පොහොර සහනාධාරය නැතිව කෘෂිකර්මය බැරිද?

 

නාස්තිකාර පොහොර සහනාධාරය නතර කළ යුතුය. එහි වාසිය අවසානයේදී යන්නේ මහා පරිමාණ හාල් මෝල්කාරයන්ටය. නිකම් දෙන නිසා ගහන පෝර ගැහිල්ල පසට ද හානිකරය. කෘෂි රසායනික භාවිතය අවදානම් සහිත නිසා පරිස්සමෙන් පරිහරණය කළ යුතුය.

කොහොමත් පොහොර සහනාධාරය දෙන්නට රජයට සල්ලි නැත. ආණ්ඩුව කළ යුත්තේ විධිමත් කෘෂි රක්ෂණ ක්‍රමයක් ඇරඹීම, කෘෂි උපදේශක හා වෙනත් ආශ්‍රිත සේවා ශක්තිමත් කිරීම වැනි දේ මිස නාස්තිකාර සහනාධාර ලබාදීම නොවේ. එවැනි සේවා නොමිලේ ලබාදිය හැකිය.

දැනටත් වාරි ජලය ගොවීන්ට නොමිලේ ලබාදෙන අතර වාරිමාර්ග ද මහජන මුදලින් නඩත්තු කරනු ලැබේ. ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා එසේ කිරීම හොඳ දෙයකි. එහෙත්, එම සේවා ලබාගන්නන් ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුය. සහනාධාර ලබාගන්නන් ඒවා තමන්ට ලබාදෙන මහජනතාවට වගවිය යුතුය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ගොවි ව්‍යවසායකයන් ගොඩනගමින් ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම ඇති කළ යුතුය. වෙළඳපොළ තත්වයන් සමග කටයුතු කිරීමට ගොවීන් සමත් විය යුතුය. වෙළඳපොළට ද නියාමනයක් අවශ්‍යය. රජය තිබෙන්නේ එවැනි කාර්යයන්ට මිස පුණ්‍යාධාර සැපයීමට නොවේ.

එවිට නිකම් පෝර දෙන නිසා කුඹුරට වී ඉසීම කරන තෙත් කලාපයේ පාඩු ලබන, නාස්තිකාර වී ගොවිතැන වැනි ඵලදායී නොවන කෘෂිකර්මාන්තයන් නවතිනු ඇත. එකී ඊනියා ගොවීන් වෙනත් ඵලදායී කටයුතුවල යෙදෙනු ඇත. ඒ බිම් ද ඵලදායී කාර්යයන් සඳහා යොදාගත හැකිය.

සහනාධාර දෙන්නට අවශ්‍ය නම් පොහොර වැනි යෙදවුම්වලින් නොදී ඵලදායිතා ඉලක්ක මත පදනම්ව නිසි ලෙස ඉලක්ක කර ලබාදිය හැකිය. කෘෂි සහනාධාර හා දිළිඳු සහනාධාර පටලාගත යුතු නැත. ගොවියා යනු දිළින්දෙකැයි සලකා කටයුතු නොකළ යුතුය. ගොවියාගේ ව්‍යවසායකත්වය නැංවිය යුතුය. දිළිඳු සහනාධාර වෙනම කළමනාකරණය කළ යුතුය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා