ඉස්ටාලිම් අයියා

 

අජිත් පැරකුම් ජයසිංහ

2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස් එක තිබුණෙ. ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චන්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙ පුකේ ගූ උණු වෙලා. පස්සෙ ජෝසප් ස්ටාලින්ට මේක කිව්වාම ඌ ඇවිත් චන්ඩියා එක්ක කතා කළා. චන්ඩියා ඇඹරි ඇඹරි මෙහෙම කිව්වා. “නෑ, ඉස්ටාලිම් අයියෙ අපි දන්නෑනෙ මේවයෙ මොකද වෙන්නෙ කියලා. මෙතන එක එක ජාතියෙ අය එනවනෙ. ඉස්ටාලිම් අයියගෙ යාළුවො නං ඉතිම් අවුලක් නෑ.”

2003 ඔක්තෝබර් මාසෙ අග සිහල දමිළ කලා උළෙල වෙලාවෙ දැන් අපේ යාළුවන් වන නිශාන්ත වර්ණසිංහලා ඒකට ගහන්න සෙනග අරන් ආවා. අපි ගාව බැනර් හයි කරන්න ගෙනාපු දෙකයි දෙකේ පොලු වගයක් තිබුණා. උන් ගේට්ටු කඩාගෙන ඇතුළට පැන්නාම අපිත් උන්ට ඔලු පැලෙන්න දුන්නා. උනුත් ගැහුවා. හැබැයි උන් ගැහුවෙ අපේ තැනට ඇවිත් නිසා අපි උන්ට එරෙහිව පැමිණිලි කළා. ඒ වෙලාවෙ අපේ ආරක්ෂාවට හිරු ඔෆිස් එකට පොලිස් ගාඩ් එකකුත් දැම්මා. ඊට පස්සෙ නම් අපට චන්ඩියා හෙණට සැලකුවා. පොලිසිය නිසා ද සිහල උරුමයට ගහපු නිසා ද දන්නෙ නැහැ. ඔය මෝදර පැත්තෙ මිනිසුන් සිංහල ද දෙමළ ද කියන්න දන්නෙ නැහැ. ඒ මිනිසුන්ට ඒකෙ වැදගත්කමකුත් නැහැ. අපේ විජේ කියන්නෙ පොදු ළිඳේ නාන ගමන් ‘ලණු කෑල්ල කොඤ්ඤං තාංග මචං’ කියන ජාතියෙ භාෂාවක්ලු කොළඹ දෙමළ මිනිසුන් අතර තියෙන්නෙ.

හැබැයි වැඩි දවසක් මෝදර සොල්දර ගෙදර ඉන්න වුණේ නැහැ. දවසක් මායි නෙවිල් උදිතයි (මට මතක විදියට) එහෙ වැඩ කර කර ඉන්නකොට මුහුද පැත්තෙන් ටෝනේඩෝ එකක් ඇවිත් සිංහල උළු වහල පෑන් කේක් එකක් වගේ ඇඹරිලා ගියා. මං ගෙයි කණුවක් අල්ල ගත්තා. වෙලාවට සිංහල උළුකැට ටික සට සට ගාල වැස්සක් වගේ වැටුණෙ අපේ වටිනා ඔලු තිබුණු තැනට නෙමෙයි, පුස්තකාලෙට. ඊට පස්සෙ අපි එතනින් ජාඇලට ගියා. එහෙදි අපි තීරණය කළා හිරු සතිපතා පත්තරේ නැවත පටන් ගන්න. ඒකට කොටුවෙ බේරෙ වැව අයිනෙ දියැසෙ කාර්යාලයට ආවා. එතනදි අපි දේශපාලනිකව කෙළගත්තා. මායි, තව කට්ටියකුයි කැඩිලා ලංකා ලෙෆ්ට් වෙබ් සයිට් එක පටන් ගත්තා. ඉස්ටාලිම් අයියත් අපිත් එක්ක හිටියා.

අපි දේශපාලන කණ්ඩායමක් විදියට පළ කළ පෝස්ටරේ තිබුණ සටන් පාඨය තමයි අපේ දේශපාලන තේමාව වුණේ. “දේශයන් දෙකක් එක රටක්.” අපි පෙනී හිටියෙ සහසන්ධීය රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් පදනම් කරගත් දේශපාලනය වෙනුවෙන්. ඒක ෆෙඩරල්වාදයට එහා ගිය එකක්. පස්සෙ යුද්දෙ පටන් ගත්තා. අපත් එක්ක හිටපු කොළඹ දෙමළ අය අනියමින් යුද්දෙට ආවඩන තැනකට තල්ලු වුණා. අපි විසිරුණා. එදායින් පස්සෙ මං නැවත දේශපාලන කණ්ඩායම් එක්ක දැඩිව සම්බන්ධ වුණේ නැහැ. හැබැයි තාමත් දේශපාලනය කරනවා.

