තවත් කොවිඩ් රැල්ලක් එයිද?

 

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2021 නොවැම්බර් 12

ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ වැඩිවීමක් ඇති බව පවසමින් එයට වගකිව යුතු බව පවසමින් ජනතාව විවේචනය කරන සෞඛ්‍ය නිලධාරීන් නැවතත් හඬ අවදිකරන්නට පටන් අරන්. එසේ නිතර ජනතාව විවේචනය කරන සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් සෞඛ්‍ය පද්ධතිය අපහසුවට පත්කරන වැඩ වර්ජනත් පවත්වනවා. මේ කාරණයත් සඳහන් කළ යුතුමයි. කොවිඩ් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ චර්යාවන් අවුල්සහගත නම්, මෙතෙක් කල් සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද සෞඛ්‍ය සන්නිවේදනය මුළුමනින්ම අසාර්ථකයි.

තියෙන පහසුකම් එක්කයි, ආර්ථික අරගලය එක්කයි, ශාරීරික දුරස්ථභාවය වැනි දේ අපේක්ෂිත විදියටම වෙන්නෙ නැතිබව ඇත්ත. උදාහරණෙකට බස් එකේ, කෝච්චියෙ ඔය මීටරේ පරතරේ තියාගන්න බැහැ. ඒ වගේම තමයි, මිනිසුන්ට ජන ජීවිතයේ මෙතෙක් පැවති අංග සම්පූර්ණයෙන්ම අත්හිටුවන්නත් බැහැ. මංගලෝත්සව, සාද ආදිය පැවැත්වෙන ආකාරය අවදානම් සහගතයි. ඒ අතර, මිනිසුන්ට විනෝදයත් අවශ්‍යයි. ඒවායේ මානසික හේතු තියෙනවා. කොවිඩ්වලින් බේරෙන්න ගිහින් මානසික රෝගීන් බවට පත්වෙන්නත් බැහැනේ. ජනතාවගේ චර්යාව ගැන බැනවදින නිලධාරීන් මතක තබාගත යුතු කාරණයක් තමයි, මේ රටේ ජනතාව පෝලිමේ ගිහින් එන්නත් ලබාගත් ආකාරය. වෙනත් රටවල වගේ රාජ්‍ය නායකයන් එන්නත් ලබාගන්න හැටි පෙන්නන්නට අවශ්‍ය වුණේ නැහැ, ඔවුන් දිරිගන්වන්නට. එය කොච්චර වගකීම් සහගත චර්යාවක්ද?

මේ වන විට මේ රටේ මහජනතාව අපමණ දුෂ්කරතා විඳදරාගනිමින් ආර්ථික අරගලයට උරදී සිටිනවා. කඩාකප්පල් වුණ පාසල් අධ්‍යාපනයේ යම් අංග යළි ආරම්භ කර තිබෙනවා. ගොවි අරගල පමණක් නොවෙයි සෞඛ්‍ය සේවක අරගල පවා යළි ආරම්භ කර තිබෙනවා. මිනිසුන් රටහැරයන්නට පෝලිම් ගැසෙනවා.

කොවිඩ්-19 වසංගත තත්වය ලොව පුරාම නැවත නැවතත් හිස ඔසවමින් සිටිනවා. ඒ අතර, එන්නත් පමණක් නොවෙයි, දැන් දැන් කොවිඩ්-19ට ප්‍රතිකාර කරන ඖෂධත් නිර්මාණය කරමින් තිබෙනවා. ඒත්, වයිරසය වේගයෙන් විකෘති වෙමින් නව ප්‍රභේද නිර්මාණය වෙමින් තිබෙනවා. Merck & Co (MRK.N) සහ Pfizer Inc (PFE.N)/BioNTech SE සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ඖෂධ නිසිකලට ලබාගැනීමෙන් ආසාදනයේ තීව්‍රතාව අවම කළ හැකි බව විද්‍යාඥයන් පවසනවා. ආසාදනයේ මුල් අවධියේදී මෙම ඖෂධ මගින් වයිරසය ශරීරය තුළ ජනනය වීම වැළැක්විය හැකියි.

