2019-12-31

ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය

එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවට වූ වගන්තිය 237-197 ලෙස හා කොංග්‍රසයට බාධා කළ බවට වූ අනෙක් වගන්තිය ඡන්ද දෙකේදී 229-198 ලෙස ඡන්ද ලැබ සම්මත වුණා. ට්‍රම්ප් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
Translations by Creative Content Consultants
නියෝජිත සභාවේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඊළඟ අදියරේදී කොංග්‍රසයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවේ සහාය ලැබුණොත් ඔහු ධුරයෙන් ඉවත් කරනු ඇති. රාජ්‍ය ද්‍රෝහීත්වය, අල්ලස හා බරපතල අපරාධ හා වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර දණ්ඩනයට ලක් කළ හැකි බව එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත්, මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය අපරාධ විමර්ශනයකට වඩා දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා.
මීට කලින් ජනාධිපතිවරුන් දෙදෙනෙකු මේ අන්දමින් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. ඒ තමයි, ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන්. එක්සත් ජනපදයේ 17වන ජනාධිපතිවරයා වූ ඇන්ඩෘ ජොන්සන් 1868දී බරපතල අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් වගන්ති 11ක් යටතේ දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. 1998දී බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවේ බොරු සාක්කි දීම හා යුක්තියට බාධා කිරීම යන චෝදනා යටතේයි.
ඓතිහාසික වෝටර්ගේට් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රිචඩ් නික්සන් දෝෂාභියෝගයට ලක්කිරීමට පෙර 1974දී ඔහු ඉල්ලා අස්වුණා. වෝටර්ගේට් කියන්නේ දේශපාලන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ හෝටලයක නමයි. එහිදී තමයි නික්සන්ගේ පළමු අපරාධකාරී ක්‍රියාවන් සැලසුම් වන්නේ. ඔහු ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදී අපේක්ෂකයාට හානි සිදුකිරීමේ අරමුණින් දුරකථන සංවාදවලට හොරෙන් සවන් දීමටත්, රහස්‍ය ලේඛන සොරකම් කිරීමටත් නිලධාරීන් යොදවා හසුවෙනවා. එය හෙළිකරන්නේ ඔත්තු සේවා නිලධාරීන් ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යාලයට හොරෙන් ඇතුල් වූ බව දැනගත් ආරක්ෂක නිලධාරියකු විසිනුයි. ඔහු ධුරයෙන් ඉවත් වීම නිසා දෝෂාභියෝගයට ලක්කිරීම හා දණ්ඩනය පැණවීම නතර වෙනවා. ඔහුගෙන් පසු ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නා ජෙරල්ඩ් ෆෝඩ් නික්සන්ගේ සියලු අපරාධවලට ජනාධිපති සමාවක් ලබාදෙනවා.
ජනාධිපති ට්‍රම්ප්ට බලය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ 2020 ජනාධිපතිවරණයේදී ඔහුට බාධාකාරී විය හැකි ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු වන හිටපු උප ජනාධිපති ජෝ බිඩ්න් සහ ඔහුගේ පුත්‍ර හන්ටර් බිඩ්න් පිළිබඳ ඔවුන්ට හානිකර තොරතුරු සොයාගැනීම සඳහා යුක්රේනයට බලකිරීම සම්බන්ධයෙනුයි. ජනාධිපති බැරැක් ඔබාමා යටතේ 2009 සිට 2017 දක්වා ජෝ බිඩ්න් උප ජනාධිපති ධුරය දැරූ සමයේ හන්ටර් යුක්රේනයේ බලශක්ති සමාගමක රැකියාව කළා. බලපෑම් කිරීම සඳහා යුක්රේනයට එක්සත් ජනපද කොංග්‍රසය විසින් වෙන්කර තිබුණු ඩොලර් මිලියන 400ක යුද ආධාර අත්හිටුවීමට හා යුක්රේන ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතව තිබුණු ධවල මන්දිර ජනාධිපති හමුවක් අත්හිටුවීමට කටයුතු කළ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙනවා. මෙමගින් ට්‍රම්ප් තම තනතුර පෞද්ගලික දේශපාලන වාසි සඳහා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට හානිකර ලෙස කටයුතු කළ බව ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරනවා. මෙම යුද ආධාර යුක්රේනය පාවිච්චි කරන්නේ රුසියාව සමග ඇති අර්බුදය සම්බන්ධයෙනුයි.
මේ පිළිබඳ කොංග්‍රසය විසින් පවත්වන ලද විමර්ශනයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම තමයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වන අනෙක් ක්‍රියාව.
පසුගිය ජුලි 25දා යුක්රේනයට සපයන යුද ආධාර අත්හිටුවීමෙන් පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට දුරකථනයෙන් අමතා එක්සත් ජනපද හිටපු උප ජනාධිපති බිඩ්න්ගේ පුත්‍රයාට එරෙහිව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටි බව හෙළිදරව් කළේ නම ප්‍රසිද්ධ නොවූ එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙකු විසිනුයි. එහිදී එම නිලධාරියා කටයුතු කළේ අකටයුතු නාදකයකු හෙවත් විස්ල්බ්ලෝවර් කෙනෙකු ලෙසයි. මේ පිළිබඳ පවත්වන ලද විමර්ශන ගණනාවකදී එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් රැසක් සාක්ෂි දුන්නා. එහෙත්, ට්‍රම්ප් පවසන්නේ තමන් හා යුක්රේන ජනාධිපතිවරයා අතර පැවැත්වුණු දුරකථන සංවාදයේ කිසිදු ගැටලුවක් නැති බවයි. ඩිමොක්‍රටික් පක්ෂය තමන් දඩයම් කිරීමට උත්සාහ කරන බව ඔහු ප්‍රති චෝදනා කරනවා.
මෙහිදී යුක්රේනය පැත්තෙන් කියන්නේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදය සිදුවන විට යුද ආධාර අත්හිටුවීමට ට්‍රම්ප් ගන්නා ලද තීරණය සෙලෙන්සිකි දැන නොසිටි බවයි. එසේම, තමන්ට පීඩනයක් එල්ල නොවූ බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා. එසේම, මෙම යුද ආධාර මුදල පසුව නිදහස් කර තිබෙනවා.
ජනවාරියේදී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයේදී විභාගයක් සිදුවෙනවා. එහිදී සෙනෙට් මන්ත්‍රීන් අතරින් තුනෙන් දෙකක බහුතරය ට්‍රම්ප්ට දඬුවම් කළ යුතු බවට ඡන්දය ප්‍රකාශ කළහොත්, ඔහු ධුරයෙන් පහකරනවා. තුනෙන් දෙකක ඡන්ද නොලැබුණොත් ට්‍රම්ප්ට දිගට ම ධුරයේ කටයුතු කළ හැකියි. සෙනෙට් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.
එක්සත් ජනපද ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයකු ධුරයෙන් පහකිරීම සඳහා සෙනෙට් සභාවේ හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකේ බහුතර ඡන්දය ලැබී නැහැ. කලින් දෝෂාභියෝගයට ලක්කරන ලද ජනාධිපතිවරුන් දෙදෙනා වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් ද එයින් බේරුණා. මෙහිදී ඇන්ඩෘ ජොන්සන් බේරුණේ අනූනමයෙන්. ඔහුට එරෙහිව සෙනෙට් සභාවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි වුණේ එක් ඡන්දයකින්.
එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර ධුරයෙන් නෙරපාහරිනු ලැබුවහොත්, ජනාධිපති ධුරයට පත්වන්නේ උප ජනාධිපතිවරයායි. මීළඟ ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන තෙක් උප ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දරනවා. ඒ අනුව, සමහර විට 60 හැවිරිදි මයික් පෙන්ස් මීළඟ එක්සත් ජනපද ජනාධිපති විය හැකියි.

අම්පිටියේ සුමනරතන හිමි ආර්ථිකයට දෙන දායකත්වය සුළුපටු ද?

අම්පිටියේ සුමනරතන භික්ෂුව රඟපා, ප්‍රචාරය කරනු ලබන ප්‍රචණ්ඩ වීඩියෝ දර්ශන සිංහල බුද්ධාගමට අපහාසයක් යයි අපි නොකියමු. සිංහල බුද්ධාගම යනු සිංහල ජනතාවට අලෙවි කිරීමට ඇති දේශපාලන දර්ශනයක් මිස සෙසු ජාතීන්ට අදාළ දෙයක් නොවේ. එය බුදුන්ගේ බුදු දහම සමග පටලවා ගත යුතු නැත.
අම්පිටියේ සුමනරතන භික්ෂුවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ආර්ථික වශයෙන් ඉතා දේශප්‍රේමී ය. එම ක්‍රියා ආර්ථිකයට කරන සේවය සුළුපටු නොවේ. මෙම භික්ෂුවට හා එවැනි වෙනත් ප්‍රචණ්ඩ භික්ෂූන්ට ද, ඩෑන් ප්‍රියසාද් වැනි සෙසු මෙවැන්නන්ට ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සල්ලි එවති. මේ අය එයින් කාලා ඇඳලා හිටියාට ඔවුන් නීතියඉදිරියේ අවදානමක් ගනිති. කෙසේ වෙතත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය අප කාටත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ය.
මෙවැනි භික්ෂූන් මෙන් ම ඩෑන් ප්‍රියසාද් වැනි ගිහියන් ද වැඩි වැඩියෙන් මෙම විදේශ විනිමය උත්පාදන මාර්ගයට පිවිසෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයෝ වැඩි වැඩියෙන් ලංකාවට මුදල් එවති.
මේ විදේශ විනිමය ප්‍රවාහය එතනින් නතර වන්නේ නැත. කණේ පාරක් දෙකක් කෑ විට මෙම ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්ට විදේශ සල්ලි වැක්කෙරෙන්නට පටන් ගනියි. ඒ නිසා ඔවුන්ට තව තවත් පිරිස් තම ආගම වෙත හරවාගැනීමට හැකි වේ. අම්පිටියේ සුමන භික්ෂුව වැනි අයට තව තවත් කණේ පාරවල් එල්ල කළ හැකි ය. රටට ලැබෙන්නේ මේ මොහොතේ අත්‍යවශ්‍ය විදේශ විනිමයයි.
විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නවතින්නේ නැත. මෙම ඉවැන්ජලික නිකායන් නිසා අභියෝගයට ලක් වී තිබෙන ගතානුගතික කතෝලික, ඇංග්ලිකන්, රෙපරමාදු ආදී පල්ලිවලට ද ආධාර වැසි වසී.
මෙම විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නවතින්නේ නැත. සුළු ජාතිකයන් පීඩාවට පත් වන තරමට දෙමළ ඩයස්පෝරාව ද ජාතිවාදී දේශපාලනය සඳහා මුදල් පොම්ප කිරීම වැඩි කරති. මොන මගුල වුණත්, ඒ එන්නේ රටට මේ මොහොතේ නැතුවම බැරි විදේශ විනිමයයි.
මෙම විදේශ විනිමය ප්‍රවාහය එතනින් ද නතර වන්නේ නැත. ලංකාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන තරමට රාජ්‍ය නොවන සංවිධානවලට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ද ලබාගත හැකි ය.
සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය මුදල් උපදවන්නේ නැත. ප්‍රචණ්ඩත්වය හා වෛරයට සල්ලි ලාච්චු අරින්නට පුළුවන. බල්ලන් මරා හම්බ කළත්, විදේශ විනිමය බුරන්නේ නැත. මේ සියල්ලෙන් අපි සියල්ලෝ ම වාසි ලබන නිසා අයින් වෙලා පයින් යාම යෙහෙකි.


හතේ අපේ පොතේ අල්ලපු ගෙදර අංකල්

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි

හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා. බොහෝදෙනෙකු ඒ හිමියන් ඉතා දරුණු අන්දමින් විවේචනය කරනවා. ඒ හිමියන් මතු කළ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුවයි එහෙම කරන්නේ. එහෙත්, ඒ හිමියන් තුළ සහ එකී පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ අනෙකුත් හිමිවරුන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබවාදී ආකල්ප නැති බවක් ද පෙනෙන්නට තිබෙනවා.
Translations by Creative Content Consultants
ලිංගික අධ්‍යාපනය ගැන කතා කරන විට ‘වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය’ කියන සංකල්පය ඉතා වැදගත්. හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුත්තේ හතේ ළමයින්ට ගැලපෙන්නටයි. මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී උපුටා දක්වන කොටස ඇත්තට ම මෙම පොත ලියූ ලේඛකයන් හා එය අධීක්ෂණය කළ අය අතරින් සිදු වූ වරදක්. මෙන්න එම පිටුව.




අල්ලපු ගෙදර අංකල්
මෙමගින් හතේ ළමයා තුළ ‘අල්ලපු ගෙදර අංකල්’ පිළිබඳ ඇතිකරන්නේ ඉතා වැරදි ආකල්පයක්. අල්ලපු ගෙදර අංකල් මේ අන්දමින් සාමාන්‍යකරණය කරන්නට බැහැ. ලොව කිසිම සමාජ නාමකරණයක් මේ අන්දමින් සාමාන්‍යකරණය කිරීම වැරදියි. එසේම, එමගින් ඇතිවන්නේ නිශේධාත්මක අදහසක්. අපි හැමෝමත් කාගේ හරි, කවදා හරි අල්ලපු ගෙදර අංකල් කෙනෙකු විය හැකියි. අනෙක, මේ අල්ලපු ගෙදර අංකල් සංකල්පය කාමුක වීඩියෝ ෆැන්ටසි සමගත් යම් සම්බන්ධයක් තිබෙන ලිංගික අරුත් ගැබ්වන යෙදුමක්.
මේ අතර සමාජ මාධ්‍යවල රැඩිකල්වාදීන් විශාල පිරිසක් මෙම කාරණයේදී තර්ක කළා ළමා අපචාර වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ දන්නා හඳුනන පුද්ගලයින් අතින් නිසා මේ අන්දමින් පරිස්සම් වීමට ළමයින් පෙළඹවීම ඉතා නිවැරදි බව. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්, කළ යුතුව තිබෙන්නේ වැඩිහිටි සමාජය ඉලක්ක කරගෙන පුළුල් චර්යාත්මක වෙනස්කම් සන්නිවේදනයක් සිදුකිරීම මිස, පියා, සහෝදරයා, මාමා, සීයා, අසල්වැසියා සැක කළ යුතු ය යන ආකල්පය ළමා මනස තුළ ස්ථාපිත කිරීම නෙමෙයි. එය ඉතා භයානක වරදක්. එමගින් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අවම වේ යයි සිතන්නට බැහැ.
මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රියදුරන් හා කොන්දොස්තරවරුන් බස්වල වාදනය කරන්නෙ ජරා සිංදු ය කියලා අපි කියනවා. මේක ඇත්ත ද? බස්වලදී අපි ඉතා සුන්දර ගීත වාදනය වෙනවා අහලා තියෙනවා. ඒවා වාදනය කරන්නේත් බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් ම තමයි. එතකොට සියලු බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් බස්වල වාදනය කරන්නේ ජරා සිංදු යයි සාමාන්‍යකරණය කිරීම ඉතා වැරදියි නේද? හොඳ ගීත වාදනය කරන මිනිසුන්ව නොතකාහැරීමක් එහිදී සිදුවෙනවා. නිවැරදි සන්නිවේදනය හා අධ්‍යාපනය කියන්නේ වැරදි කරන මිනිසුන් ගොඩ තුළට හොඳ කරන අයත් ඇද දමා සාමාන්‍යකරණය කර නිශේධාත්මක අදහස් ගොඩනැගීම නෙමෙයි. මෙය සංස්කරණය විය යුතු බරපතල වරදක්.
තවත් උදාහරණයක් තමයි ඔය සුභාවිත ගීත කියන සංකල්පය. මොනවද මේ සුභාවිත ගීත? තමන් ප්‍රබුද්ධ යයි සිතන එක්තරා ස්වෝත්තමවාදී සමාජ කණ්ඩායමක් තමන් රුචි කරන ගීත ප්‍රභේදයක් සෙසු සියලු ගීත ශානරවලට ඉහළින් තැබීම තමයි මෙතනදී සිදුවෙන්නේ. කලාත්මකබව, ගුණාත්මකබව වැනි හේතු මත උස් පහත්කම් පවතින්නට පුළුවන්. හැබැයි, කලා අවකාශය තුළ විවිධ ශානර තිබිය යුතුයි. ඒවා තෝරාගැනීම පුද්ගල රුචිකත්වය මත රඳාපවතින දෙයක්. තමන්ගේ රුචිකත්වය සමාජය මත බලෙන් පටවන්නට බැහැ. හැබැයි, ඒක සියුම්ව කරන එක වැරදියි කියලත් අදහස් කරන්නේ නැහැ.
සුභාවිත ගීතය පිළිබඳ කතාව මෙතෙන්ට ගෙනාවෙ මේ පෙළපොතේ සිදු වී තිබෙන වරද වැනි වැරදි නොදැනම සිදුවන්නට හේතු වන කරුණක් ගැන මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කරන්නටයි.
මේ ලිපිය ලියන මා ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන්නෙක්. හැබැයි මා ඉතා පැහැදිලිව ම ස්ත්‍රීවාදයට විරුද්ධ කෙනෙක්. මා ස්ත්‍රීවාදය ඉවසන්නේ මිනිස් සමාජ පරිණාමයේ දීර්ඝ ඉතිහාසයක් තුළ සිදු වූ පුරුෂෝත්තමවාදයේ ස්ථාපිත වීම ප්‍රශ්න කරන තාක් පමණයි. භාෂාව තුළ මෙය සිදු වූ ආකාරය ප්‍රශ්න කිරීම මා ඉතා ප්‍රිය කරන දෙයක්. එහෙත්, වර්තමානය වන විට ස්ත්‍රීවාදය ද වෙනත් ඕනෑම වාදයක් මෙන් ආන්තික ස්වෝත්තමවාදයක් බවට ද පත් වී තිබෙනවා. අන්තවාදයන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ සතුරකු පරිකල්පනය කරගැනීම හා සතුරා යක්ෂාරෝපණයයි. මාක්ස්වාදයට නම් ධනපති ක්‍රමය තමයි සතුරා. ඒ වගේ ආන්තික ස්ත්‍රීවාදය විසින් පිරිමියා සතුරකු ලෙස පරිකල්පනය කරනවා. (මේ ආන්තික ස්ත්‍රීවාදී කාන්තාවන් හඳුනාගත හැකි එක් ආකාරයක් තමයි ඔවුන් නිතර ම දෘෂ්ටිවාදීමය වශයෙන් ඔවුන් ප්‍රශ්න කරන පිරිමින්ට පහර දීමට ස්ත්‍රී විරෝධියා යන අරුත දෙන misogynist යන වචනය පාවිච්චි කරනවා. එහෙත් මෙම කාන්තාවන් පුරුෂ විරෝධීන් හෙවත් misandrist ලෙස හඳුනාගත හැකියි.)
ස්ත්‍රීවාදී අන්තවාදීන්ගේ බලපෑමත් පුරුෂෝත්තමවාදයේ බලපෑම වගේ ම සමාජය තුළ ගැඹුරට ම කාන්දු වෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය පිළිබඳ කතිකාවට සම්බන්ධ වී සිටින අප බොහෝදෙනෙකු දන්නෙ ම නැතුව ස්ත්‍රීවාදයේ බලපෑමට නතු වෙනවා. විශේෂයෙන් ම පුරුෂ විරෝධය හා සියලු පිරිමින් වැරදිකරුවන් ලෙස සාමාන්‍යකරණය කිරීම සිදුවෙනවා. මෙය ඉතාම නරක අන්දමින් සිදු වූ ක්‍රියාමාලාවක් තමයි පොදු ප්‍රවාහනයේ කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාමාලාව. සමාජය සංවේදීකරණය කිරීමත් එක්ක ඇතැම් අධි සංවේදී කාන්තාවන් මානසික වියවුල්වලට පත්වන්නට පුළුවන්. එසේම, පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඇතැම් වීඩියෝවල අරමුණ ද ප්‍රශ්නකාරීයි. මෙම කරුණු පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍යයි. එහෙත්, ව්‍යාපෘතිවාදී බොහෝ ක්‍රියාමාලා ජනප්‍රිය පුරුෂ විරෝධය තුළ සිරවෙන බවයි පෙනෙන්නේ.
දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව සිංහල ජනතාවගෙන් තොරව විසඳාගන්නට බැහැ. එහිදී දෙමළ ජාතිකවාදය සාධාරණ වන්නේ ජාතික ගැටලුව විග්‍රහ කිරීමේදී පමණයි. දෙමළ ජාතිකවාදීන් ප්‍රතිචාරාත්මක සිංහල විරෝධී ක්‍රියා සිදුකිරීම තේරුම් ගත හැකි තත්වයක් වුණත්, එමගින් සමස්ත ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්නට බැහැ. සමස්ත ප්‍රශ්නයට විසඳුම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු ජනවර්ගයන්ට අදාළ පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක්.
ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය ඇති කරන්නට හැකි වන්නේ ද ස්ත්‍රී, පුරුෂ හා වෙනත් ලිංගික අනන්‍යතා ඇති සියලු ප්‍රජාවන් සම්බන්ධයෙන් පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයිනුයි. එයට පිරිමින්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වෙනවා. ආන්තික ස්ත්‍රීවාදය විසින් ප්‍රවර්ධනය කරන පුරුෂ විරෝධය බරපතල සමාජ ගැටලුවක් වන්නේ එමගින් පිරිමින් අන්තයට තල්ලු කර දමන නිසායි. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය පිළිබඳ කතිකාව ආන්තික ස්ත්‍රීවාදයෙන් පරිස්සම් කරගැනීම ඉතා වැදගත්.


2019-12-28

ජනාධිපතිතුමාගේ ආර්එම්වී විසිට්ටෙක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හදිසි නිරීක්ෂණයකට ලක්කිරීම අගය කළ යුතු ය. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන අතරින් එකක් බවට සැකයක් නැත.
Translations by Creative Content Consultants
ලංකාවේ ඉහළ සිට පහළ දක්වා ගතානුගතික රාජ්‍ය සේවකයන් වැඩිදෙනෙකු සිතාගෙන ඉන්නේ රජයේ ආයතන තිබෙන්නේ තමන්ට වැටුප් හා වරප්‍රසාද ගැනීමට ය කියා ය. ඔවුන් වැඩකරන්නේ එම වැටුප් ගැනීම යන්තමින් සාධාරණීකරණය කළ හැකි මට්ටම දක්වා පමණි. තමන් මෙම ආයතනයවලට සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහජනයාගේ සේවකයන් පිරිසක් ය යන ආකල්පය බොහෝ සේවකයන් තුළ ගෑවීවත් නැත. එසේ පැමිණෙන මහජනයා අතර විවිධ තරාතිරම්වල මිනිසුන් සිටින බව හා වෙනත් තැන්වලදී තමන්ට එම පුද්ගලයන් සමග සම්බන්ධතාව වැදගත් වන බව හෝ ඔවුන් සිතන බවක් නොපෙනේ. කම්කරුවන්ගේ, ආරක්ෂක නිලධාරීන්ගේ සිට බොහෝ රජයේ සේවකයන් හැසිරෙන්නේ හිස උදුම්මාගෙන ය. ඔවුන් තමන් ඉදිරියට පැමිණෙන මහජනතාව තඹයකට ගණන් ගන්නේ නැත.
මේ ලොක්කන් ජනාධිපතිවරයා ඉදිරියේ ඇඹරෙනු දැකීම මහජනයාගේ සතුටට හේතු වේ. එහෙත්, මහජනයා ද ඒ ජාතියේ ම ය. වින්දිතයන් වන විට අසරණ වන්නා සේ ම ඔවුන් පීඩකයන් වන විට ප්‍රචණ්ඩ ද වේ. ජනාධිපතිවරයා හමුවේ ගතුකියන්නට ඉදිරිපත් වූ ඩොක්ටර් උදාහරණයක් වන්නට පුළුවන.
මෙතැනට සේවා ලබාගන්නට පැමිණ සිටි පිරිසක් ජනාධිපතිවරයා ඉදිරියේ පවා පොදු දේපලක් වන පුටු උඩ නැග වීඩියෝ කළ හ. ඔවුන් අමුතුවෙන් වීඩියෝ කරන්නට ඕනෑ නැත. ජනාධිපතිවරයා යන යන තැන්වල වීඩියෝ කරන්නට වෘත්තීය වීඩියෝ ශිල්පීහු පිරිසක් ඔහු සමග යති.
උඩ නැග සිටි මහජන වඳුරන්ට පුටුවලින් බසින්නැයි ජනාධිපතිවරයා ඉදිරියේ ම කියන්නට එකී රාජ්‍ය නිලධාරීන්ට හෝ ආරක්ෂක අංශවලට ඝට තිබිය යුතු ය. එසේ නොමැති නම් ජනාධිපතිවරයාට හෝ එසේ කියන්නට හැකියාව තිබිණි.
මෙම ආයතන මෙතරම් දූෂිත වීම සම්බන්ධයෙන් මහජනතාව ද වගකිව යුතු ය. මෑතදී මම මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා එහි ගියෙමි. එම ආයතනයේ යම් පිළිවෙලක් නැත්තේ නැත. සේවකයන් සුහද නැතිමුත්, ඒ පිළිවෙලෙහි යම් කාර්යක්ෂමතාවක් තිබේ. එහෙත්, මේ අතර රු. 2000ක් ගෙවා පිළිවෙලින් තොරව හොර පාරෙන් සියල්ල කරගැනීමේ ‘පහසුකම’ ද මෙහි තිබේ. එය පිළිවෙල අවුල් කරන ප්‍රධාන හේතුවකි. ඒවාට දිරිදෙන්නේ ද මහජනතාව ම ය. සාමාන්‍ය සේව, එක් දින සේවය යන සේවාවන්ට අමතරව, වැඩි ගාස්තුවක් අය කර මෙම සේවා පහසුවෙන් ඉටු කර දෙන ඒජන්සි සේවාවක් මෙහි ආරම්භ කිරීමෙන් වඩා සුවපහසුව බලාපොරොත්තු වන අයට ද යහපතක් විය හැකි ය.
රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලු ගැන අපගේ අත්දැකීමක් මෙම ලිපියේ දැක්වේෙ >> රියදුරු බලපත්‍ර ප්‍රශ්න විසඳාගන්නට යන්නට පෙර අනිවාර්යයෙන් කියවන්න
Adapted from praja.lk

2019-12-25

මොන කෝලම් ද? ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන ලැජ්ජා කෝලම ඇවිත්

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න.
Translations by Creative Content Consultants
ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි.
වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය අනුව මේ වීඩියෝ නිර්මාණය ගැලපෙන්නේ තරුණ වයසට. තරුණ වයසෙදි කතා කළ යුතු මාතෘකාවක් මේ වීඩියෝවේ විවෘතව, නිර්මාණශීලීව සාකච්ඡා කරනවා. එහි නම ලැජ්ජා කෝලම. කතා කරන්නෙ කොන්ඩම් ගැන. නාට්‍යයක් ලෙස මෙය නිර්මාණාත්මකයි.
ලංකාවේ ඇතැම් ප්‍රසිද්ධ ජනමාධ්‍ය පවා කොන්ඩම් කිය වචනෙ භාවිතා කරන්නට බයයි. ඒ වෙනුවෙන් උපත් පාලන කොපු කියලා සිංහල වචනයක් තියෙනවා. හැබැයි කොන්ඩම් තියෙන්නෙ උපත් පාලනය කරන්නට විතරක් නෙමෙයි. එමගින් ද්විත්ව ආරක්ෂාවක් ලැබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව ලබාදෙන්නටත් කොන්ඩම් එකට පුළුවන්. ඒ නිසා මෙයට උපත් පාලන කොපු කියන්නෙ මොකටද? කොන්ඩම් කියන වචනෙ අපට පහසුවෙන් උච්චාරණය කරන්නටත් පුළුවන් නිසා අපි කොන්ඩම් සිංහල කරගනිමු. ඒකට කියන්නෙ තත්සම කියලා. ඒ කියන්නෙ වෙනත් භාෂාවක වචනයක් ඒ ආකාරයෙන් ම සිංහල භාෂාව තුළ භාවිතාවට ගැනීම. ප්‍රජනන, සෞඛ්‍ය, අධ්‍යාපනය යන වචන තුන ම තත්සම වචන. ඒවා අරගෙන තිබෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. ඒ නිසා සජීවී සිංහල භාෂාවෙන් කොන්ඩම් කියන වචනය අරගැනීමේ කිසිම වරදක් නැහැ.
‘ලැජ්ජා කෝලම’ අලුතින් නිර්මාණය කළ කෝලමක්. ලිංගික සතුට, දරුවන් අතර පරතරය, අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම වගේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව සඳහාත් ඉතා වැදගත් කොන්ඩම් ගැන කතාකරන්නට සමාජය ලැජ්ජා වීම තමයි ලැජ්ජා කෝලමෙන් නාට්‍යානුසාරීව ඉදිරිපත් කරන්නෙ. ඒ ලැජ්ජාව භයානක ලැජ්ජාවක්. තමන්ගෙම සිරුර සම්බන්ධයෙන් අතිශය වැදගත් වන, ජීවිතය වෙනස් කළ හැකි තීරණ නිවැරදිව ගන්නට නම්, මේ කාරණා පිළිබඳ දැනුවත්ව ඉන්නට ඕනැ. එහෙම වුණොත් අපට ජීවිතේ සුන්දර කරගන්නටත්, අපේ හැකියාවන් උපරිමයට ගෙන යන්නටත් පුළුවන්. ඒ නිසා ලැජ්ජා වෙලා බැහැ. ‘මොන කෝලම් ද?’ කියන්නෙ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලත් (UNFPA), ACT4 Theatre for Change නාට්‍ය කණ්ඩායමත් එක්ව නිර්මාණය කරන වීඩියෝ නිර්මාණ මාලාවක පළමුවැන්නයි. එහි අරමුණ වන්නේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ කරුණු පිළිබඳ තරුණ ජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමයි.
Adapted from praja.lk

කශෝගි ඝාතනය හා රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සවුදියෙන් උගත හැකි පාඩම්