සමහරු හිතාගෙන ඉන්නවා ජෝසප් ස්ටාලින් කියන්නෙ නිකම් ම නිකම් ගුරු සංගංකාරයෙක් කියලා. ජෝසප් ස්ටාලින් දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ජවිපෙන් අයින් වෙලා පදවියේ ගුරු වෘත්තියට ගිහින් හිටපු මාව හොයාගෙන ජෝසප් බුද්ධංගල ඉස්කෝලෙට ආවෙ 1994 මුල. එදා තමයි අපි චමරියේ මුලින් ම බත් උයපු දවස. එතකල් බත් කෑවෙ ළඟ ගෙදරකින්. මං තමයි හාල් හේදුවෙ. කන කන කටක් ගානෙ ගල් තිබුණ බතකින් අපි ඌට සංග්‍රහ කළා. ජෝසප් තමයි මාව හිරු කණ්ඩායමට සම්බන්ධ කළෙත්. ඊට පස්සෙ අනුරාධපුරේ ඉන්න කාලෙ අපි ගොඩක් සමීප ඇසුරක් තිබුණා. ඒක හරි සොඳුරු කාලයක්. පස්සෙ ජෝසප් මාරු වෙලා මහනුවරට ගියා. ටික දවසක් ගුරු සංගම් වැඩවලිනුත් අයින් වෙලා හිටියා. ඒ වුණාට මෑත ඉතිහාසයේ ලංකා ගුරු සංගමය කියන්නෙ ජෝසප් ස්ටාලින් ම තමයි.

හිරු කණ්ඩායම එක් කාලෙක විවිධ කණ්ඩායම් අතර බලය තහවුරු කරගැනීමේ වැරදි උපායමාර්ගයක යෙදී සිටියා. දියැස කණ්ඩායම තුළ බලය අල්ලලා පැට්‍රික් හා වසන්ත බිඳ දමලා දියැස කණ්ඩායමත් විනාශ කර දැම්මා. මේ දේම හිරු කණ්ඩායම ලංකා ගුරු සංගමය සම්බන්ධයෙනුත් කරන්නට ගිහින් අසාර්ථක වූ බව ස්වයං විවේචනාත්මකව කිව යුතුයි. ජෝසප් මහනුවරට පළාගියේ හිරු කණ්ඩායමේ උපායමාර්ගයට ඍජුව විරෝධය නොදක්වා විරාමයක් ගන්න කියලායි මම හිතන්නෙ.

ජෝසප් ස්ටාලින් කොච්චර චන්ඩියෙක් වුණත් කැරපොත්තන්ට මාර බයයි. දියවැඩියාවත් ළාවට තියෙනවා වුණාට පැණිරස කන්න රුසියා. ගම පිටකොටුව. තාත්තා වරායෙ පැරණි කම්කරු නායකයෙකු වුණ නැසීගිය බෙනඩික් ප්‍රනාන්දු සහෝදරයා. ඔහු කොමියුනිස්ට් පක්ෂෙ චීන පිලේ නායකයෙක්. ඒකෙන් තමයි පවුලට උපන් පළමු පිරිමි දරුවා ජෝසප් ස්ටාලින් වුණේ. ඇති මාඕ ස්ටාලින් නොවුණා. දවසක් අපේ ඔෆිස් එකට ඇමරිකාවෙන් කෝල් එකක් ආවා. ඒ කාලෙ ජංගම දුරකථන නැති කාලෙ. සුරේෂ්ට කතා කරන්න පුළුවන් ද ඇහුවා. අපි කිව්වා සුරේෂ් කෙනෙකු මෙහෙ නැහැ ය කියලා. කතා කරපු කෙනා කිව්වා, ඒක වෙන්න බැහැ, එයා දැන් ඔතනට එනවා ය කියලා. ටික වෙලාවකින් ජෝසප් නම් ආවා. අපි ඌට කිව්වා කවුද පිස්සෙක් සුරේෂ් කෙනෙකු ගැන ඇහුවා ය කියලා. බැලින්නම් ඒ ජෝසප්ගෙ වැලිකෙළියෙ යාළුවෙක්. ඉස්ටාලිම් අයියට ගෙදරට කියන හුරතල් නම සුරේෂ් ලු. දැනුත් අම්මයි අක්කයි කතා කරන්නෙ එහෙම තමයි.

ඉස්සර ඉස්ටාලිම් අයියව හම්බ වෙන්න ගියාට ඌ එක්ක කතා කරන්න හරි අමාරුයි. තනි සිම් එකේ ඇනලොග් ෆෝන් දෙකකට එක එක ගුරුවරු දෙන කෝල්වල තියෙන ආත්මාර්ථකාමී වෘත්තීය ප්‍රශ්නවලට උපදෙස් දෙන එක තමයි ගුරු සංගං කරනවා ය කියලා කරන්නෙ. ගුරුවරුන් පොදු ඉල්ලීමක් වෙනුවෙන් එකතු කරන්නට බැරි තත්වයක් තිබුණෙ. ඒ වුණාට හැම එකාට ම එකීට ම පෞද්ගලිකව දිනාගන්නට අහස උසට බලාපොරොත්තු තිබුණා.

