ඔක්සිජන් තිබිල වැඩක් නැති ජනප්‍රියවාදය හා නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදය

අජිත් පැරකුම් ජයසිංහ

මෙම ලිපිය අග පළ වන වීඩියෝව ලොකු දේශපාලන විග්‍රහයකට පදනම සපයනවා. මහජන නියෝජිතයින්, නිලධාරීන් හා ප්‍රජාව අතර කඩොලාන පරිසරයක් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡාවකදී වනජීවී නිලධාරිනියක යයි සිතිය හැකි කාන්තාවක් කරන අභීත අරගලයක් හා ජනප්‍රිය මොබ් එකක් හෙවත් අයුතු ජනරාශියක් ඇයට ප්‍රතිචාර දක්වන ආකාරය එහි දැක්වෙනවා. එය මෙතැනින් බැලිය හැකියි >>
Translations
වර්තමාන මහජනතාව හා මහජන නියෝජිතයන් ය කියන පුද්ගලයන්ට ඕනැ විදියට රට හා ලෝකය පාලනය කළොත් ලෝකයට හා මානව වර්ගයාට කුමක් වෙයි ද?
ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ පරමාධිපත්‍ය බලය ජනතාවට පවරා දී එම බලය ඍජුව හෝ නියෝජනය මගින් පාවිච්චි කිරීමයි. වඩා සරලව කිව්වොත්, යම් සමාජ ඒකකයක් තුළ බහුතර කැමැත්ත ක්‍රියාත්මක කිරීමයි.
බහුතර කැමැත්ත හැම විට ම නිවැරදි නොවන මුත්, සමාජයේ පහළ මට්ටම දක්වා ම බලය බෙදාගැනීම හෝ විමධ්‍යගත කිරීම හැර වෙනත් විසඳුමක් නැති බවයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස සුළුතර ප්‍රජාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යය වෙත නියෝජනයක් ලබාගන්නට නම් ඔවුන් වෙත බලය විමධ්‍යගත කිරීම හැර වෙනත් විසඳුමක් නැහැ. භූගෝලීය නියෝජනය හැම තිස්සෙම නිවැරදි නැත්තෙ ඒ නිසායි.
උදාහරණයක් විදියට ලංකාවේ රට පුරා විසිරුණු ඇතැම් කුල ප්‍රජාවන් ඉන්නවා. ඔවුන් කුල වශයෙන් සංවිධානය වෙලාත් තිබෙනවා. එහෙම වෙන්නෙ ඒ කුල අනන්‍යතාව වැදගත් නිසා. එම අනන්‍යතා අහෝසි වෙලා ගිහින් නැති නිසා. උදාහරණ දෙකක් තමයි වහුම්පුර සහ නවන්දන්නා කියන කුල. මේ කුලවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් වුණත්, එම පදනම්වලින් ඔවුන්ට ප්‍රමාණවත් මහජන නියෝජනයක් නැහැ. ඇතැම් කපටි දේශපාලනඥයන් ජනාධිපති, අගමැති වැනි බලාධිකාරීන් වෙත ළංවෙන්නට මෙම අනන්‍යතා ඔස්සේ තමන්ට එම ජනතාව නියෝජනය කළ හැකි බව පෙන්වනවා. සජින් වාස්, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි අය එවැනි අනන්‍යතා භාවිතා කර ඉදිරියට ආපු අය.
ඔක්සිජන් මොකටද කියල අහන මහජන නියෝජිතයන්ට ඕනැ විදියට රට හා ලෝකය පාලනය විය යුතු ද? එතකොට, මානව වර්ගයා හමුවේ තිබෙන ගැඹුරු ප්‍රශ්න අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්‍රියාකාරිකයන්ගේ අදහස් වැදගත් නැද්ද? පාලනය වෙත එම අදහස් නියෝජනය කරන්නේ කවුරු ද? කොහොම ද? දේශපාලකයන් එය නොකර, ජනප්‍රියවාදයන් පසුපස යන එක හරි ද?
Translations by Creative Content Consultants
ලංකාවේ වත්මන් ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය, මුස්ලිම් විරෝධය, සමලිංගික විරෝධය, රාජ්‍ය නොවන සංවිධාන විරෝධය, බටහිර විරෝධය වැනි ජනප්‍රියවාදයන් පාවිච්චි කරමින් බලයට පැමිණි එකක්. අගමැති මහින්ද රාජපක්ෂ යනු මෙවැනි ජනප්‍රියවාදයන් සමග රැල්ලට ගහගෙන යාමෙන් අසීමිත ජනප්‍රියත්වයක් ගොනු කරගෙන සිටින අයෙක්. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඒත් නායකයෙක් ද? මගේ අදහස ඔහු නායකයකු නොවන මොබ් හෙවත් අයුතු ජන රාශි වීරයකු බවයි. මේ ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.
නායකයා යනු අනුගාමිකයන් කියන විදියට නටන නැට්ටුවෙක් නෙමෙයි. නායකයා තමයි අනුගාමිකයන්ගේ නර්තන වින්‍යාසය නිර්මාණය කරන්නේ.
එවැනි නායකත්වයක් හා සමාජය අතර ප්‍රජාතාන්ත්‍රික සම්බන්ධය ජනප්‍රියවාදය මත පදනම් වන්නේ නැහැ. නායකයකුට ජනප්‍රිය නොවන තීරණ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ගන්නට සිදු වෙනවා. එහිදී නායකයාට පුළුල් මහජන තලයේ තීරණ, තීන්දු ගැනීමට විශේෂඥයන්ගේ, විද්‍යාර්ථීන්ගේ, බුද්ධිමතුන්ගේ, ක්‍රියාකාරිකයන්ගේ සහාය ඉතා වැදගත්. මෙහිදී මාධ්‍යවලටත් සුවිශාල කාර්ය භාරයක් තිබෙනවා.
ජනප්‍රියවාදයෙන් විනාශයට යනවා ද? නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගාගන්නවා ද? මේක තමයි මේ යුගයේ රත්තරන් ප්‍රශ්නය. මේ නිලධාරිනියගේ අදහස අපි ගන්නට ඕනැ එතැනින්.
මැක්ස් වෙබර් නායකත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෙන ආ අදහස් ඇසුරෙන් මේ ගැන තවදුරටත් සාකච්ඡා කරනවා, ඉදිරි ලිපියකින්.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)