15 හැවිරිදි ගැහැණු ළමයා අපයෝජනයට සම්බන්ධ අයට මොකක් වෙයිද?

 

15 හැවිරිදි ගැහැණු ළමයකු අපයෝජනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වන හෘද රෝග විශේෂඥවරයකු, මාලදිවයිනේ හිටපු ඇමතිවරයකු, දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

15 හැවිරිදි ගැහැණු ළමයා දැරියක ලෙස හඳුන්වන්නේ ඇයිද යන්න කෙරෙහි අවධානය යොමුකළ යුතුය. දරුවා යන වචනයේ ස්ත්‍රීලිංගික ස්වරූපය වන දැරිය නම් වදන 15 හැවිරිදි ගැහැණු ළමයකු සම්බන්ධයෙන් යෙදිය නොහැකිය. දරුවකු යයි අප සාමාන්‍යයෙන් කියන්නේ ළමයකුට පෙර වයසේ පුද්ගලයන් හැඳින්වීම සඳහාය. ගැහැණු ළමයා යයි නොකියා දැරියක යයි කීමට පෙළඹීම තුළ ඇත්තේ මෙම අපයෝජනය සම්බන්ධ ප්‍රවෘත්ති කාමුක පරිභෝජනය සඳහා අලෙවි කිරීමේ මාධ්‍ය වෙළඳපොළ උපායකි.

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය.

දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 360 වගන්තිය අනුව ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සදහා යොදා ගැනීම වරදකි.

දූෂණය දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 363 යටතේ අර්ථකථනය කර තිබේ. ඒ අනුව, ඒ වනාහි නිශ්චිත තත්වයන් පහක් යටතේ ලිංගික සංසර්ගයයි.

  • අකැමැත්තෙන් සිදුවන ලිංගික සංසර්ගය
  • කාන්තාව නීතිමය හෝ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටියදී ලබාගන්නා කැමැත්තෙන් හෝ බලහත්කාරය, තර්ජන හෝ බලය පාවිච්චි කර ලබා ගන්නා කැමැත්තෙන් හෝ ලිංගික සංසර්ගයේ යෙදීම
  • කාන්තාව මානසිකව අයෝග්‍ය තත්වයක සිටියදී හෝ අදාළ පුද්ගලයා හෝ වෙනත් අයකු විසින් ඇය මත් කිරීමට භාජනය කර සිටියදී කැමැත්ත ලබාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම
  • පිරිමියා සමග විවාහ වී සිටින බව විශ්වාස කරන නිසා කාන්තාව ලබාදෙන කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
  • කාන්තාව වයස අවුරුදු 16ට අඩු වයසක සිටියදී, ඇය පිරිමියාගේ බිරිඳ නම්, ඇය වයස අවුරුදු 12ට වැඩි නම් හා ස්වාමියාගෙන් නීත්‍යානුකූලව වෙන් වී නොමැතිනම් හැර, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම

දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 363 වගන්තියට අනුව, ලිංගික සංසර්ගයක් වන්නේ ශරීරයට ඇතුළු කිරීමකි.

නීති නොදැන සිටීම නීතියෙන් ගැලවීමට මාර්ගයක් වන්නේ නැත. කළ වරද මුලදීම පිළිගෙන සමාවක් අයැදීම හොඳය. එහෙත්, වරදට ලැබෙන දඬුවම් විඳීමට සිදුවේ.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධන පනත අනුව ලිංගික හිංසනයක වරදකරුට බරපතල වැඩ සහිතව වසර හතක අවම සිර දඬුවමක් හා දඩයක් ද නියම වන්නට පුළුවන්. මෙම දඬුවමේ උපරිමය අවුරුදු 20ක් විය හැකි ය.

වසර නවයකට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියක උපකාරක පන්තියේදී ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් 2019දී වසර 20 ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළේය. මෙයට අමතරව රුපියල් දස දහසක දඩයක්‌ද, දඩය නොගෙවන්නේ නම් තවත් සය මසක සිරදඬුවම් ද නියම කෙරිණි. අකුරැස්සේ පාසල් ගුරුවරයාට උපරිම දඬුවම් ලබා දීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර තිබේ

සමීපතම ඥාතීන් අතින් සිදු වන ලිංගික හිංසන වැරදි සඳහා අවම දඬුවම බරපතල වැඩ සහිතව අවුරුදු 10කි.

එහිදී දූෂණයේ වින්දිතයා වයස අවුරුදු 16ට අඩු නම්, අවම දඬුවම බරපතල වැඩ සහිතව අවුරුදු 15කි.

පහත දැක්වෙන්නේ ලිංගිකත්වය සම්බන්ධ ලංකාවේ නීති රීති අතරින් සමහරකි.

1. ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 1995 අංක 22 දරන සංශෝධිත පනත
286 වගන්තිය අනුව අසභ්‍ය දර්ශන පෙන්වීම සහ ඒ සඳහා පුද්ගලයන් යොදා ගැනීම වරදක් වේ.
345 වගන්තිය අනුව ලිංගික හිරිහැර කිරිම හා අතවර කිරීම වරදකි.
360 වගන්තිය අනුව ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සදහා යොදා ගැනීම වරදකි.
363 වගන්තිය කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදීම හෝ දූෂණය වරදකි.

2. ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනත
286 ඊ වගන්තිය අනුව පරිගණක යොදා ගනිමින් ළමුන් ලිංගික අපයෝජනයන්ට බඳුන් කිරීම
හෝ ඒ සඳහා සහයෝගය දැක්වීම වරදක් වේ.

3. 1841 අංක 4 දරණ පාදඩ ආඥා පනත (යල් පැන ගිය පනතක් වුවත් තවමත් භාවිතා වේ)
මේ යටතේ ප‍්‍රසිද්ධ ස්ථානවල අනිසි හැසිරීම හෝ මහජනයාගේ පිළිකුලට භාජනය වන
ආකාරයෙන් හැසිරීම හෝ කිසියම් අයෙකුට අනිසි ලිංගික ක‍්‍රියාවන් උත්සාහ කිරීම වරදක් සේ
සැලකේ.

5. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ නීත්‍යානුකූල නො වන ආකාරයෙන් ලබා ගත් දත්ත ආදිය සමග කටයුතු කිරීම වරදක් බව සහ කිසියම් විශේෂිත තැනැත්තෙකුට හෝ
ආයතනයකට හානියක් හෝ පාඩුවක් සිදුවිය හැකි බව දැනුවත්ව හෝ නොදැනුවත්ව වුව ද යම්
යම් තොරතුරු අනාවරණය කිරීම වරදක් වේ. ඒ අනුව යම් යම් ඡායාරූප අදාළ පුද්ගලයින්ගේ
කීර්ති නාමය හානිවන ආකාරයට අන්තර්ජාලයට මුදාහැරීම වරදක් වේ.

6. 1941 අංක 42 දරන වරදකරුවන් පරිවාස පාලනයෙහි තැබීමේ ආඥා පනත
මේ යටතේ බාල වයස්කරුවකු යම් වරදක් කළ විට ඔහු සිරගත කිරීම හෝ දඩුවම් කිරීම
වෙනුවට පරිවාස භාරයට පත් කිරීමත් එහිදී ඔහු පුනරුත්ථාපනය කිරීමත් සිදු කෙරේ.

7. 1848 අංක 48 දරන ළමයින් හා තරුණයන් පිළිබද ආඥා පනත අනුව ද
ළමයින් සහ තරුණ වියේ පසුවන පුද්ගලයන් සිදුකරන වරදකදී ඔහුට දඬුවම් ලබා දීමට වඩා
පුනරුත්ථාපනයට යොමු කිරීම සිදු කෙරේ. ඒ අනුව සහතික කළ පාසලකට යොමු කිරීම හෝ
පරිවාස නිලධාරියෙකු යටතට පත් කිරීම වැනි පුනරුත්ථාපන ක‍්‍රමවේදයක් වයස අවුරුදු 18ට
අඩු තරුණයන් වෙනුවෙන් භාවිත කෙරේ.

8. 1985 අංක 20 දරන ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සෑම ළමයෙකුටම
කිසිදු වෙනස්කමකට හෝ හිංසා පීඩාවකට ලක් නොවී ජීවත් වීමේ හිමිකම ලැබිය යුතු ය.

1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී ඇත.
විවාහ වීමේදී වයස අවුරුදු 18 ඉක්මවා සිටිය යුතු ය. (මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මීට වඩා වෙනස් ය)

වයස අවුරුදු 16ට අඩු ළමයකු තම කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගික කටයුතුවල යෙදීම වරදක් වශයෙන් සැලකේ.

මේවාට අමතරව වෙනත් නීති රීතීන් ද ලිංගිකත්වය සම්බන්ධ වැරදි වලදී දඩුවම් ලබා දීම සදහා යොදා ගනු ලැබේ.

වයස අවුරුදු 16ට වැඩි වුවද කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම වරදකි.

මේ ලිපියත් කියවන්න:

නීතිය දැනගෙන සංසර්ගයේ යෙදෙන්න

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය