2020-03-02

කලිසම් නැතුව යා යුතු දේවාල හා සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රට සංවර්ධනය කිරීම සඳහා තිබෙන උපායමාර්ගයේදී සංචාරක කර්මාන්තයට අති විශාල අවධානයක් යොමු කර තිබේ. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 10ක ආදායමක් ලබාගැනීමට ජනාධිපතිවරයා ඉලක්ක කර තිබේ.
Translations by Creative Content Consultants
ශ්‍රී ලංකාව සුන්දර රටක් බව ඇත්ත ය. එහෙත්, මේ වන විට සියලු සුන්දර ස්ථාන පොලිතින්, ප්ලාස්ටික්වලින් හැඩි වී හමාර ය. සංචාරක කර්මාන්තය නැංවීමට නම්, පළමුකොට කළ යුතුව තිබෙන්නේ සංචාරක ස්ථාන පිරිසිදු කිරීමයි. තාප්පවල චිත්‍ර ඇඳීමට තිබුණු තරුණ උනන්දුව මේ වෙනුවෙන් යොමු කිරීමේ හැකියාවක් නායකත්වයට තිබුණ මුත්, එවැනි ඉල්ලීමක් කිරීමට ජනාධිපතිවරයා අසමත් විය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ට එතරම් දෙයක් කරන්නට තිබෙන රටක් නොවේ. ඒ නිසා සංචාරකයන් නැවත නැවත ශ්‍රී ලංකාවට පැමිණීම වෙනත් ආකර්ෂණීය සංචාරක ස්ථානවලට සාපේක්ෂව අඩු ය. ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන සංචාරක ආකර්ෂණයකි. එහෙත්, සංචාරකයන් ඒ ස්ථානවලට එන්නේ සිංහල බෞද්ධයන් සිතන තරම් විස්මයකින් නොවේ. ඔවුන්ට ඒවා සිංහල බෞද්ධයන් සිතන තරම් අති පූජනීය ද නැත.
සිංහල බුද්ධාගම හා බටහිර බුද්ධාගම යනු බුදු දහමේ පැහැදිලි විභේදනයන් දෙකකි. බටහිර බෞද්ධයන් හා බුදු දහම හදාරන බටහිර ජනයා බුදුන්ගේ දර්ශනය දකින්නේ නිදහස්කාමී, ගැඹුරු චින්තනයක් ලෙසයි. ඇතැම් සිංහල බෞද්ධයන් සිතන ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය බව හා ලාංකිකයන් බුදු බණට හීලෑ වුණ යකුන් ය යන්න බටහිර බෞද්ධයන්ට සිනා උපදවන විහිළුවක් පමණි. බුදුන් යනු ශ්‍රී ලංකාවට හෝ බටහිරට තබා බුදුන් උපන් නේපාලයට හෝ තනි භුක්තියට ගත හැකි ශාස්තෘවරයකු නොවේ. බුදුන් යනු බෞද්ධ දර්ශනය විසින් නිර්මාණය කරන ලද ශාස්තෘවරයා ය.
මෙම පූර්විකාව ලියුවේ අප මිත්‍ර අජිත් අලවත්ත විසින් ද අවධානය යොමු කර තිබෙන කරුණක් කෙරෙහි ඔබේත්, වගකිවයුත්තන්ගේත් අවධානය යොමු කරන්නට ය. මා කලක් අනුරාධපුරයේ ජීවත් වුණෙමි. රුවන්වැලි සෑ මළුවේ වැතිර රෑ බෝ වන තුරු කාලය ගතකිරීම ඒ දිනවල අපගේ විනෝදාංශයක් විය. ඒ දැවැන්ත ඉදිකිරීම පසුබිමේ විසල් අනුරාධපුර අහස, සිසිල් සන්ධ්‍යා මඳනල හා ගල් තලාවේ උණුසුම අපූරු ගූඪ රසයක් මැවී ය.
එහෙත්, මේ වන විට රුවන්වැලි සෑ මළුව යනු එහි පැමිණෙන වන්දනාකරුවන් හා සංචාරකයන් මර්දනය කරන වධකස්ථානයකි. රුවන්වැලිසෑයට ඇතුළු වන දොරටුව අසල සිටින කොට ගවුම් ඇඳි පොලිස් කාන්තාවක්, එහි යන සංචාරක කාන්තාවන්ගේ හා ළමයින්ගේ ගවුම් කොට බව කියා පොරවා ගන්නට ජරා රෙදි ඔවුන්ගේ නීති අනුව කාන්තාවන්ගේ උඩු බාහුව ද නිරාවරණය නොවිය යුතු ය. කොණ්ඩය ලිහිල්ව තිබීම ද ඇතුළු වීමට බැරි වරදකි.
ඒ අතර මේ සියල්ල ආවරණය කරගෙන එන බුර්කා, නිකාබ්වලට පමණක් නොව, මුස්ලිම් කාන්තාවන්ගේ සාමාන්‍ය ඇඳුමක් වන හිජාබයට ද පොලිසිය හා සිංහල බෞද්ධ අන්තවාදීහු රවති.
සංචාරකයකු සෑ මලුවේදී ඡායාරූපයක් ගත්තත් ඔවුන් විනයගත කිරීමට ඉදිරිපත් වන අන්තවාදීන් දැන් එමට ය.
පිරිමින්ට ද කොට කලිසම් ඇඳීම තහනම් ය. කොට කලිසම්වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ෂෝට්ස් ය. සිංහලෙන් ෂෝට, සෝට, සෝටා එක, ෂෝටා එක යයි ද කියනු ලැබේ.
සිංහල බෞද්ධයන්ගේ ආක්‍රමණශීලී ආකල්ප නිසා ශ්‍රී ලංකාවේ වෙනත් ජාතීන් පවා බොහෝ සංචාරක ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වති. සංචාරක කර්මාන්තය නංවන්නේ නැතුව ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත නොහැකි ය. ඒ සඳහා සංචාරක ස්ථානවල සිංහල බෞද්ධ අන්තවාදී විහිළු නතර කළ යුතු ය. එක්දහස් නවසිය හැත්තෑව දශකය දක්වා පැවති ඔලුබක්කන් නටන බෞද්ධ සංස්කෘතියට ආපසු යා යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැත. එහෙත්, එම දශකයේ පැවති බෞද්ධ නිදහස්කාමිත්වය අප නැවත සොයා ගත යුතුව තිබේ.
කවරයේ ඡායාරූපය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් ගණනාවක් ආවරණය කරන ෆින්ලන්ත තානාපති Harri Kämäräinenගේ ට්විටර් ගිනුමෙනි. එය හින්දු දේවාලයක දැක්වෙන දැන්වීමකි.