1995 වගේ කාලෙක වසන්ත ධර්මසිරිත් අපව සොයාගෙන පදවියට ආවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් හවුල් කරගෙන ගුරු සංගමයක් හදමින් හිටපු කාලෙ ඒ. ගුරුවරුන් හිටියෙ ගුරු සංගමේකට සාමාජික මුදල් ගෙවන්නට පවා අකැමැති තත්වයක. ඒ වුණාට අහන්නෙ සාමාජික මුදල්වලට මොකක්ද වෙන්නෙ කියලායි. මං දන්න තරමින් ජෝසප් ස්ටාලින්ට තමන්ගෙ පඩියයි ගුරු සංගම් අරමුදලයි කියල දෙකක් තිබුණෙ නැහැ. ජෝසප් 1980 මහා වැඩ වර්ජනයෙන් පසු බිඳවැටී තිබුණු ලංකා ගුරු සංගමේ නැවත ගොඩනැගීම භාරගන්නකොට සංගමේට තිබුණු අරමුදලට වඩා ජෝසප්ගෙ පඩිය ලොකුයි. කාන්තා පාර්ශ්වයේ අය සෑහෙන්න ට්‍රයි කළාට ජෝසප් තනිකඩව ගුරු සංගමය වෙනුවෙන් කැපවෙන්න තීරණය කළා. 1990 දශකයේ ඒ මට්ටමේ තිබුණු ගුරු වෘත්තීය සංගම් අද තිබෙන තත්වයට ඔසවා තබන්නට ජෝසප් ස්ටාලින් කරපු වැඩකොටස මම නම් හිතන්නෙ ගුරු සංගම් ඉතිහාසයේ ඉදිරියෙන්ම ලියවෙන්නට ඕනැ.

මගෙ පරණ යාලුවො හුඟදෙනෙක් දැන් මං ගැන කියන කොට මගේ නම ඉස්සරහින් “අපි හැම දේකට ම එකඟ නැති වුණාට” කියලා විශේෂණ පදයක් දානවා. අවුරුදු දුසිමක බ්ලොග් කෙරුවාවෙන් උපයාගත්ත දේ තමයි ඒ. මට මතක විදියට, ජෝසප් මා එක්ක බොහෝ දේවලදි එකඟ නැති වුණාට කවදාවත් මං ගැන ඔය විශේෂණ පදේ දාලා නැහැ. මං නැති තැන්වලදි දාලා තියෙනවා ද දන්නෙ නැහැ. අවුලක් නැහැ. අපේ යාළුකම ඔය මොන ආරාවුල තිබුණත් වෙනස් වෙන්නෙ නැහැ.

ජෝසප් ගැන කියනවා නම් තව ගොඩක් කතා තියෙනවා. මෑත කාලයේ මට වඩා ජෝසප් ඇසුරු කරපු අයට ඊට වඩා රසවත් කතා ඇති. ජෝසප් කියන්නෙ ඕනැ තරම් වැඩකරන්න පුළුවන්, මහන්සියක් නැති, වැටුණු ඕනෑම තැනක රෝසමල් යහනාවක නිදාගන්නවා වගේ නිදාගන්න පුළුවන් මිනිහෙක්. ඒ නිසා නිරෝධායනයට යැව්වාය කියලා ජෝසප්ට දඬුවම් කරන්න බැහැ. මං හිතන්නෙ තාම ජෝසප් රිමාන්ඩ් වෙලාවත් නැහැ. එහෙම නොවී මෙච්චර සටන් කරපු එකත් වාර්තාවක්. ජෝසප් ස්ටාලින් කියන්නෙ අපට මීට වඩා නායකයෙකු වෙන්න විභවය තිබෙන මිනිහෙක්. ඒ කොහොම වුණත්, උතුම් සහෝදරයෙක්.

ඉස්ටාලිම් අයියා කියා මෙතන ලිව්වට මං ඌට කියන්නෙ මචං කියලා. අයියා කිව්වත් අවුලක් නැහැ. මට මතක විදියට ඌ මට වඩා මාස කීපයක් වැඩිමල්. මං හිතන්නෙ මාර්තු මාසෙ තමයි උපන් දිනේ. මේක දැකලා මට කෝල් එකක් අරන් “මොනවද බං අර ලියල තියෙන්නෙ? පිස්සුද?” කියල කොයිවෙලාවක හරි අහන්න ඉඩ තියෙනවා. ආදරේට බං ලිව්වෙ. නිරෝධායනය වෙලා ඇවිත් මානව හිමිකම් නඩුවක් කියමු.

තවත් රසවත් මිනිසුන් ගැන කතා මෙතැනින්




Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය