නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය

 

නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්‍රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමේ ක්‍රියාකාරකම් බලහත්කාරී සහ නීති විරෝධී වන අතර එම පුද්ගලයන් ඇප මත නිදහස් කළ අධිකරණයට කරනු ලබන අපහාසයක් බව ද, එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන්, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් කෝවිඩ්-19 මර්දනය කිරීම සඳහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇතිකර ඒවා යටපත් කරන බව ද සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳ තර්කය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ කෝවිඩ්-19 සම්බන්ධයෙන් 2020 ඔක්තෝබර් 15දා අංක 2197/25 යටතේ ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ රෙගුලාසි මත පදනම්වය. අදාළ රෙගුලාසි අංක 91 යටතේ මෙසේ දැක්වේ:   

91. නිසි බලධරයා විසින්, 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඞ්-19) සම්බන්ධයෙන් වන රෝගී ප‍්‍රදේශයක් තුළ සිටින –

(අ) තැනැත්තන්ගේ සංචරණය සීමා කිරීම;

(ආ) රෝගී තැනැත්තකු හෝ රෝගී තැනැත්තකු බවට සැක කරනු ලබන යම් තැනැත්තකු ප‍්‍රතිකාර සඳහා හෝ නිරෝධායන කාර්ය සඳහා රෝහලකට, නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයෑම හෝ එසේ ගෙන යන ලෙස යම් තැනැත්තකු වෙත නියම කිරීම; හෝ

(ඇ) සමස්ත ශ‍්‍රී ලංකාව සඳහා නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි ආකාරයට බීජෞෂණ කාලසීමාව නොඉක්මවන කාලයක් සඳහා රෝගය වැළඳී ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තකු වෙත ස්වකීය නිවස තුළ, පරිශ‍්‍රය තුළ හෝ පදිංචි ස්ථානය තුළ ස්වයං නිරෝධායනය වන ලෙස විධාන කිරීම,

නීත්‍යානුකූල වන්නේය.   

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් මූලික මානව හිමිකම් තුනක් මහජන උද්ඝෝෂණ සමග සම්බන්ධ වේ. ඒවා නම්, භාෂණයේ නිදහස, සාමකාමී රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමේ නිදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ), (ආ) සහ (ඇ) වගන්තිවලින් එම අයිතිවාසිකම් තහවුරු කර තිබේ. මහජන විරෝධතා මගින් සිතීමේ නිදහස ද ශක්තිමත් කරනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන වගන්තිය මගින් එය සහතික කර තිබේ. 14(1) වගන්තිය මගින් තහවුරු කර තිබෙන අයිතීන් මහජන සෞඛ්‍යය සම්බන්ධ නීති මගින් සීමා කළ හැකිය. එහෙත්, එම සීමාකිරීම් සිදුකළ යුත්තේ නීත්‍යානුකූලවය. සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත අරමුණු සමග ඒවා සම්බන්ධ විය යුතු අතර සීමාකිරීම් සාධාරණ විය යුතුය.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2021 ජුලි 4දා නිකුත් කරන ලද වඩාත්ම මෑතකාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් හොඳින් අධ්‍යයනය කරන ලදී. එම මාර්ගෝපදේශ මගින් ඇතැම් ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්වලට අවසර ලබාදෙයි. සම්බාහන මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසල් සහ අවන්හල් පවත්වාගෙන යාම හා තවත් කරුණු එහි අඩංගු වේ. මත්පැන්හල් විවෘත කිරීම සහ එළිමහනේ ව්‍යායාම කිරීම හා දිවීම සඳහා ද එමගින් අවසර ලබාදී තිබේ. එම මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියා ලෙස නම්කර නැත.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද ඉහත සඳහන් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වන පරිදි, කෝවිඩ්-19 පැතිරීම හේතුවෙන් මහජන රැස්වීම් සහ මහජනතාව ඒකාරාශී වන විරෝධතා සඳහා අවසර ලබා නොදිය යුතු බව සඳහන් දැනුම්දීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයා වෙත ලැබී තිබේ. අදාළ මාධ්‍ය නිවේදනයෙහි අන්තර්ගතයෙන් පවා මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන විරෝධතා වැළැක්වීමට කටයුතු කරන ලෙස උපදෙස් දෙනමුත් පූර්ණ තහනම් කිරීමක් අදහස් කරන්නේ නැත. ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශානුකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නැත.

ඕනෑම සංවිධිත උද්ඝෝෂණයක් සිදුකළ යුත්තේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අන්දමින් බවත් (වෙනත් ඕනෑම අවසර ලත් ක්‍රියාකාරකමකින් ඇතිවිය වැකි සෞඛ්‍ය තර්ජන පවා ඇති නොවන අන්දමින්), විරෝධතාවලට, පෙළපාලිවලට හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට අදහස් කරන පුද්ගලයන් තමන්ගේ හා පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශානුකූලව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරයි. කෙසේ වෙතත්, කලින් පණවනු ලැබූ සීමාකිරීම් ලිහිල් කිරීම යෝග්‍ය යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙන සංදර්භයක් තුළ, පොලිසියට විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා දැඩි බලයක් යොදවමින් ක්‍රියාකිරීම සඳහා සාධාරණ හේතුවක් ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශ්වාස කරන්නේ නැත. 

ඇතැම් අවස්ථාවලදී, එවැනි විරෝධතාකරුවන් මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත නිදහස් කළ විටදී එසේ ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ. ඇතැම්විට එසේ කරනු ලබන්නේ ඔවුන් රැගෙන යන්නේ කොහෙටදැයි ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට පවා දැනුම්දීමකින් තොරවය. 

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය