2019-09-15

ලංකාවේ සංචාරක කර්මාන්තයට රු. බිලියන 10ක් ආදායම් ගෙනා ආෂුරා මුබාරකා

අජිත් පැරකුම් ජයසිංහ

ට­වල් 40ක බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණා.
Sinhala Tamil English Translations and Content Writing
එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබුණා. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් පවසනවා. මෙම සමුළුව පැවැත්වුණ සමයේදී කොළඹ හෝටල් සහ සුපිරි නිවාසවල නවාතැන් ගාස්තු 20% සිට 80% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් කාමර 3000කට වැඩි ප්‍රමාණයක රැඳී සිටියා.
සමුළුවෙන් පසුව බොහෝ සංචාරකයන් ආපසු ගොස් තිබෙන අතර, පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවල සංචාරය කරමින් සිටියා.
ඇතැම් අන්තවාදී සංවිධාන මෙම සංචාරකයන්ට තර්ජන, හිරිහැර කිරීමට ඉදිරිපත් වූ අතර, රජය එම තත්වයන් පාලනය කරගැනීමට සමත් වුණා. එහෙත්, ඇතැම් තැන්වලදී අන්තවාදී දේශද්‍රෝහීන් ඔවුන්ට හිරිහැර, බාධා කරන ආකාරය වීඩියෝ කරගනිමින් ප්‍රචාරය කිරීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට කැළැල් ඇති කිරීමට සමත් වුණා.
අෂරා මුබාරකා නම් වූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව ,  ඕස්ටේ‍්‍රලියාව, බහරේනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ඊජිප්තුව, ප‍්‍රංශය, ජර්මනිය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ජපානය, කෙන්යාව, කුවේට්, මැලේසියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ,  ඕමානය, පාකිස්තානය , පෘතුගාලය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, ස්වීඩනය, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්ය,ය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල බෝරා නියෝජිතයන් සහභාගි වුණා.
අෂාරා මුබාරකා කියන්නේ මුහරාම් හෙවත් ඉස්ලාමික කැලැන්ඩරයේ පළමු මාසයේ පළමු දින දහයේ පැවැත්වෙන උත්සවයක්. එහිදී මුහම්මද්ගේ මුණුබුරා වන හුසේන් ඉබ්න් අලිගේ ජීවිත පරිත්‍යාගය සිහිපත් කරනවා. වතාවත් පිළිපදිමින්, දේශනාවලට සවන් දෙමින්, රාත්‍රියේ රැස්වෙමින් මුල් දින ගතකරන ඔවුන් 10වන දින ආෂුරා පවත්වනවා. මේ තමයි කර්බාලා යුද්ධයේදී පළමු යාසිද්ගේ නියෝගයෙන් හුසේන්, ඔහුගේ පවුල සහ අනුගාමිකයන් 72ක් ඝාතනය කළ දිනය. ඉතිරි වූ පිරිස අත්අඩංගුවට ගෙන ඩැමැස්කස් වෙත ගෙනගොස් සිරගත කළා.
මෙම උත්සවය අවුරුදු පතා ලොව විවිධ තැන්වල පැවැත්වෙනවා. එහිදී ඩායි අල් මට්ලාක් නම් වන ඔවුන්ගේ ආගමික නායකයා විසින් ම දේශනා පවත්වනු ලබනවා.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බටහිර ඉන්දියාවේ ගුජරාටයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ වෙළඳ ප්‍රජාවක් වන ඩාවුඩි බෝරාවරුන් ලංකාවේ බහුතර මුස්ලිම් ජාතිකයන් අයත් වන සුන්නි කුලකයට අයත් නැහැ. ඔවුන් ෂියා මුස්ලිම් ප්‍රජාවක්. ලංකාවේ මුලින්ම ස්ථානගත වූ බෝරා ව්‍යාපාරිකයා ජැෆර්ජී එසාජී ලෙස සැලකෙනවා.
ලංකාවේ ප්‍රධාන බෝරා ව්‍යාපාරික පවුල් අතර පැරණිම පවුල තමයි එසාජීගේ පුතා වන කැරිම්ජී ජැෆර්ජීගේ පවුල. ජැෆර්ජී සමාගම 1831 සිට ලංකාවේ ක්‍රියාත්මකයි. එහි ශාඛා ඉන්දියාවේ හැම තැනම මෙන් ම මුරුසියේ ද තිබෙනවා. ඔවුන් සෑම ආකාරයක ම අපනයන සහ හාල්, සීනි, පිටි ආදී ආනයන කළා. කැරිම්ජී තමයි ගාල්ලේ පළමු බෝරා පල්ලිය හදන්න මුල් වෙලා තියෙන්නෙ.
ආදමලි සමාගම 20වන සියවස ආරම්භක සමයේ ලංකාවේ විශාලතම ආනයන අපනයන සමාගම වුණා. ඔවුන් සතුව කොළඹ, නුවර සහ නුවරඑළියේ දේපල තිබුණා. අවිස්සාවේල්ලේ අක්කර 300ක ෆෙයාර්ෆීල්ඩ් වත්ත ද ඔවුන්ගේයි. ආදමලි සමාගම හිමිව සිටි සහෝදරවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඊ.ජී. ආදමලි 1920 සිට 1925 දක්වා ව්‍යවස්ථාදායක සභාවේ ඉන්දීය ප්‍රජාව නියෝජනය කළ සාමාජිකයා ලෙස කටයුතු කළා. බම්බලපිටියේ බෝරා පල්ලිය ආසන්නයේ ආදමලි වීදිය නම් කර තිබෙන්නේ ඔහු නමින්.
හෙබ්තුලාබෝයි, ජීවන්ජී, නූර්බායි, ඩාවුඩ්බෝයි, මුසාජී, අබ්දූල් අලි, අක්බර් ආදීන් තමයි අනෙකුත් ප්‍රසිද්ධ බෝරා ව්‍යාපාරික නායකයන්.
මහනුවරට මුලින් ම සංක්‍රමණය වුණ බෝරා ව්‍යාපාරිකයා තමයි වලිබෝයි හසන්අලි. බදුල්ලට ගිහින් තියෙන්නෙ එස්මල්ජී කරිම්බෝයි.
මුලින් ආනයන අපනයන පමණක් කළ බෝරාවරු දැන් ඇඟලුම්, ප්ලාස්ටික්, වානේ වැනි කර්මාන්ත රැසක ද හිමිකරුවෝයි.
ජැෆර්ජී බ්‍රදර්ස්, ඊ.ජී. ආදමලි සහ සමාගම, හේමාස් ගෘප්, අක්බාර් බ්‍රදර්ස්, ටී.ඒ.ජේ. නූර්බායි සහ සමාගම, ආදම්ජී ලුකමන්ජී සහ පුත්‍රයෝ වැනි සමාගම් බෝරා ජාතිකයන්ට අයිති ඒවායි.
බුර්හානි සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල බෝරා ප්‍රජාව විසින් ආරම්භ කරන ලද වෙනත් ජාතීන්ටත් විවෘත පාසලක්.
ඔවුන්ගේ චාරිත්‍ර ඔවුන්ට අනන්‍යයි. දරුවකු ඉපදුණ විට ඔහුගේ කණ් දෙකට කුරාන පාඨ කිහිපයක් කොඳුරනවා. නම් තබන්නේ සයවන දිනයේ උත්සවයකින්. හත්වන, 14වන හෝ 21වන දිනයේදී හිස මුඩු කර, එළුවකු දරුවා වෙනුවෙන් කැප කර, එම සතාගේ මස් පවුලේ අය විසින් ආහාරයට ගන්නවා. ඔවුන් උපන්දින සැමරුම්වලදී කරන්නේ පොල් හෝ පලතුරු පලංගානක් හිස වටා කරකැවීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ: People of Sri Lanka, “Sri Lankan” – Our Identity; “Diversity” – Our Strength, Ministry of National Coexistence, Dialogue and Official Languages