2020-02-27

ඩිජිටල්කරණය නම් කෝකටත් තෛලය හා රාජ්‍ය අංශය

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2020 පෙබරවාරි 23)

ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට රාජ්‍ය අංශය ගැන අවධානය යොමු නොකර එය කරන්නට බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් අපට තිබෙනවා. රාජ්‍ය අංශය හැම දිහාවට ම අඬු බඬු විහිදලා තියෙන්නෙ. සිල්ලර වෙළඳාම පවා කරනවා.
Translations
ඒත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම බවත් කවුරුත් දන්නවා. පසුගිය සමයේ විහිළුවට කියැවුණ කාරණයක් වුණේ රජයේ ආයතනයක ආදර්ශ පාඨය ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නන්න’ යන්න බවයි.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව, ඵලදායිතාව ඉහළ නංවන්නේ නැතුව ලංකාවට පූර්ණ සංවර්ධන හැකියාවන් අත්පත් කරගන්නට බැහැ. රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡා වෙන්නෙ මෙම සංදර්භය තුළයි.
රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡාවත් සමග ම රජය සැරසෙන්නේ රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නට ද යන ප්‍රශ්නය අනිවාර්යයෙන් මතු වෙනවා. ඒ සැකය නිසා ම රාජ්‍ය අංශයේ නවීකරණයට රජයේ සේවකයන් පැත්තෙන් විරෝධය එල්ල වීමක් ද දකින්නට ලැබෙනවා.
ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිෂමේ සභාපති එස්. රනුග්ගේ මහතා පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැත්වුණ කොළඹ දේශපාලන සංවාද නම් වූ වැඩසටහනකදී පෙන්වා දුන්නේ, නවීකරණයෙන් පසුව පවා කාර්ය මණ්ඩලය එම ප්‍රමාණයෙන් ම පවතිනු ඇති බවයි. “රජයට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කළ හැකි යයි මා සිතන්නේ නැහැ. එසේ අඩු කරනු ලබන රාජ්‍ය සේවකයන්ට නැවත රැකියා ලබා දීමේ වගකීම ද ඇත්තේ රජයට වීම එයට හේතුවයි.”
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ආයතනයේ මහාචාර්ය මයිකල් මුවර් පැවසුවේ එක්දහස් නවසිය අනූව දශකයේදී රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කළ බොහෝ රටවල් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳ අදහස් ඉදිරිපත් කළමුත් එය කිසිදු කලෙක සිදු නොවූ බවයි. “සරලව ම, ශ්‍රී ලංකාවට රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දේශපාලන පිරිවැය දරාගන්නට බැහැ. කෙසේ වෙතත්, ඵලදායී නොවන සංවර්ධන සහකාර වැනි තනතුරු සඳහා බඳවාගැනීම් නොකර සිටීමට රජයට හැකියාව තිබෙනවා. ඔවුන්ව ද හැකි තරම් දුරට නැවත සේවයේ යෙදවිය හැකියි. එවැනි ඉවත් කිරීම් විසින් ලේ වැගිරෙන ගැටුම් ඇති වන්නට පුළුවන්.”
රාජ්‍ය අංශයේ නවීකරණය පිළිබඳ කතාකරන හැමවිට ම රජය වැඩි අවධානයක් යොමු කරන්නේ ඩිජිටල්කරණයටයි. මෙය අද වන විට කෝකටත් තෛලයක් වගේත් වෙලා. ඩිජිටල්කරණයෙන් සියලු ප්‍රශ්න විසඳේ ද?
මේ සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂවරයකු වන වසන්ත දේශප්‍රිය පෙන්වා දුන් කරුණක් වන්නේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ආචාර්ය ෂෙල්ටන් වනසිංහ විසින් පරිසමාප්ත වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇති බවයි. එහි ප්‍රතිසංස්කරණය විය යුතු කලාප 14ක් පෙන්වා දී තිබෙන අතර තොරතුරු තාක්ෂණය ඉන් එකක් පමණක් බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ඩිජිටල්කරණය ගැන කතා කරන නිසා අප ඩිජිටල්කරණයේ තත්වය ගැන විමසා බැලිය යුතුයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි. ඔවුන් අතරින් 26%කට උපාධි හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබේ. දැනට සිටින රාජ්‍ය සේවකයන් අතරින් 66%ක් පරිගණක භාවිතය පිළිබඳ හුරුපුරුදු ය. 36%ක් අන්තර්ජාලය භාවිතා කරන අතර, 36%ක් ඊමේල් භාවිතා කරති. මෙය නරක තත්වයක් නොවුණත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට නම් තවදුරටත් සංවර්ධනය විය යුතු තත්වයක්.
ආයතනයක වෙබ් අඩවියක් කියන්නේ අද වන විට ඉතා සාමාන්‍ය උපාංගයක්. එහෙත්, ලංකාවේ රාජ්‍ය ආයතන තවමත් සාමාන්‍ය වෙබ් අඩවි පවා උත්සවාකාරයෙන් දියත් කරනවා. ඊළඟ ගැටලුව මෙම වෙබ් අඩවි තොරතුරුවලින් කොයි තරම් පරිපූර්ණ ද යන්නයි. බොහෝ රාජ්‍ය ආයතන වෙබ් අඩවි මාස ගණනකින් හෝ අවුරුදු ගණනකින් යාවත්කාලීන වී නැහැ. රජයේ තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගත නොහැකියි. තිබෙන තොරතුරුත් ඇතැම් විට යන්ත්‍ර මගින් කියැවිය නොහැකියි.
රජයේ ඇතැම් වෙබ් අඩවි අනවශ්‍ය අන්දමින් වානිජකරණය වීමක් වෙත යොමු වන බවක් ද දකින්නට ලැබෙනවා. රජයේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනය මෙයට නිදසුනක්. එම ආයතනයේ දිනමිණ, සිළුමිණ, ඩේලි නිව්ස්, දි ඔබ්සර්වර් වැනි ප්‍රධාන වෙබ් අඩවි මෑතදී සංවර්ධනය කරනු ලැබුවේ ඒවා වෙළඳපොළකරණය ඉලක්ක කරගෙනයි. ඒ අනුව, මෙම මාධ්‍ය ආයතනවල තොරතුරු ද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන තොරතුරු මෙන් විවෘත අන්තර්ජාල ප්‍රවේශයෙන් සඟවා තැබීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් තිබෙන බව දකින්නට ලැබෙනවා.