සංචාරකයන් ලක්ෂ 40 ඉලක්කය

අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2020 අගෝස්තු 2

ශ්‍රී ලංකා රජය 2020දී සංචාරකයන් මිලියන හතරක් ආකර්ෂණය කරගැනීමටත්, ඒ ඔස්සේ ඩොලර් බිලියන පහක ආදායමක් ලබාගැනීමටත් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරක ආදායම් ඉලක්කය 2025 වන විට ඩොලර් බිලියන 10කි.
Translations
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේ සංචාරක පැමිණීම අඩු වූ අතර එය 19 ලක්ෂයට මඳක් වැඩි විය. එය 40 ලක්ෂය දක්වා දෙගුණයකටත් වඩා වැඩි කිරීම කියන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
දැනට සංචාරකයකු රටේ රැඳෙන සාමාන්‍ය කාලය දින අටක් වන අතර දෛනික සාමාන්‍ය වියදම ඩොලර් 180ක් වේ.
ශ්‍රී ලංකාව බලන්නට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වසරක් තුළදී දෙගුණයකින් වැඩි කරන බව යම් දේශපාලකයකු කියන්නේ නම්, එවැනි ප්‍රාතිහාර්යයක් කරන්නේ කෙසේ ද යන්න අප විමසා බැලිය යුතු ය. අලුතෙන් ආණ්ඩුවක් බලයට පත් වූ පළියට පැල් බැඳගෙන ලංකාව බලන්නට එන්නට තරම් අමාරුවක් ලෝක වාසීන්ට ඇති වන්නේ නැත.
සංචාරක ඇමතිවරයා යථාර්ථවාදී නොවන ඉලක්කයක් නිවේදනය කර දින කීපයක් යද්දී චීනයෙන් නව කොරෝනා වයිරස ආසාදනය පැතිරීම වාර්තා විය. නව කොරෝනා ආසාදනය ලෝකයේ ම සංචාරක කර්මාන්තයට බලපායි. ශ්‍රී ලංකාවට නව කොරෝනා වයිරසය රැගෙන ආ පුද්ගලයා ලෙස සැලකෙන්නේ චීන ජාතික සංචාරකයෙකි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් 9%ක් චීන ජාතිකයන් වන අතර රටට වැඩිපුර ම සංචාරකයන් පැමිණෙන ගමනාන්ත රටවල් අතර චීනය තුන්වන ස්ථානයට පත් වේ.
මේ අතර, සංචාරක කර්මාන්තය ඉලක්ක කරමින් මත්පැන් සම්බන්ධ නීති සංශෝධනය කරමින් වඩා නිදහස් තත්වයක් ඇති කිරීමට ආණ්ඩුව පළාත් සභාවලින් යෝජනා කැඳවා තිබේ. මෙමගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව සංචාරකයන්ගේ මානසිකත්වය දේශපාලන භික්ෂූන්ගේ මානසිකත්වයට වඩා බැරෑරුම්ව සලකන බව නොවේ ද?
කෙසේ වෙතත්, සංචාරක කර්මාන්තය කෙරෙහි ඉහළ බලාපොරොත්තු තබාගැනීම ඉතා වැදගත් ය. ප්‍රායෝගිකය. එහෙත්, ශ්‍රී ලංකාව සංචාරක හිතවාදී රටක් ද? අප සම්ප්‍රදායිකව ම ආගන්තුක සත්කාරයට ලැදි ජාතියකැයි අපි සිතන්නෙමු. එසේ පූර්ව විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නෙමු. එය නරක නැත. එය ඇත්ත ද බොරු ද කියා වෙනත් සංස්කෘතීන් හා ජාතීන් සමග සන්සන්දනය කරමින් බලන්නට යාම තේරුමක් නැත. ඒ වෙනුවට අප විසින් දී තිබෙන පෙරොන්දුව ඉටුකිරීමට උත්සාහ කිරීම වඩා ප්‍රයෝජනවත් වනු ඇත.
Translations by Creative Content Consultants
මෙතන ජාතිය යන්නෙන් අදහස් කරන්නේ සිංහල ජනවර්ගය නොවීම ම ඉතා ප්‍රගතිශීලී තත්වයකි. අප ශ්‍රී ලාංකිකයන් ලෙස ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් බව ලොවට කියන්නෙමු. අපේ ආගන්තුක සත්කාරය විඳින්නට ලෝකයට ආරාධනා කරන්නෙමු.
ආර්ථික දෘෂ්ටි කෝණයකින් බැලූ කල අප සංචාරකයන් කැඳවන්නේ අපේ රටේ සුන්දරත්වයත්, අපේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයත් ඔවුන්ට විඳින්නට සලස්වා අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට ය. එසේ නම්, අප මූලිකව ම කළ යුතුව තිබෙන්නේ අප රටට පැමිණෙන සංචාරකයන් සතුටින් ආපසු පිටව යන්නේ ද, එසේ ගොස් නැවත ආපසු ඒමට සිතන්නේ ද, වෙනත් අයටත් ශ්‍රී ලංකාව බලන්නට යාමට ආරාධනා කරනු ඇද්ද යන්න ගැන සැලකිලිමත් වීමයි.
සංචාරකයකුගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. ලෝකයේ අප්‍රකට රටක, අප්‍රකට සංස්කෘතියක අතීත ශ්‍රී විභූතිය නිරූපණය කරන ගඩොල් ගොඩවල් දැකීමෙන් ඔබ ලබන දෙය කුමක් ද? අඩු තරමේ ඒ තැන්වල ගොස් ඒවා බලන විට, ඒ අතීතය පිළිබඳ මානසික චිත්‍රයක් ඇඳගැනීමට හෝ ඔබට නොහැකි වුවහොත්, ඔබට එයින් යමක් ලැබේ ද?
ඔබ බලන්නට යන තැන්වලින් ඔබගෙන් විශාල මුදලක් අය කරගෙන ටිකට් ලබා දුන්නත්, ඇතුළට ගොස් බලන විට, එහි දකින්නට තිබෙන දේ වැදගත් වන්නේ ඔබට නොව, එය පෙන්වන පුද්ගලයාට පමණක් නම්, ඔබ සතුටු වෙනවා ද? ඒ තැන්වල ඔබගේ නොවන ආගමික කොන්දේසි ප්‍රකාරව මුළු ශරීරය ම ආවරණය කරගැනීම හෝ සියලු ඇඳුම් ගලවා යාම හෝ වැනි කොන්දේසියක් පවතී නම්, ඔබට එතැන බලන්නට උනන්දුවක් ඇති වේ ද?
ඔබ බලන්නට යන තැන රැස්කන ස්වදේශිකයන් කිසිදු හැඟීමකින් තොරව එම ස්ථානය අපවිත්‍ර කිරීම හා එම ස්ථානයට හානි කිරීම සිදුකරන බව දකින විට ඔබට ඇති වන හැඟීම කුමක් ද? ශ්‍රී ලංකාවේ ඇති සුන්දර ස්ථාන ඡායාරූපයට නගා ෆිල්ටර් මගින් ඒවායේ සුන්දරත්වය තවත් තීව්‍ර කර අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමට අපට හැකි ය. එහෙත්, ඒ තැන්වලට ගොස් නරඹන විට ඒවා ප්ලාස්ටික්, පොලිතින් හා වෙනත් කසලවලින් හැඩි වී තිබේ නම් අප කරන්නේ ව්‍යාජ ලේබලයකින් සංචාරකයා රැවටීම නොවේ ද?
යන යන හැම තැන ම ස්වදේශික වෙළඳුන් හෝ සේවා සපයන්නන් හෝ ඔබට බාල භාණ්ඩයක් හෝ සේවාවක් හෝ විකුණා ඔබෙන් නොවටිනා මුදලක් කඩාවඩාගැනීමට කටයුතු කරමින් සිටින බව ඔබට වැටහේ ද? මට නම් අහිමි වන මුදලටත් වඩා වටින්නේ කිසිවකු විසින් මා නොරැවටීමයි. මේ අතර සිඟන්නන්ගෙන් ද සංචාරකයන්ට සැලකිය යුතු කරදරයක් සිදු වේ.
ලයන් බීර සමාගම උපුටා දක්වමින් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය පසුගියදා පැවසුවේ වර්තමානය වන විට සංචාරකයන් හෝටල්වලින් නොව, බාර්වලින්, තැබෑරුම්වලින් මත්පැන් මිළ දී ගන්නට පෙළඹී සිටින බවයි. ලංකාවේ ආණ්ඩුව මත්පැන් බදුවලින් ජනතාවගේ ඉහමොළ සූරාකයි. ඒ අතර, හෝටල් හිමියන් කරන දෙයක් වන්නේ මත්පැන් පිටත මිළ මෙන් තුන්ගුණයකට පමණ අමුත්තන්ට විකුණා අසාධාරණ අන්දමින් ලාභ ලැබීමයි. වැසිකිළියේ සිට මත්පැන් වීදුරුව දක්වා ඔබ රවටා අධික ලෙස මුදල් අයකරනවාට ඔබ කැමති ද?
ඔබේ හමේ පැහැය වැනි කාරණයක් නිසා එක්කෝ ඔබ ව්‍යාජ ලෙස සැලකිය යුතු සුවිශේෂ පුද්ගලයකු හෝ නැතිනම් ගණන් නොගත යුතු නොවැදගත් පුද්ගලයකු ලෙස සලකනවා නම්, එම රට බලන්නට යාමට ඔබට ඇල්මක් ඇති වෙනවා ද?
ඔබ සංචාරය කරන්නේ ඇයි? මා නම් සංචාරය කරන්නේ සීමාවන් පිළිබඳ අවබෝධයක් සහිතව නිදහස භුක්ති විඳිමින්, අලුත් දැනුම, අත්දැකීම් හා සතුට ලබන්නට ය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ද මා වැනි යයි මම සිතමි. ශ්‍රී ලංකාව සංචාරක හිතවාදී රටක් බවට පත්කිරීම ආරම්භ කිරීමට අප සංචාරකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතු ය.
ඔවුන්ට මෙරටට පැමිණ රටේ නීතිමය හා සංස්කෘතික සීමාවන් තුළ නිදහස භුක්ති විඳිමින්, අලුත් දැනුම හා අත්දැකීම් ලබමින් සතුට භුක්ති විඳින්නට ශ්‍රී ලංකාව කෙතරම් දුරට පහසුකම් සපයනවා ද? ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු මොනවා ද? ඒ ගැටලු විසඳාගන්නේ කෙසේ ද?
ඡායාරූපයේ සිටින නයෝමි කෝල්මන් නම් බ්‍රිතාන්‍ය ජාතික මානසික සෞඛ්‍ය හෙදියක වූ සංචාරක කාන්තාව සිය බාහුවෙහි බුදු රුවක් පච්ච කොටාගෙන සිටි නිසා 2004දී ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගෙන දින හතරක් රඳවා තබාගෙන පසුව පිටුවහල් කරන ලදී. පසුව, 2017දී ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රු. ලක්ෂ අටක වන්දියක් ගෙවන ලදී. විදේශීය පුරවැසියකුට තබා ලාංකිකයකුටවත් කිසිදු ආකාරයකින් නීති විරෝධී ක්‍රියාවක් වන මෙය හේතුවෙන් අවසානයේදී සිදු වූයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නරක ප්‍රචාරයක් සිදුවීමයි. මෙම වකවානුවේ ආරක්ෂක අංශ භාර බලධාරියා වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.
මෙහිදී අපට ලොව ප්‍රධාන සංචාරක ස්ථාන දෙකක් වන ප්‍රංශය හෝ සිංගප්පූරුව හෝ වන්නට බැරි බව අප අවබෝධ කරගත යුතු ය. අප එසේ වන්නට උත්සාහ කළ යුතු ද නැත. සංචාරක කර්මාන්තය සඳහා අපට උපයෝගී කරගැනීමට හැකි වන්නේ අපේ දේශගුණය, පරිසරය, ඉතිහාසය, ජනජීවිතය, සංස්කෘතිය, ආහාර වැනි උරුමයන් හා අපේ මිනිසුන්ගේ උසස් ගුණයන් ය. කෙටියෙන් කියනවා නම්, අතීතයේ සිට අනාගතය කරා අප යන ගමනේ අපට මේ මොහොතේ ලැබී තිබෙන උරුමයයි. අප එය සංචාරක හිතවාදී ලෙස පිරිපහදු කරගත යුතු ය.
සංචාරකයා ගනුදෙනුකරුවකු නොව, අපේ ආර්ථික හා සමාජ හවුල්කරුවකු ලෙස සැලකීමට අප පුරුදු විය යුතු ය. හැම සංචාරකයකු ම ධන කුවේරයකු නොවේ. අප ද සංචාරකයෝ ය. බොහෝ ලාංකිකයෝ විදෙස් සංචාරවල යෙදෙති. අපේ රටට පැමිණෙන සංචාරකයන් මුහුණ දෙන්නේ ද අප පිටරටදී මුහුණ දෙන ගැටලු ම බව සිහි තබාගත යුතු ය.
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ගත් කල සංචාරක හිතවාදී, ආගන්තුක සත්කාර සංස්කෘතියක් නිර්මාණය කරගැනීමට අප සමත් විය යුතු ය. සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා අප බැලිය යුතුව තිබෙන්නේ පිටත දෙස නොවේ. ඇතුළත ය. අපට සුන්දර පරිසරයක් තිබේ. එය රැකගෙන ලොවට පිරිනමන සුන්දර මිනිසුන් සිටිත් නම් සංචාරකයන් නිතැතින් ම මෙහි ආකර්ෂණය වනු ඇත.
Adapted from praja.lk

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)