අජිත් පැරකුම් ජයසිංහ

සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන, 11දෙනෙකුට එරෙහිව නඩු විභාග කර තිබෙනවා.
Translations by Creative Content Consultants
මෙම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. සිය තුර්කි ජාතික පෙම්වතිය විවාහ කරගැනීම සඳහා අවශ්‍ය ලේඛනයක් ලබාගැනීම සඳහා 2018 ඔක්තෝබර් 2දා තුර්කියේ ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයට පැමිණි සවුදි ජාතිකයකු වූ ජමාල් කශෝගි තානාපති කාර්යාලය තුළ ම ඝාතනය කර මළසිරුරු සැඟවීමේ මෙහෙයවීම සම්බන්ධයෙන් සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු චෝදනාවට ලක්වී තිබෙනවා. එහෙත්, ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු මුත්, රහස් මෙහෙයුම්කරුවන් විසින් මෙම ඝාතනය කර තිබෙන්නේ ඔහුගේ අණකින් තොරව ස්වාධීන තීරණයකින් බවයි.
සවුදියෙන් පළාගොස් එක්සත් ජනපදයේ වර්ජිනියාහි වාසය කරන පුවත්පත් කලාවේදියකු වන 59 හැවිරිදි ජමාල් කශෝගි වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියන ලද ලිපි හේතුවෙන් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සිදුකරන නායකයකු ලෙස සල්මන් කුමරුට හිමි වූ ප්‍රතිරූපය අභියෝගයට ලක්කෙරුණා. (මෙය ලංකාවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සමාන සිද්ධියක්.)
එහෙත්, මෙම ඝාතන මෙහෙයුම සඳහා 15දෙනෙකුගෙන් යුත් සුවිශේෂ කණ්ඩායමක් ඝාතනයට පැය ගණනකට පෙර පැමිණ තිබෙන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන මගින් සොයාගෙන තිබෙනවා. එම පිරිස අතර කශෝගිගේ හැඩරුවට සමාන පුද්ගලයකු ද සිටිනවා. ඔහු තමයි කශෝගි අදාළ රාජකාරිය කරගෙන කොන්සල් කාර්යාලයෙන් පිට වී යන ආකාරය සීසීටීවී දර්ශන වල වාර්තා කිරීම සඳහා යොදාගැනුණු බොඩි ඩබල. මෙම කණ්ඩායම තුළ අස්ථි කපන කියතක් රැගත් වෛද්‍යවරයකු ද සිටි බව හෙළි වී තිබෙනවා. කශෝගිගේ සිරුර සූට්කේස්වල අසුරන ආකාරය ගැන ඔවුන් ඝාතනයට පෙර සාකච්ඡා කරන පටිගතකිරීම් ද තිබෙනවා. කොන්සල්වරයා පරීක්ෂණ සඳහා කොන්සල් කාර්යාලයට පිවිසීමට තුර්කි පොලිසියට ඉඩදීමට පෙර ස්ථානයේ වෝහාරික මට්ටමේ පිරිසිදුකිරීමක් සිදු කර සාක්ෂි විනාශ කළ බව ද හෙළි වී තිබෙනවා. කශෝගිගේ සිරුර තවමත් හමු වුණේ නැහැ.
මෙම නඩු විභාගය රියාද්හි පැවැත්වුණේ රහසිගතවයි. විත්තිකරුවන්ගේ නම් පවා හෙළිදරව් කරනු ලැබුවේ නැහැ. විදේශ නියෝජිතයන් මෙම විභාගය නිරීක්ෂණය කිරීමට සහභාගි වූ මුත්, ඔවුන්ට පවා නඩු විභාගය පිළිබඳ අදහස් පළකරන්නට තහනම්. සවුදියේ නීති පද්ධතිය ලංකාවේ නීතියට වඩා වෙනස්. එය රාජ්‍ය ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමට මූලධාර්මිකව ම හිතවාදීයි. ලංකාවේ නීති පද්ධතිය වඩා ප්‍රජාතාන්ත්‍රිකයි.
සවුදි අරාබියේ ජීවත් වන ජමාල් කශෝගිගේ දරුවන් හට වන්දි ලෙස මුදල් හා දේපල ලබාදීමට සවුදි රජය කටයුතු කළා. ඔවුන් මෙම නඩු විභාගය හා තීන්දුව පවා ප්‍රශංසාවට ලක්කරනවා. එළියේ ඉඳන් කෑගහන අයගේ කට වහන්නට සවුදිය පාවිච්චි කරන්නේ කශෝගිගේ දරුවන්. බලන්න, කොයි තරම් දක්ෂ ද?
සවුදි රාජ්‍ය ත්‍රස්තවාදී සංස්කෘතියෙන් ශ්‍රී ලංකාවට හා ලොව වෙනත් චෞර රාජ්‍යවලට ඉගෙනගත හැකි පාඩම් රැසක් තිබෙනවා. එකක් නම්, පාලකයන්ගේ ප්‍රතිරූපයට අභියෝග කරන ජනමාධ්‍යකරුවන් ඝාතනය කිරීමේදී එය ඉතා සියුම් ලෙස සැලසුම් කළ යුතු බවයි. එවැනි ඝාතන සැලසුම් කිරීමේදී ශ්‍රී ලාංකික ඝාතන කල්ලි අතිශය දුර්වල බව ද, පූර්ණ රාජ්‍ය රැකවරණය නොමැතිව ඔවුන්ට මුක්තිය ලබාගැනීමට නොහැකි බව ද, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ඝාතනවලින් සහ ජනමාධ්‍යකරුවන්ට පහරදීමේ සිද්ධිවලින් ද පෙනෙනවා. කශෝගිගේ මළසිරුර ජාත්‍යන්තර විමර්ශනයකින් හෝ සොයාගත නොහැකි වුණා. හැබැයි, ප්‍රගීත්ගේ මළසිරුර ද එසේ සොයාගන්නට බැරි වුණා. එතැනදී නම් ඔවුන් දක්ෂ වී තිබෙනවා. හැබැයි, ඒ දක්ෂකම් පසුපස තිබුණේ විමර්ශන සිදු නොකිරීමේ මුක්තියයි. දැන් දැන් ලෝකයේ එතරම් දණ්ඩමුක්තියක් බලාපොරොත්තු වෙන්නට බැහැ.
දෙවෙනි වැදගත් ම පාඩම වන්නේ වැඩේ ගැස්සුණ පසු එය කළමනාකරණය කරගන්නා ආකාරයයි. එහිදී පාලකයාට හා සෙසු ප්‍රභූන්ට පෙර පූර්ණ වගකීම භාරගන්නට ද පිරිස් සිටිය යුතුයි. කශෝගි සිද්ධියේදී රහස් මෙහෙයුම්කරුවන් ඇත්තට ම වරදක් සිදු කර තිබේ. එනම්, වැඩේ පත්තු වීමයි. තානාපති වරප්‍රසාද පවා පාවිච්චි කර සිදුකරන ලද එවැනි සැලසුම් සහගත මෙහෙයුමක් හසු නොවන පරිදි කරන්නට බැරි වී නම්, රජය ඇත්තට ම ඔවුන්ට දඬුවම් කළ යුතුයි. මේ සිදු වී තිබෙන්නේ එයයි. මෙවැනි මෙහෙයුම්වල යෙදෙන්නන්ගේ පක්ෂපාතිත්වය ඉතා වැදගත්. ඔවුන් ඒවාට යොදාගත යුත්තේ හුදු රැකියාව සඳහා නොවේ. ඔවුන්ට තමන් කරන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. නියම ඝාතකයකු හට තමන්ගේ ඝාතනය ද තවත් එක් මරණයක් පමණි.
රාජ්‍ය ඝාතන සංස්කෘතියේ තුන්වන වැදගත් පාර්ශ්වය තමයි පාලක ගැති මහජන නායකයන්. ඔවුන් කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය ක්‍රියාමාර්ග වර්ණනා කිරීම මිස ලංකාවේ භික්ෂූන් කරන පරිද්දෙන් විත්තිකරුවන් වෙනුවෙන් ලසෝ ලැව්ගිනි ඇවිළවීම නොවෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය කියන්නේත් අනෙකුත් ත්‍රස්තවාදයන් පරිද්දෙන් ම යම් යම් අයට වගකීම භාරගන්නට සිදුවන, ඒ වෙනුවෙන් වන්දි ගෙවීම අත්‍යවශ්‍ය වූ තත්වයක් බව ලංකාවේ පාලක ගැති මහජන නායකයන් මූලිකව ම අනුගමනය කළ යුතුයි.

රාජ්‍ය ත්‍රස්තවාදය හා ඝාතන සංස්කෘතිය නැවත ආරම්භ කළ යුතු යයි අප මෙම ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. අප කියන්නේ පාලකයන් ඝාතනවල යෙදෙනවා නම්, සවුදියෙන් උගත හැකි පාඩම් තිබෙන බව පමණයි.
මේ පාඩම්, රාජ්‍ය ත්‍රස්තවාදයේ තවත් අංශයක් ලෙස සැලකිය හැකි පාලකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් ද අදාළයි. ලංකාවේ පාලකයන් දූෂණ සිදුකර හසු වූ පසු පවා වගඋත්තරකරුවන්ට දණ්ඩමුක්තිය බලාපොරොත්තු වෙනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය උදාහරණයක්. එතැනදී ද ජමාල් කශෝගි ඝාතනයේදී මෙන් කණිෂ්ඨ පිරිසක් අධිකරණයට යොමුකරනු ලැබූමුත් අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර රටින් පළාගියා. ලංකාවේ නීතිය අනුව, සවුදියට බුද්ධි ප්‍රධානියා හෝ ඉස්තාන්බුල් කොන්සල්වරයා බේරාගත් අන්දමින් වැඩකරන්නට අමාරුයි. ඒත්, පළා යාම වෙනුවට වෙනත් විකල්ප නොමැති නම් ලංකාවට නියම චෞර රාජ්‍යයක් වෙන්නට බැහැ.
මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී ලංකාව මීට වඩා සිරා චෞර රාජ්‍යයයක් බවට පත්වීම නොවන බව කරුණාවෙන් සලකන්න. එසේම, මෙම සටහන තැබූ මා නිකම් මෝඩයකු මිස උපදේශකයකු නොවන නිසා මෙහි සඳහන් දේ අත්හදාබැලීමට නොයන ලෙස ද අදාළ අංශවලින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ප්‍රේමදාසගේ අවතාරය සජිත්ගේ හෘදය සාක්ෂිය කළඹන හැටි

අජිත් පැරකුම් ජයසිංහ

අද පවත්වපු කතාවකදි සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ ගැන කතා කරනවා. චම්පික එයාගෙ කැම්පේන් එකට බැහැලම වැඩ කළ නිසා සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ අමතක කරන්නෙ නැහැ ය කියනවා. ඒ එක්ක මට කතාවක් මතක් වුණා.
Translations by Creative Content Consultants
සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෙදර ඇවිත්, නිදන් හාරන අරවා මේවා චෝදනාවන්ට ලක්වෙමින් ඉඳිද්දි හේමා ප්‍රේමදාස එක්කගෙන ගිහින් රනිල් වික්‍රමසිංහව මුණගස්වලා පක්ෂ සාමාජිකත්වය අරගෙන දෙනවා. ඒ වෙලාවෙ අම්මා පුතාගෙන් ඉල්ලා සිටි එක් දෙයක් තමයි කවදාවත් රනිල්ට විරුද්ධ වැඩ කරන්න එපා ය කියන එක. ඒකට හේතුව, දෝෂාභියෝගය වෙලාවෙ ලලිත්ලා, ගාමිණීලා ප්‍රේමදාසට එරෙහිව යද්දි රනිල් තමයි පක්ෂයේ නායකයාව බේරාගන්න මූලිකත්වය ගෙන වැඩ කළේ. ඒ සම්බන්ධයෙන් ආර්. ප්‍රේමදාසට රනිල් ගැන කෘතවේදිත්වයක් තිබුණ බව හේමා දන්නවා.
එක එක මිථ්‍යා විශ්වාසත් එක්ක රනිල් දැඩි ලෙසම විශ්වාස කළා එයාට මොන විදියකින් හරි රටේ ජනාධිපති වෙන්නට ලැබෙයි කියලා. ඒ නිසා තමයි ඔහු 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙදිත් අඩියක් පස්සට ගන්නෙ නැතුව සටන් කළේ. ඔහු බලාපොරොත්තු වුණා, පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය. හැබැයි, ඔහු පක්ෂය හරිහැටි සංවිධානය කරගන්නට සමත් වුණේ නැහැ. ඔහුගේ නායකත්වය තුළ ඔහුට සංවිධායකයන් එක්කවත් සමීප සම්බන්ධයක් නැහැ. ඔහුගේ මතය පක්ෂය තුළ මුල් බැසගෙනත් නැහැ. එජාප යල්පැනගිය ව්‍යවස්ථාවෙන් ලැබුණු බලයෙන් ගේම ගහන්නට පුළුවන් ය කියලා තමයි රනිල් හිතුවේ. ‍‍හැබැයි, රනිල්ට උදව් කරන්නට කවුරුවත් හිටියෙ නැති තරම්. ඔහු ඉදිරියට ගෙන ආ බොහෝදෙනෙකු රනිල් එක්ක ඇතිකරගත් පෞරුෂ ගැටලු නිසා අවසානයේදී ඔහුට විරුද්ධ වුණා.
එජාප ව්‍යවස්ථාව අනුව, ජේ.ආර්. ජයවර්ධන වගේ අතිශය ප්‍රබල පෞරුෂයක් තිබෙන චරිතයකට හැර පක්ෂය සාර්ථකව මෙහෙයවන්නට අමාරුයි. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැනි නායකයන්ගෙන් පස්සෙ ඇත්තට ම එජාපට ශක්තිමත් නායකත්වයක් බිහිවුණේ ම නැහැ. මේ නායකත්ව ගැටලුව ලංකාවේ සමාජ ගැටලුවක්. රනිල්ම පසුගිය කාලේ කොයි තරම් නායකයන් අතින් අල්ලන් පක්ෂයට ගෙනාවා ද? හැබැයි, ඔවුන් වෙතින් රනිල්ට උරුම වුණේ මිත්‍රද්‍රෝහිත්වය විතරයි. එක්සත් ජාතික පක්ෂයට ලැබුණෙ හීන පෞරුෂ ඇති, මුග්ධ, අමනයන් රොත්තක්. මොවුන් වැඩි දෙනෙකුට මහජන පිළිගැනීමක් නැත්තේ රනිල් නිසා නෙමෙයි. ඔවුන්ගේ ම ගැටලු නිසායි.
මේ අතර දිගින් දිගට ම පරාජය වෙමින්, අසාර්ථක වෙමින් සිටින එජාප පාක්ෂිකයන් හිතන්නේ මොකෙකු හරි ලවා රනිල් පන්නගත්තොත් තමන්ගෙ ගැටලුව විසඳෙයි කියලායි. ඒකට ලේසි ජොකියා සජිත්. තාත්තත් හිටපු ජනාධිපති කෙනෙකුනේ. මෑන් ලොසෙක් හෙවත් අසාර්ථක චරිතයක් ය කියන එක පාක්ෂිකයාට එච්චර අදාළ නැහැ. හේතුව, එජාප දෙවෙනි, තුන්වෙනි පෙළේ ඉන්නෙ තනිකර ම ලොසාලා ගොඩක්. උන් එක්ක ජේ.ආර්. වලෙන් නැගිටලා ආවත් එජාප ගොඩගන්නවා බොරු.
ඉදිරි අවුරුදු පහේ ජනාධිපතිකම කියන්නෙ දැවැන්ත අභියෝගයක්. ඒක සජිත්ට කරන්නට පුළුවන් වැඩක් නෙමෙයි. සජිත්ට තව ටිකක් ඉවසන්නට තිබුණා. කොහොමත් 2025 වෙනකොට රනිල් වයස නිසා එක්ස්පයර් වෙනවා. දැනුත් රනිල් ගොඩක් දුබලයි. සාර්ථක වෙන්නට හෝ අසාර්ථක වෙන්නට හෝ රනිල්ට මේ අවස්ථාව දෙන්නට තිබුණා. ඒක සජිත් ඩැහැගත්තා ය කියලා කිසිම වෙනසක් නොවුණ බව 2019 ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා.
ඒත්, සජිත්ගෙ මුග්ධකම් වෙනත් බලවේග දිගින් දිගට ම තමන්ගෙ වාසියට පාවිච්චි කළා. දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙච්ච බලවේග රැසක් ම සජිත්ගෙ කරපිටින් ගමනක් යන්නට සැලසුම් කළා. ඔවුන් සජිත් ඉදිරියට දමමින් දිගින් දිගට ම රනිල්ට පහර දුන්නා. අවසානයේදී රනිල් විනාශ ම කර දමමින් මේ වන විට ඔහුගේ පක්ෂ නායකත්වයත් ඩැහැගන්නට සූදානම් වෙමින් සිටිනවා.
සජිත්ට මෑතක් වනතුරු ම හෘදය සාක්ෂියේ ගැටලුව තිබුණු බව පෙනෙන්නට තිබුණා. ඒත්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් ඔහුට තමන්ගේ ඇත්ත තත්වය මොකක්ද කියන එක තේරුණා. මේ වන විට සජිත් ඉන්නේ රනිල් එක්ක දැඩි ඉරිසියාවකින්. මේ සම්බන්ධකම මේ වන විට චම්පික රණවක – උදය ගම්මන්පිල සම්බන්ධකම මට්ටමට යමින් තිබෙනවා.
හැබැයි රනිල් තවමත් සජිත්ව විවේචනය කරන්නෙ නැහැ. සජිත්ට සාපේක්ෂව රනිල් තවමත් කොලිටි. සජිත් කියන්නෙ දුෂ්කර වෙලාවක තමන්ගෙ තාත්තාව බේරගන්න ඉදිරිපත් වුණ මිනිහගෙ ඔලුවටත් අත හෝදපු කෙනෙක්. සජිත් කියන්නෙ රනිල් ළඟ තවමත් ඇඹරෙන දුබලයෙක්. තමන්ගෙ හෘදය සාක්ෂියේ ගැටලුව නිසා තමයි සජිත්ගෙ කටින් කෙළෙහි ගුණ කතාව පනින්නෙ. හේතුව, තමන් කෙළෙහි ගුණ නොදත්, මිය ගිය පියාට පමණක් නොවෙයි, මවටත් පිටුපෑ අයෙකු බව සජිත් දන්නවා. සජිත් විතරක් නෙමෙයි, ඔහු සමග එකතුව රනිල්ට පහර දෙන හුඟක් අය රනිල් ළඟට කිට්ටුවෙන්න තරම්වත් පෞරුෂයක් නැති අය.
සජිත් රනිල්ව පරාජය කරයි. එජාප නායකත්වයත් පැහැරගනියි. රනිල් බලාපොරොත්තු සුන්වුණ මහළු මිනිහෙක්. ඒ නිසා ඒක දෙන එක ඔහුට එච්චර අමාරු නැහැ. පරිණතකම නිසා රනිල් තමන්ගෙ දුක මැඩගෙන වෘත්තිකභාවයෙන් යුතුව තත්වයන් කළමනාකරණය කරගන්නට දන්නවා. මේ මොහොතෙ රනිල් ප්‍රමාද වෙන්නට එකම හේතුව ඔහු සමග ඉතිරි වුණ ඔහුට පක්ෂපාතී ඉතා සුළු පිරිස සජිත්ගේ සහ තිස්ස අත්තනායක වැනි පක්ෂය රාජපක්ෂලාට පාවා දුන් අයගේ ප්‍රහාරයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි.
තමන්ගෙ නායකයාට ව්‍යාජ හේතු මත වෛර කරන්නට පුළුවන් වයසින් හා ගුණධර්මවලින් බාල පිරිසකට නායකයා විනාශ කරන එක පහසුවෙන් කරන්නට පුළුවන්. හැබැයි කවදාවත් සජිත්ට රනිල් අහලකටවත් යන්න බැරිවෙයි. ඒකට හේතුව මොන අඩුපාඩු තිබුණත් රනිල් ගාව යම් වැදගත්කමක් තිබෙනවා. සජිත් හෝ සජිත්ගේ අනුගාමිකයන් වැඩිදෙනෙකු ළඟ නැත්තෙ ඒක.
සජිත්ගේ හෘද සාක්ෂියේ ගැටලුවත් එක්ක ආර්. ප්‍රේමදාසගේ අවතාරය සජිත් පසුපස එනවා. සජිත්ට ඒකෙන් බේරෙන්න බැහැ. සජිත්ගේ අනාගතය මානසික වියවුලක්. ඒක පතුලක් නොපෙනෙන අඳුරු අගාධයක් විය හැකියි.
දේශපාලනය කියන්නෙ ආදරය නැති තැනක් නෙමෙයි. ආදරය නැතිකම නිසා මිනිසුන් විඳවන තැනක්. ආදරය නැති දේශපාලනය ලොකු පශ්චාත්තාපයක්. දේශපාලනය තුළට නැවත ආදරය ගෙන එන්නට ඕනැ. වාමාංශික ව්‍යාපාරයේ වගේ ම එක්සත් ජාතික පක්ෂයේත් අර්බුදය තියෙන්නෙ ඔතන. පසුගාමී, ම්ලේච්ඡත්වයට ආසන්න පිරිසක් වුණාට පොහොට්ටුකාරයන් ළඟ ප්‍රාථමික තිරිසන් ආදරයක් හෝ තියෙනවා. මහින්ද කියන්නෙ ඒ වගේ බොළඳ, ප්‍රාථමික ආදර වස්තුවක්. සතුරාගෙන් අප බොහෝ දේ උගත යුතුයි.
මං මේ කියපු කතාවත් එක්ක අර උඩ තියෙන පිංතූරය කියවාගන්න.

2019-12-22

තරුණ පරපුර තාප්ප චිත්‍රවලින් වීදි පිරිසිදු කිරීමට

නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන පිරිනැමීම සඳහා කමිටුවක් පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
Translations by Creative Content Consultants
තාප්පවල චිත්‍ර ඇඳීම මේ වන විට තරුණ රැල්ලක් බවට පත් වී තිබේ. එය එක්තරා තරුණ ක්‍රියාකාරිත්වයක්, තරුණ හමුවක් හා විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වී තිබේ. එහෙත්, එය දෘෂ්‍ය දූෂණයකට හා පොදු අවකාශ අවභාවිතාවකට හේතු වන බව අපි කලින් ද පෙන්වා දුන්නෙමු. කියවන්න:
Comic wall paintings of Sri Lanka
දෘෂ්‍ය දූෂණය හා චිත්‍ර අඳින රැල්ල
අගමැති මහින්ද රාජපක්ෂ යනු හැමදාමත් ජනප්‍රිය රැළි සමග යන නායකයෙකි. එහෙත්, මේ වයසේදී හෝ තරුණ තරුණියන්ට නිසි මග පෙන්වා දීමට ඔහුට හැකිනම් හොඳ ය. ඒ සඳහා ඔහු වටා සිටින උපදේශකයන් ඔහුට මග පෙන්වා දිය යුතු ය.
තාප්පවල චිත්‍ර අඳින රැල්ල හා පොදු අවකාශ තමන් කැමති ආකාරයට වෙනස් කිරීමේ රැල්ල මෙන් නොව, මතභේදාත්මක නොවන, අඩු වියදමකින් පහසුවෙන් කළ හැකි කාර්යයක් වන්නේ නගර හා මංමාවත් පිරිසිදු කිරීමයි. මේ වන විට ගම් හා නගර වෙනසකින් තොරව, වීදි දෙපස දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ. වාහනවල ගමන් කරන මිනිසුන් හා පයින් යන එය මෙන් ම, වීදි අසල ජීවත් වන අය ද පාරවලට කුණු වීසිකරති. පරිසර අලංකරණයට ප්‍රධාන ගැටලුවක් වී තිබෙන්නේ එයයි. එය සංචාරක කර්මාන්තයට ද බලපායි. එසේම, පොදු මහජන සෞඛ්‍යයට ද අදාළ ය. ලංකාවේ මිනිසුන් තුළ පිරිසිදුකම ඇතිකිරීම අතිශය දේශපාලනික ව්‍යාපෘතියකි. එය සැබෑ සමාජ විප්ලවයක් ආරම්භ කළ හැකි තැනකි.
වීදි පිරිසිදු කිරීමත් සමග වීදි කිළිටි කරන අයට මෙන්ම පිරිසිදු කිරීම් හරියට නොකරන පළාත් පාලන ආයතනවලටත් පණිවුඩයක් දීමටත් පුළුවන. තරුණ පරපුර මෙවැනි දේ වෙත යොමුකිරීමට සමත් වන්නෝ නියම නායකයෝ ය.
ඇතැම් කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ම මේ වෙත යොමු වී සිටිනු දැකිය හැකි ය. එය අගය කළ යුතු ය. දිරි දිය යුතු ය.

2019-12-21

රජය නව නිර්මාණාත්මක ආර්ථික සූදුවක ද?

අජිත් පැරකුම් ජයසිංහ

බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශය පවසයි.
Translations by Creative Content Consultants
එහෙත්, ෆිච් ආයතනය යනු ණය ලබාදෙන්නන්ට ප්‍රමුඛ අවධානයක් යොමු කරන ආයතනයකි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ.
අහිමි වන ආදායම් සමබර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කෙරෙහි ෆිච් විශ්ලේෂණය විසින් අවධානය යොමු කර නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මධ්‍යකාලීනව රජයේ ප්‍රතිපත්ති විසින් ඇති කරනු ලබන මහේක්ෂ ආර්ථික බලපෑමේ වාසිදායක තත්වය නිසි පරිදි හඳුනාගෙන නැති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.
බදු කප්පාදුව හේතුවෙන් ආර්ථිකය උත්තේජනය වී වත්මන් ආර්ථික මන්දගාමිත්වය වෙනස් වනු ඇතැයි ද, ව්‍යාපාර විශ්වසනීයත්වය නැවත ශක්තිමත් වීමට හේතු වන පරිසරයක් ඇති වන බව ද රජය පෙන්වා දෙයි. බදු පද්ධතිය සරල වීම නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙකී බදු වෙනස්කම් සිදුකළේ එහි ප්‍රතිඵල පරිස්සමෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගත හැකි තුලනය කිරීමේ ක්‍රියාමාර්ග සහිතව බව රජය පවසයි.
එහෙත්, අපගේ නිරීක්ෂණය වන්නේ රජයේ මෙම තීරණය සාක්ෂි මත පදනම්ව ගත් එකක් නොවන බවයි. එසේම, එම ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීමෙන් සති කීපයකට පසුව පවා තවමත් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට රජය අසමත් වී තිබේ. පරිස්සමෙන් අධ්‍යයනය කළා නම් ජාත්‍යන්තර ණය දර්ශක සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය යුතු ව තිබිණි.
මේ අතර රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙස තවත් ඉතා ආන්දෝලනාත්මක නියෝගයක් රජයසියලු බැංකු වෙත නියෝග කර තිබේ. මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බැවින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බව රජය අපේක්ෂා කර සිටියි. මෙම ආන්දෝලනාත්මක තීරණය මුල්‍ය ක්ෂේත්‍රයට කෙසේ බලපානු ඇද්ද යන්න අදාළ චක්‍රලේඛ බැංකු වෙත නිකුත් කිරීමෙන් පසු දැකිය හැකි වනු ඇත. කෙසේ වෙතත්, ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි රජය විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව පෙනේ.
මේ අතර, දිළිඳුභාවය නැතිකිරීම සඳහා කුසලතා රහිත පුද්ගලයන් ලක්ෂයකට ජනවාරි මාසයේ සිට රජයේ රැකියා ලබාදීමටත්, ඒ ඔස්සේ සමෘද්ධි දිළිඳු සහනාධාරය කප්පාදු කිරීමටත් රජය සැලසුම් කර තිබේ. මෙය ද මහජනයා ව්‍යවසායකත්වය සඳහා පොළඹවන රජයක් විසින් කරනු ලබන ආන්දෝලනාත්මක ක්‍රියාවකි.
ශ්‍රී ලංකා රජය කරමින් තිබෙන ආර්ථික සූදුව ‘වා නම් වා පෝ නම් පෝ ගේමක්’ බව අපේ නිරීක්ෂණයයි. එහි සාර්ථකත්වය කෙටිකාලීනව පෙන්නුම් කළ යුතු ය. එසේ නොවේ නම් කෙටිකාලීනව අතහැර දමන්නට ද සිදුවනු ඇත.

ගෝඨාභයගේ බදු කප්පාදුව නිසා ණය සඳහා පොළිය වැඩි වේ

ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ.
Translations by Creative Content Consultants
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ.
මෙම පහත හෙළීමට හේතුව ලෙස දැක්වෙන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ඇති වූ දැඩි වෙනස්කම් ඉදිරියේ ඇතිවීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් ණය සේවා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තිරසර නොවන තත්වයයි.
2020 සහ ඉන්පසු වසරවලදී ගෙවීමට තිබෙන අධික විදේශ ණය බර හේතුවෙන් වැඩි වැඩියෙන් බැහැරින් මුල්‍ය සම්පාදනය කරගැනීමට සිදුවන තත්වය මැද කලින් තිබුණු ආදායම් මත පදනම් වූ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්ව මාර්ගයෙන් බැහැර වීම හේතුවෙන් ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවක් ඇති වී තිබෙන බව ෆිච් ආයතනය පවසයි.
වටිනාකම එකතුකළ බද්ද හෙවත් වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද කප්පාදු කිරීමෙන් ශ්‍රී ලංකාවට දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් පමණ වන තරම් ආදායමක් අහිමි වන බව ද, ඒ සමග ජාතික ණය ඉහළ යා හැකි බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.
වර්තමානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 85%ක් වන රජයේ ණය මධ්‍යකාලීනව ඉහළ යා හැකි බව ෆිච් ආයතනය පවසයි. කලින් පැවති ආර්ථික ස්ථාවරකරණ සැලසුම් අනුව රජය මධ්‍යකාලීනව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක මට්ටමේ පවත්වාගැනීමට කටයුතු කරනු ඇතැයි ෆිච් ආයතනය බලාපොරොත්තුව පළ කරයි. කෙසේ වෙතත්, 2020දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%ක් පමණ වනු ඇතැයි ෆිච් ආයතනය පවසයි.
Adapted from praja.lk

ඉන්දියාව උණුසුම් කළ නව පුරවැසි නීතිය

අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ

පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී නැහැ.
Translations by Creative Content Consultants
මෙම පනතින් සිදු වී තිබෙන්නේ අසල්වැසි රටවල් තුනක මුස්ලිම් නොවන ජනතාවට පුරවැසිකම ලබාදෙන්නට මෙම පනතින් හැකි වීමයි. මෙය මුස්ලිම් විරෝධී හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයේ කොටසකැයි ඉන්දියාවේ මුස්ලිම් ජනයා කියනවා. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200ක්. ඒත්, බලයේ ඉන්නේ මුස්ලිම් විරෝධී, හින්දු ජාතිකවාදී ආණ්ඩුවක්. නරේන්ද්‍ර මෝදිගේ කැබිනට්ටුවේ ඉන්නේ එක් මුස්ලිම් ජාතිකයකු පමණයි.
මුස්ලිම් සමාජය තුළ මෙම පනත සම්බන්ධයෙන් භීතියක් පැතිර තිබෙනවා. එරටට අනවසරයෙන් රිංගාගෙන ඇතැයි සැලකෙන අන්තවාදී බලවේග මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව පුරවැසියන්ගේ සම්භවය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමග තත්වය මෙ භීතිය තවත් වර්ධනය වී තිබෙනවා. මෙම පරීක්ෂාව මගින් බලාපොරොත්තු වන්නේ, නීති විරෝධීව ඉන්දියාව තුළට රිංගාගෙන සිටින අනවසර සංක්‍රමණිකයන් 2024 වන විට රටින් පිටුවහල් කිරීමයි.
ජාතික පුරවැසි ලියාපදිංචිය නම් වන මෙම වැඩසටහන මේ වන විටත් නැගෙනහිරදිග ඇසෑමයේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, සිය සම්භවය හා පුරවැසිභාවය ඔප්පු කිරීමට අසමත් වූ 19 ලක්ෂයක් වැසියන් රටක් නැති මිනිසුන් බවට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දීය ග්‍රාමීය, දිළිඳු ජනයා අතරින් සැලකිය යුතු පිරිසකට රජය ලියාපදිංචිය සඳහා බලාපොරොත්තු වන ලේඛන හා වෙනත් සාක්ෂි සැපයීමේ හැකියාව නැහැ.
මේ අතර මෙම ජාතික පුරවැසි ලියාපදිංචිය නිසා රටක් නැති පුරවැසියන් බවට පත් වීමේ ඉඩ ඇති පිරිස අතර සැලකිය යුතු ජනගහනයක් භාරතීය ජනතා පක්ෂයට සහාය දෙන හින්දු බෙංගාලි ජාතිකයන්. ඒ නිසා දැන් ඒ ලියාපදිංචි ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීම අත්හිටුවා තිබෙනවා. බංග්ලාදේශයෙන් සිදුවන අනවසර සංක්‍රමණ ඇසෑමයේ දිගුකාලීන ප්‍රශ්නයක්.
මෝදි කියන්නේ මෙම නීතිය ඉන්දීය පුරවැසියන්ට බලපාන්නේ නැති බව හා විපක්ෂය මේ සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන බවයි. අභියෝග හමුවේ තමන් මෙම නීතිය සම්බන්ධයෙන් පසු නොබසින බව අගමැති මෝදි හා ඔහුගේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද පවසනවා. මෙම පනත මෑතදී භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් නැති උත්තර සභාවේත් සම්මත වුණා. පහළ මන්ත්‍රී මණ්ලයේ එය සම්මත වුණේ 2016දීයි.
මෙම පනත මගින් පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට පොදු සමාවක් පිරිනැමෙනවා. 64 වසරක් පැරණි ඉන්දීය පුරවැසි පනතට කරන ලද සංශෝධනයක් මගිනුයි එය කරන්නේ. මීට පෙර, නීති විරෝධී සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් සැලකුණේ අනවසරයෙන් පදිංචිව සිටින විදේශිකයන් ලෙසයි. නව සංශෝධනය අනුව, හින්දු, සික්, ජෛන, ක්‍රිස්තියානි, බෞද්ධ සහ පාසි යන ජනවර්ග හයට අයත් ආගමික සුළුතරයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන් මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හෝ බංග්ලාදේශය යන රටවලින් සංක්‍රමණය වූවන් බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. පුරවැසිභාවය ලබාගැනීම සඳහා සංක්‍රමණිකයන් වසර 11ක් ඉන්දියාවේ සිටිය යුතු බවට පැවති නීතිය වසර හය දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව, 2014ට පෙර පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.
මෙමගින් ආගමික පළිගැනීම්වලට ලක් වූ සරණාගතයන්ට සහන සැලසෙන බව ඉන්දීය රජය කියනවා. එහෙත්, විවේචකයන් කියන්නේ මෙමගින් මුස්ලිම්වරුන් කොන්කිරීමට භාරතීය ජනතා පක්ෂ රජය උත්සාහ කරමින් සිටින බවයි. ජාතික පුරවැසි ලියාපදිංචියත්, පුරවැසි පනතට ගෙන එන ලද සංශෝධනයත් එකිනෙක අතර සම්බන්ධයකින් යුක්තයි. එක පැත්තකින් රටට මැනැවින් හැඩගැසුණු සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාදෙන ගමන් අනවසරයෙන් රිංගාගෙන සිටින්නන් පිටුවහල් කිරීම මෙහි අරමුණ බව ඉන්දීය රජය පවසනවා. මේ ඔස්සේ ඉහත දක්වන ලද බෙංගාලි හින්දු ජාතිකයන්ට මෙම පනත මගින් පුරවැසිභාවය ලබාගැනීමට හැකියාව ලැබෙන්නට පුළුවන්. ඒත්, මුස්ලිම් ජනතාව ප්‍රශ්න කරන්නේ ද මෙම තෝරාගැනීමේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයයි. පුරවැසිභාවය ලබාදීමේදී ආගම පදනම බවට පත්කරගැනීම ඉන්දියාවේ දිගුකාලීන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය මූලධර්මවලට හා අනාගමික ව්‍යවස්ථා සංකල්පයට පටහැණියි. එසේම, එය වාර්ගික වෙනස්කම් කිරීමක් හා නීතිය ඉදිරියේ සමානත්වය අභියෝගයට ලක්කිරීමක්.
අසල්වැසි මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් සුළුතරයන් මෙම නීති සංශෝධනයෙහිදී නොතකා හැර තිබෙනවා. පාකිස්තානයේ සුළුතර මුස්ලිම් ප්‍රජාවක් වන අහමඩියා මුස්ලිම්වරුන් රැසක් ඉන්දියාවේ සරණාගතයන් ලෙස ජීවත් වෙනවා. පාකිස්තානයේ සුන්නි මුස්ලිම් බහුතරයේ පළිගැනීමට මෙම ප්‍රජාව ලක්වී තිබෙනවා. බුරුමයෙන් සංක්‍රමණය වී තිබෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ආපසු යැවීමට ඉන්දීය රජය උත්සාහ කරමින් සිටින්නේත් මේ අතරමයි.
මේ අතර, රට පුරා සියලු විරෝධයන් එක හා සමාන නැහැ. නිදසුනක් ලෙස පාකිස්තානයට, ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට මායිම් වන ප්‍රාන්තවල ජනතාව විරෝධය දක්වන්නේ අලුතෙන් සංක්‍රමණය වීමට ඉඩ ඇති ජනයා හේතුවෙන් තමන්ට ඇති විය හැකි ගැටලුවලට විරුද්ධවයි. මේඅතර, ශිෂ්‍ය උද්ඝෝෂණ ද පැවැත්වෙනවා. ඒවාට පසුබිම් වන්නේ බොහෝ විට පොලිස් මර්දනය වැනි කාරණායි. ශිෂ්‍ය උද්ඝෝෂණ හා පොලිස් පහරදීම් නිසා පසුගිය සතියේ දිල්ලිය උණුසුම් වුණා. භාරතීය ජනතා පක්ෂයට වඩා ලිබරල් දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයත් මෙම සංශෝධනයට විරුද්ධයි. එය බල දේශපාලනික හේතුවක්.
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ
මේ අතර, විස්මයට තුඩුදෙන හා තමිල්නාඩුවේ දෙමළ ජනයා අතර විරෝධයට තුඩු දෙන කාරණයක් වන්නේ ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික යුද සරණාගතයන්ට පුරවැසිභාවය ලබාගැනීමේ අවස්ථාවක් මෙම පනත හරහා හිමි නොවීමයි. එහෙත්, ජයලලිතාගේ දැක්ම අනුව කටයුතු කරන ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ මන්ත්‍රී පිරිස පුරවැසි සංශෝධන පනත සම්මත කරගැනීමට භාරතීය ජනතා පක්ෂයට සහාය දී තිබෙනවා. 60,000කට වැඩි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙනවා. ඔවුන් අතරින් 30,000ක් පමණ දෙනා වාර්ගික ප්‍රචණ්ඩත්වයන් නිසා රටින් පළා ගිය කඳුරට දෙමළ වැසියන්.

2019-12-19

ස්විස් එම්බසියේ ‘අත අත නෑර’

තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්න දින තුනක් තුළ පැය 30ක් ප්‍රශ්න කළ ආකාරය ඉතා පැහැදිලිව ම මානසික වධහිංසනයකි.
Translations by Creative Content Consultants
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග පළිගැනීමේ නව සංස්කෘතියක් පමණක් නොව, පැහැරගැනීම්, වධහිංසනයන්, පහරදීම් ආදිය නැවත ආරම්භ වී තිබෙන බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
උදාහරණ කීපයක් දැක්විය හැකි ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මව්බිම පුවත්පතට කළ ප්‍රකාශයක් පහත රූපයේ දැක්වේ.
එසේම, පාඨලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ වාහනයක් හදිසි අනතුරකට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගින් දණ්ඩනයට ලක්කරන ලද රියදුරකුගේ බිරිඳ හා ළදරුවකු පොලිසිය විසින් පැහැරගෙන යාම හා නීති විරෝධී අන්දමින් සිරගත කර බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් සිදුකිරීම මේ වන විට අතටම හසු වී හමාර ය.
මේවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඍජු නියෝග මත සිදුවන බවක් අප කියන්නේ නැත. ඔහු බලයට පත්වීමත් සමග ඇති වී තිබෙන නව සංස්කෘතිය තුළ මෙවැනි ක්‍රියා සිදුකිරීමට දුෂ්ට බලවේගවලට උත්තේජනයක් ලැබී තිබෙන බව පෙනේ. ඒවා වැළැක්වීමට ජනාධිපතිවරයා පාර්ශ්වයෙන් යම් ප්‍රතිචාරයක් ලැබිය යුතු ය. තවම නම් එවැන්නක් සිදු වී තිබේ.
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව බොරු චෝදනාවක් සිදුකළා නම්, එසේ කළේ ඇයි ද යන්න පොලිසිය හා අධිකරණය කෙසේ වෙතත්, සමාජය විසින් සැලකිල්ලට ගත යුතුව තිබේ. මෙය කිසියම් මනෝ භ්‍රාන්තියක් ද? නැතිනම්, බටහිර රටවල් රවටා දේශපාලන රැකවරණ ලබාගැනීමේ ලාංකිකයන්ගේ පරණ පුරුදු කූට සෙල්ලමක නව ජවනිකාවක් ද?
මෙම කූට උපාය භාවිතා කරමින් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගත් බොහෝ අය සිටින අතර එක් වාමාංශිකයකු පිළිබඳ මා මීට කලින් ලිපියක විස්තර ලියුවේ මෙසේ ය:
කලක් මා ක්‍රියාකාරිකයකු වූ හිරු කණ්ඩායම සමග සම්බන්ධව සිටි එක්තරා ව්‍යාපාරිකයකු පවුල පිටින් විදේශගතවීම සඳහා අනුගමනය කළ උපායමාර්ගය මෙසේ ය: මෙම පුද්ගලයා ව්‍යාපාරික වශයෙන් අසාර්ථක වූයේ ය. දේශපාලන කණ්ඩායම සමග ද ගැටුම් ඇතිකරගත් ඔහු දේශපාලන කටයුතුවලින් ද ඈත් වී සිටියේ ය. මේ අතර, අප කණ්ඩායමේ අයෙකු සේවය කළ සන්නිවේදන ආයතනයක් හරහා යම් යම් කටයුතු කරගනිමින් මෙම පුද්ගලයා විදේශ රටවල ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළේ ය. එය ද අසාර්ථක විය.
2007 වන විට මම හිරු කණ්ඩායමෙන් ඉවත් වී සිටියෙමි. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් පෙනී සිටීම නිසා ඒ වන විට හිරු කණ්ඩායම වෙත මර්දනය යොමුවෙමින් තිබිණි. ඒ සමග ම මෙම පුද්ගලයා නැවතත් හිරු කණ්ඩායම සමග සම්බන්ධ වූයේ ය. වෙබ් අඩවි සම්බන්ධ දේශපාලන කුමන්ත්‍රණවල ගෝඩ් ෆාදර් කෙනෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයකු සමග එක්ව වෙබ් අඩවියක සංස්කාරකවරයකු ලෙස ඔහු වැඩ කරන්නට පටන් ගත්තේ හිරු කණ්ඩායමේ නායකයාගේ මගපෙන්වීමෙනි. පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ප්‍රසිද්ධ පරිවර්තකයකු ද මෙම වෙබ් අඩවියේ සේවය කළේ ය.
මේ අතර, එම වකවානුවේ නිතර නිතර මාධ්‍ය මර්දනයට එරෙහිව පැවති උද්ඝෝෂණවල ද මෙම පුද්ගලයා ඉදිරියෙන් ප්‍රදර්ශනය වන්නට පටන් ගත්තේ ය. ඔහු උද්ඝෝෂණවල යෙදී සිටින ඡායාරූප මාධ්‍යවල පළ විය. දේශපාලනය දෙස හැරීවත් නොබැලූ මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි ඒ දිනවල අපට තේරුණේ නැත.
මොහු අප කණ්ඩායමට මීට පෙර සැලකූ අන්දම සම්බන්ධ සිදුවීමක් මට දැනුදු සිහිපත් වේ. අපගේ කණ්ඩායමේ සිටි නෙවිල් උදිත වීරසිංහගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ ඊට වසරකට පෙර ය. රාත්‍රියේ පැවැත්වුණු එම උත්සවයට සහභාගි වූ අප රාත්‍රිය නතර වීමට යාමට සිටියේ ඒ වන විට මෝදර සොල්දර ගෙදරක ඉහළ මාලයේ පැවැති අපගේ කාර්යාලය ලෙස ද භාවිතා කළ නිවසට ය. මෙම පුද්ගලයාගේ වෑන් රථය එහි පැමිණ තිබුණේ පිටුපස ආසන කිසියම් කාර්යයක් සඳහා ගලවා ය. අපි එහි පිටුපස බිම වාඩි වී පැමිණියෙමු. කොළඹින් උතුර දෙසට යාමට පැමිණි ඔහු රෑ දොළහට පමණ අප සියලු දෙනා කොටුවේ මග දමා යන්නට ගියේ ය. මෝදර පැත්තට කිලෝමීටර් හතරක පමණ දුර අපි පයින් ගියෙමු. ඔහුට කරන්නට තිබුණේ තමන් යන දිශාවට ම වෙනත් මාර්ගයක ගොස් අප අදාළ තැනින් බස්වා යළි මාර්ගයට යොමුවීමයි. එම කණ්ඩායමේ සිටි අය අතර ඒ වන විටත් යම් තර්ජනයන්ට ලක්වී සිටි භාෂණ ද කාන්තාවන් කිහිපදෙනෙකු ද සිටිය හ. අද පවා මගේ වාහනයෙන් හඳුනන හෝ නාඳුනන කෙනෙකුට ලිෆ්ට් එකක් දෙන විට මට මෙම සිදුවීම මතක් වේ. මා කිසි විටෙක පුද්ගලයකු අතරමග දමා යන්නේ නැත්තේ එම අත්දැකීම නිසා ය.
එම වෙබ් අඩවියට තර්ජන ඇති බවට වාර්තා එම වෙබ් අඩවියේ ම පළ විය. ඒ වන විට සක්‍රියව පැවති මාධ්‍ය සංවිධාන විසින් මාධ්‍ය මර්දනය පිළිබඳ වාර්තාවල එම වෙබ් අඩවියේ නම ද සඳහන් කරන ලදී. එය වනාහි මාධ්‍යවලට ඇත්තට ම තර්ජන ද තිබුණු, තිබුණාටත් වඩා තර්ජන ඇති බව මාධ්‍යකරුවන් හා මාධ්‍ය සංවිධාන විසින් ප්‍රචාරය කරන ලද සමයක් විය.
හදිසියේ ම මෙම වෙබ් අඩවිය වසා දමන ලදී. හේතුව ලෙස දක්වනු ලැබුවේ මර්දනය නිසා එය කළ නොහැකි බවයි. අපේ කතානායකවරයා රටින් පළා ගියේ ය. ටික කලකට පසු ඔහු ස්විට්සර්ලන්තයෙන් මතු වූයේ නිකම් නොව, මර්දනය හමුවේ පළා ආ ශ්‍රී ලාංකික ජනමාධ්‍යකරුවකු ලෙස ය. ශ්‍රී ලංකාවේදී චිත්‍ර ගුරුවරියක වූ ඔහුගේ බිරිය තර්ජන නිසා පළා එන්නට සිදු වූ මාධ්‍යකරුවකුගේ බිරිඳක් විසින් තම කටුක අත්දැකීම් ප්‍රකාශයට පත් කරන අන්දමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද කළා ය.
මෙම දේශපාලන කණ්ඩායමෙහි නායකයා විසින් වරක් තම සමීප හිතවතකු වූ කතෝලික පූජකවරයකුගේ, දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති රස්තියාදුකාර ඥාති පුත්‍රයකුට දේශපාලන රැකවරණ ලබාදීම සඳහා ව්‍යාජ හිරු පුවත්පතක් සැලසුම් කර අදාළ අංශවලට ඉදිරිපත් කළේ ය. ඒ වන විට මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කොළඹ පැවැත්වුණු උද්ඝෝෂණවලදී ගන්නා ලද ඡායාරූපයකට දේශපාලන රැකවරණ අපේක්ෂා කළ පුද්ගලයාගේ ඡායාරූපයක් බද්ධ කර ව්‍යාජ ඡායාරූපයක් ද සැලසුම් කරන ලදී. ලාංකිකයන් බටහිර තානාපති කාර්යාල රවටන්නට පාවිච්චි කරන්නේ එවැනි කූටෝපායන් ය. මේවා පිළිබඳ ලංකාවේ රජය මෙන් ම, බටහිර තානාපති කාර්යාල ද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය වැනි ආයතන ද දැනුවත් කළ යුතු ය.

ආණ්ඩුව කරන ජන මර්දනවලට එරෙහිව සටන් කිරීම එකකි. එය පාවිච්චි කරමින්, රට හා ජනතාව පාවා දී දේශපාලන සරණාගතභාවයන් අපේක්ෂා කිරීම තවත් දෙයකි. අප මේ දෙකට ම විරුද්ධ ය.
කෙසේ වෙතත්, උපුටා පළ කර තිබෙන මෙම ලිපිය සමග පළවන ඡායාරූපය දෙස බලන්න. එයින් කියවෙන කතාව ඉතා වැදගත් ය. එහිදී එම කාන්තාවගේ අත අත නොහැර දැඩිව අල්ලාගෙන තිබෙන අත් බලන්න. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ සේවිකාවක වූ නිසා ම ඇය වරදක් කර ඇතත්, නැතත්, ඇගේ අත මෙසේ අල්ලාගැනීමට එම තානාපති කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළ හ. මේ කාන්තාව නිසා ස්විස් තානාපති කාර්යාලය පමණක් නොව එරට රජය පවා රාජ්‍ය තාන්ත්‍රික දුෂ්කරතාවකට පත්වන්නට ඇත. එහෙත්, ඇය මේ මොහොතේ අසරණ ය. ඇය වරදක් කළා විය හැකි ය. එසේ නම්, වරද කරද්දී ඇයට අනුබල දුන් අයට ඇය ප්‍රතිවිපාකවලට මුහුණ දෙද්දී ඇය අතහැර නොයාමේ වගකීමක් තිබේ. ඔවුන් මේ කරන්නේ එය විය හැකි ය.
අපේ රටේ ආණ්ඩු, දේශපාලකයන්, නිලධාරීන් සහ සමාජයේ අධිපති බලවේග අපේ රටේ මිනිසුන්ගේ අත් මෙසේ අල්ලාගන්නට සමත් වන දවසක ලංකාවේ මිනිසුන් මෙන් ම රජයන් ද, වෙනත් රටවල රජයන් ද මෙවැනි තත්වයන්ට මුහුණ නොදෙනු ඇත. මේ රටේ මිනිසුන් ලද පළමු අවස්ථාවෙන් රටින් පළා යාමට කුරුමානම් අල්ලන්නන් බවට පත් නොවනු ඇත.