෘත්තියක සේවකයන්ට සාපේක්ෂව සැලකීමට යාමෙන් තමයි මෙම තත්වය ඇතිවෙන්නේ. එහිදී පදනම වන්නේ සමාන වගකීම් දැරීම හෝ සමාන සුදුසුකම් සහිත වීමයි. එහෙත්, මෙය විග්‍රහ කිරීම තරමක් දුෂ්කර තත්වයක්. ගුරුවරුන් ඓතිහාසික අසාධාරණයකට ලක්වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ගුරුවරයාගේ කාර්යභාරය සමාජමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලනවා. ජෝන් ඩුවීගේ ප්‍රගතිශීලී අධ්‍යාපනික දර්ශනය අනුව, ගුරුවරයා සමාජ සේවකයෙක්; මාර්ගෝපදේශකයෙක්; සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අත්දැකීම් සංවිධානය කරන්නෙක්; ඒ වගේම ඉගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව ඉගෙනගන්නෙක්. මේ අනුව බැලූ කල ගුරුවරයා ඉතා පැහැදිලිවම අනාගතය නිර්මාණය කරන්නෙක්. එවැන්නෙකු යහපත් මානසික තත්වයක තැබීම වැදගත්. ඒ සඳහා ඔවුන්ගේ ආදායම්, වියදම් ඉතා වැදගත්.

වර්තමානය වන විට අධ්‍යාපනය කියන්නේ දැවැන්ත වෙළඳපොළක්. ජනප්‍රිය පාසල් තරගය, සීමිත උසස් අධ්‍යාපන අවස්ථා සඳහා තිබෙන බලුපොරය, අනාගතය පිළිබඳ තිබෙන අනාරක්ෂිතබව, සියලුදෙනා ඉහළ වැටුප් ලබන වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ වැනි වෘත්තිකයන් බවට පත්විය යුතුය යන සමාජ ආකල්ප, ඒ මත ඇතිවන අධි පාරිභෝජනවාදී ජීවන අපේක්ෂා ආදිය හේතුවෙන් ටියුෂන් වෙළඳපොළ පෝෂණය වෙනවා.

ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට තිබෙනවා. එය නිදහස් අධ්‍යාපනය නමින් හැඳින්වෙනවා. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිසයි. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදීම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල්.

එතනින් ආරම්භ වන විෂමතාව අවසන් වන්නේ නොමිළේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද එකී ඇති හැකි පිරිස විසින් ම ඩැහැ ගනිමින්. වෛද්‍ය, ඉංජිනේරු වැනි ඉහළ ඉල්ලුමක් තිබෙන පාඨමාලාවලට තේරෙන සිසුන් අයත් වන පාසල් ගැන අධ්‍යයනයක් කළොත් තත්වය පැහැදිලි වෙනවා. මොකක් හෝ ආකාරයකින් ප්‍රධාන පෙළේ පාසලක් හිමිකරගන්නට බැරිවුණොත් මෙම පාඨමාලාවලට තේරෙන එක බොරු. ටියුෂන් ජාවාරමට අවකාශය විවෘත කර දෙන්නේ ඉහත කී අධ්‍යාපන විෂමතාවයි. එය සිදු වන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකියි.

සීමිත වරප්‍රසාදිත පිරිසකට පමණක් ලබා දෙන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා ගැනීම සඳහා පොරකෑම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන අවස්ථාවෙදිමයි. එහිදී හොඳම පාසල් ටික හිමි කර ගන්නා දරුවන්ට ඉදිරි අවස්ථා පහසුවෙන් හිමි කර ගත හැකියි. එතනින් ගිලිහී යන පිරිස එම අවස්ථාව ලබාගැනීම වෙනුවෙන් මාරාන්තික සටනක් කළ යුතුයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එහි තීරණාත්මක කඩඉමක්. එයිනුත් මගහැරෙන දරුවන්ගේ තත්වය තවත් භයානකයි. සාමාන්‍ය පෙළට A සාමාර්ථ නවයක් ලබාගන්නට හැකි සුළු පිරිසකට නැවතත් හොඳ පාසලකට පිවිසීමේ අවස්ථාවක් සඳහා උත්සාහ කළ හැකියි. අව වරප්‍රසාදිත දරුවන්ගේ පාසල්වලින් යම් දුරකට හෝ විශ්වවිද්‍යාලවලට සිසුන් තේරෙන්නේ කලා විෂය ධාරාවෙන් පමණයි. අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වන මෙම කෘර තරගකාරිත්වය හේතුවෙන් සිදු වී තිබෙන්නේ පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙළඳපොළකරණයක් සිදු වීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය හිර වී තිබෙන්නේ මෙවැනි ටියුෂන් වෙළඳපොළක මිස බොහෝ අය කියන ආකාරයේ ඊනියා නව ලිබරල්වාදයක නොවෙයි.

ලංකාවේ පාසල් පෞද්ගලීකරණයක් සිදුවන්නේ නැහැ. පාසල් වැසී යනවා. එයට හේතුව, අධ්‍යාපන විෂමතා මිස අමුතු කුමන්ත්‍රණයක් නෙමෙයි. වැසෙන්නේ දරුවන් නැති පාසල්. ජාත්‍යන්තර පාසල් නමින් පවත්වාගෙන යන ඊනියා අධ්‍යාපනික සමාගම්වලට රජයේ ප්‍රධාන පෙළේ පාසල් සමග තරග කිරීමේ හැකියාව නැහැ. ඔවුන් පැවැත්ම තහවුරු කරගෙන තිබෙන්නේ විදේශ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ විභාගවලට මුහුණදෙන, ඇති හැකි පන්තියේ, අලුත සල්ලි හම්බ කරගත් එතරම් තේරුමක් නැති සමාජ තීරයේ හා හොඳ පාසලක් සොයාගත නොහැකි වීම නිසා ජාත්‍යන්තර පාසල්වලට දරුවන් ඇතුළත් කරන මව්පියන්ගේ දරුවන්ට සේවා සැපයීමෙන්. එම පාසල්වල අධ්‍යාපන ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා.

අධ්‍යාපන වෙළඳපොළකරණය පාසල් අධ්‍යාපනය ද ඉහවහා පැතිර ගොස් තිබෙනවා. ඇත්ත ම කියනවා නම් මේ වන විට පාසල් අධ්‍යාපනය යනු ටියුෂන්වල උණ්ඩුක පුච්ඡයක් වගෙයි. පාසල වෙළඳපොළකරණයට හසු වන හැටි ඉතා සියුම්. මේ වන විට පාසල් ගුරුවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කුමන හෝ අන්දමකින් ටියුෂන් කරනවා. එම ටියුෂන් පන්ති තනි පුද්ගල පන්ති, කුඩා කණ්ඩායම්, ගෙවල්වල ගරාජ්වල හා අතු මඩුවල කරන පන්ති හා කඩවල උඩ තට්ටුවල කරන පන්ති ආදී වශයෙන් විවිධයි. මෙම ටියුෂන් පන්ති කරන ඇතැම් ගුරුවරුන් තමන් උගන්වන පාසලේ සිසුන් පන්තියට ආකර්ශනය කරගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදනවා. ඇතැම් උපායන් ආචාරධර්ම විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස ද සැලකිය හැකියි. දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරුඅනියමින් විශාල වැඩ කොටසක් කරනවා.  අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. 

එහෙත්, දැවැන්ත ටියුෂන් මුදලාලිලා යනු පාසල් අධ්‍යාපනයෙන් බාහිර පිරිසක්. ඔවුන් අධ්‍යාපනඥයන් ලෙස සැලකිය හැකි අය නො වුණ ද, අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන්ත දෘෂ්ටිවාදීමය බලපෑමක් කිරීමේ ආර්ථික බලයක් ඔවුන් සතුව තිබේ. ඔවුන් උගන්වන ක්‍රමය අධ්‍යාපන මනෝවිද්‍යාව, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය, ක්‍රියාකාරකම් තුළින් ඉගෙනීම වැනි නූතන අධ්‍යාපනික සංකල්පවලට අදාළ නැහැ. ටියුෂන් ගුරුවරුන් වැඩිපුර සමාන වන්නේ ආගමික දේශනාකරුවන්ට හා සුවකරන්නන්ටයි. කෙසේ වෙතත්, ඔවුන්ට අධ්‍යාපනයේ සීමිත අවස්ථා ලබාගැනීමට මග සිසුන්ට ලබාදීමේ හැකියාව තිබෙන බවට සමාජයේ දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ටියුෂන් ගුරුවරුන්ගේ සමස්ත සාමූහික ප්‍රචාරක සැලැස්මම මෙම විශ්වාසය නැවත නැවත තහවුරු කිරීම අරමුණු කරගෙන පවතින දෙයක්.

ලංකාවේ අධ්‍යාපනය ටියුෂන් මානසිකත්වයෙන් බේරාගැනීමේ අතිවිශාල වගකීමක් ගුරුවරුන්ට තිබෙනවා. ලංකාවේ දැනට සිදුකරන පාසල් අධ්‍යාපනය සැබෑ අධ්‍යාපනයක් නොවෙයි. එයින් නිර්මාණාත්මක දරුවෙකු ප්‍රජාතාන්ත්‍රික පුරවැසියකු බිහිවන්නේ නැහැ. සැබෑ අධ්‍යාපනය කුමක්ද? එය හඳුනාගැනීම සඳහා සංවාදයක් ගුරුවරුන්ගේ පැත්තෙන් ආරම්භ කළ යුතුයි. ගුරු සංගම්වලට ඒ සඳහා මුලපුරන්නට පුළුවන්. අධ්‍යාපනය ගැන රජය හා සමාජය සමග සංවාදයක් ආරම්භ කරන්න. විශේෂයෙන් දහස් ගණන් සිසුන් රැස්කර ජේසු ජීවමානයි පන්නයේ දේසනා පැවැත්වීම අධ්‍යාපනය නොවන බවත්, එය මානසික සුවපත් කිරීමක් පමණක් බවත්, තරගකාරී විභාග සමත් වීමට පවා එවැනි දේසනා අවශ්‍ය නැති බවත් දරුවන්ට හා මව්පියන්ට පැහැදිලි කරදීම ඉතා වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාවේ සමාජය වෙනස් කළ හැක්කේ අධ්‍යාපනයෙනුයි. ගුරුවරයා තමා සමාජ විපර්යාසකාරකයකු බව හඳුනාගත යුතුයි. අනාගත පරපුර තුළ වැඩකිරීම ගැන යහපත් ආකල්ප ගොඩනැගීම රට වැටී සිටින අගාධයෙන් ගොඩගැනීම සඳහා ඉතා වැදගත්. ශ්‍රමය, රැකියා, ව්‍යවසායකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආදී කාරණා සම්බන්ධයෙන් දරුවන් තුළ යහපත් ආකල්ප ගොඩනැගීමේ සුවිශාල වගකීමක් ගුරුවරුන්ට තිබෙනවා. ළමයින් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීම අවශ්‍ය නැති බවත්, වෙනත් වෘත්තීන් ද මේ රටට අවශ්‍ය බවත් දරුවන්ට කියාදෙන්නට ඔවුන්ට පුළුවන්.

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.

Adapted from praja.lk

Popular posts from this blog

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

එන්නත් වැඩ්ඩො හමුදාවද?