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.

කොවිඩ් ඖෂධ හා එන්නතත්, ශාරීරික දුරස්ථභාවය හා මුඛ ආවරණ පැළඳීම වැනි සමාජ ක්‍රියාමාර්ගත් කොවිඩ්-19 සමග සටනේදී ඉතා වැදගත් බව වෛද්‍යවරුන් පවසනවා.

කෙසේ වෙතත්, මේ වන විට ලොව පුරාම එන්නත් විරෝධය පැතිරෙමින් තිබෙනවා. විවිධ ආගමික, දේශපාලනික හා සමාජ ප්‍රවණතා හේතුවෙන් සමාජයේ විශාල ප්‍රතිශතයක් එන්නත ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ නම් තරුණ පරපුර අතර එන්නත් විරෝධය තරමක් ශක්තිමත්. ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් පිළිනොගන්නා බව කියන අය ඉන්නවා. දැඩි බටහිර විරෝධයකින් හා ජාතිවාදී නැඹුරුවකින් යුතුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට ඡන්දය දුන් මෙම බලවේගය මේ වන විට දැඩි ඉච්ඡා භංගත්වයකට පත්වී බටහිරටම පළා යන්නට උත්සාහ කරමින් සිටිනවා. කොවිඩ්-19 ඖෂධ හේතුවෙන් එන්නත් විරෝධීන් තවත් ශක්තිමත් කිරීමට හේතු වන්නට පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ සමස්ත ජනගහනයෙන් 40%ක් වසර අවසන් වන විට එන්නත් කරන ලෙසයි. ශ්‍රී ලංකාව මේ වන විටත් රටේ සමස්ත ජනගහනයෙන් 60%කට පමණ පූර්ණ එන්නත්කරණය සිදුකර හමාරයි. මේ වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට එන්නත් ලබාදෙන අතර වයස අවුරුදු 12ට වැඩි බහුවිධ රෝගාබාධ සහිත ළමයින්ට ද කෝවිඩ්-19 එන්නත ලබාදෙයි. එන්නත සඳහා සුදුසු වයස් කාණ්ඩය පමණක් සැලකිල්ලට ගතහොත්, ශ්‍රී ලංකාවේ එම වයස් කාණ්ඩයේ ජනගහනයෙන් 85%කට එන්නත ලබාදී තිබෙනවා. මෙය සැලකිය යුතු ජයග්‍රහණයක්.

කෝවිඩ්-19 අධිවසංගත තත්වය පහසුවෙන් සමනය වන බවක් පෙනෙන්නට නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, කෝවිඩ්-19 ආසාදනය වන බොහෝදෙනෙකුට රෝග ලක්ෂණ පහළ නොවිය හැකියි. නැතිනම්, ඇතිවිය හැක්කේ ඉතා සුළු රෝගලක්ෂණයි. ආසාදිතයන් අතරින් 10-15% අතර ප්‍රතිශතයක් රෝගාතුර තත්වයට පත්වන අතර, 5%ක් දැඩි ලෙස රෝගාතුර තත්වයට පත්වේ. සාමාන්‍යයෙන් ගත්කල සති දෙකත් හයත් අතර කාලයකදී කෝවිඩ්-19 සුවපත් වන අතර ආසාදිතයා සාමාන්‍ය තත්වයට පත්වෙනවා. කෙසේ වෙතත්, කෝවිඩ්-19 සුව වීමෙන් පසුව පවා, ඇතැමෙකුගේ රෝග ලක්ෂණ සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකියි. මෙම කාල පරිච්ඡේදයේදී ඔවුන් රෝග වාහකයන් වන්නේ නැහැ. සුළු රෝග තත්වයක් තිබුණු, රෝහල්ගතවීම අවශ්‍ය නොවූ පුද්ගලයන් පවා දිගුකාලීන කෝවිඩ් තත්වයට පත්විය හැකිය. ඇතැමෙකුට දිගුකාලීනව පවතින සෞඛ්‍ය බලපෑම් ඇතිවිය හැකිය. මෙම තත්වය ‘පශ්චාත් කෝවිඩ් තත්වය’ ලෙස හැඳින්වේ.

පශ්චාත් කෝවිඩ් තත්වය මගහරවාගන්නට හොඳම ක්‍රමය වන්නේ කෝවිඩ්-19 ආසාදනය වීම වළක්වාගැනීමයි. දැනට සපයාගත හැකි එන්නත් මගින් දැඩි ලෙස රෝගාතුර වීම හා මරණ වළක්වාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනවා. සෙසු මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග සමග එකට ක්‍රියාත්මක කළ විට එමගින් ආසාදනයට එරෙහිව යම්කිසි දුරකට ආරක්ෂාව සැපයෙනවා. දිගුකාලීන කෝවිඩ්-19 සම්බන්ධයෙන් ද එවැනි සාක්ෂි ලැබෙමින් තිබෙනවා. පූර්ණ එන්නත්කරණයෙන් පසුව කෝවිඩ්-19ට ගොදුරු වන පුද්ගලයන්ට මාසයකට වැඩි කාලයක් රෝග ලක්ෂණ පැවතීමේ අවස්ථාව අඩුයි.

ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්වයට පත්වීමට සුවිශාල උත්සාහයක් දරනවා. රට පුරා පාසල්වල 6, 7, 8, 9, 10 ශ්‍රේණි හැර අනෙකුත් පන්තිවල අධ්‍යාපනික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. ළමයින් කෝවිඩ්-19ට ගොදුරු වන්නේ අඩුවෙන් බව අධ්‍යයන මගින් පෙන්වාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එසේම, ළමයින් දැඩි ලෙස ආසාදනය වීම ද අවමයි. ලෝක ජනගහනයෙන් 30%ක් ළමයින් වුවත්, කෝවිඩ්-19 ආසාදිතයන් අතරට ඇතුළත් වන ළමයින් ප්‍රතිශතය 8%ක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙනවා.  ළමයින් අතරින් වැඩිපුර ආසාදනයට ගොදුරු වන වයස් කාණ්ඩය වන්නේ නව යොවුන් වියේ ළමයින්. උසස් මට්ටමේ එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් පාසල් කාර්ය මණ්ඩලවලින් 95%ක් වෙත මේ වන විට එන්නත ලබාදී අවසන්. ප්‍රමාණවත් ආරක්ෂාවක් හා අධීක්ෂණයක් සහිතව ශ්‍රී ලංකාවේ පාසල් නැවත විවෘත කිරීම යහපත් තත්වයක්. එහිදී කොටස් වශයෙන් පාසල් ආරම්භ කිරීම, ප්‍රාථමික පන්ති මුලින් ආරම්භ කිරීම හා පන්ති කාමර හා අන්තර්ජාල ක්‍රම දෙකම භාවිතා කරමින් ඉගැන්වීම වැනි යෝග්‍ය මූලෝපායන් අනුගමනය කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනවා.

කොවිඩ්-19 සමග අරගලය ලංකාවේ පෙරට යන්නේ එහෙමයි. තවත් කොවිඩ් රැල්ලක් එයිද නොඑයිද කියන එක තනිකරම මහජන චර්යාව මත තීරණය වෙන බවක් තමයි ඇතැම් සෞඛ්‍ය බලධාරීන් කියන්නට උත්සාහ කරන්නේ. මහජනතාවට බනින එක හරි ලේසි වැඩක්.

කෝවිඩ්-19 ඖෂධ ලංකාවට කවදා විතර එයිද?

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා