2017-07-14

දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න

අපේ දිවවලට වැඩියෙන් ම පැණිරහ දැනුණු කාලෙ තිබුණෙ සිරිමා බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී ආණ්ඩුව. කියන්න ඕනැ නැහැනේ. සීනි රාත්තල සත 72ට දුන්නෙත් කූපන් එකට. ඒ කාලෙ අල්ලට සීනි කාලා තමයි වැඩිදෙනෙකු තේ බිව්වෙ. රටඉඳි මදුලක් එක්ක වුණත් තේ බොන එක ඒ දවස්වල ලක්සරි වැඩක්. 

රටඉඳි කිව්වම මතක් වුණේ මේ මෑතක් වෙනකල් ම ඕවා විකිණුවේ හද්දා ජරාවට. මට මතක් වෙනවා මේ 21වන සියවස කිට්ටු වෙනකල් ම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් ගාව දූවිලි වැදි වැදී, මැස්සන් වහ වහා ඕවා විකුණපු හැටි. 

හැත්තැ ගණන්වල රට ඉඳි ගැන හිතාගන්න පුළුවන් නේ. අපි පෝලිමේ ගිහින් එක්කෙනාට කාල ගානෙ දුන්න පාන් අරන් ඇවිත් ගුල්ලන් ගැන ගැන තමයි ඒවා කෑවෙ. ඒ කාලෙ අපි ඔය ගුල්ල කියන සතා පිටි ආහාරවල ම කොටසක් විදියට තමයි සැලකුවේ. 

ඇල්ටේසන් බල්ලා
බනිස් ගෙඩිය ගිල්ලා
ඒකෙ හිටිය ගුල්ලා
ඒකට කෙළ ගිල්ලා

ඒ කවියත් ඒ කාලෙ හැදුණු එකක්. 

මට කියන්න ඕනැ වුණේ වෙන වාක්කියක්. පොඩි කාලෙ අපි වලිවලදි අනෙක් පැත්තෙ එකාට කියන්නෙ “දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න," කියලායි. ඒ කියන්නෙ ඒ වගේ හීනි රැළි වෙලා යන්න තමයි හොම්බට අනින්නෙ.

බොම්බයි මොටයි මාමා කියන්නෙ ඉඳ හිට පටු මාවත් දිගේ පිත්තල සීනුවක් හඬවමින් ගිය රසබර චරිතයක්. තහඩුවලින් හදපු, වටේට වීදුරු අල්ලපු, උඩින් රවුම් මූඩියක් තියෙන, කොක්කකින් අතේ එල්ලගෙන යන පෙට්ටියේ තමයි බොම්බයි මොටයි තිබුණෙ. 

ඒවට සමහරු සීනි පොල් කොහු කියලාත් කිව්වා. සමහර විට බොම්බයි මුටයි කියන වචනෙ හරි ඇති. හැබැයි, ගම්වල අපි දැකපු මොටයි ජාති තිබුණා මේ වගේ. විශේෂයෙන් ම බිත්තර වී දියේ දාලා තියලා, ගොඩට අරගෙන, බර තබා තියලා, වපුරන දවසට කලින් දවසේ හවස උණුහුමට උණුහුමේ කැට කඩනකොට ඒවායෙන් ඇදලා තිබුණ සුදුපාට මොටයියනුත් මේ වගේ නිසා අපට බොම්බයි මොටයි කියන්න හේතුවක් තිබුණා.

බාබර් සාප්පුවේ බිම වැටිලා තියෙන කෙස් ගුලි වගේ සියුම් කෙඳි සහිත බොම්බයි මොටයි රෝස පාටයි. ඒකෙ හරි මිහිරි සුවඳකුත් තිබුණා. සත පහක දහයක බොම්බයි මොටයි දාලා දෙන්නෙ පරණ කොපි පොත්, පෙළ පොත් කඩදාසියකට. ඒ සීනි පොල් කොස්සෙන් කොනක් කඩලා කටට දාගත්ත සැණින් දියවෙලා දිවේ ඉඳලා උණ්ඩුක පුච්ඡය දක්වා ම රස නහර සියල්ල පිනා යනවා මෙයා. 

සමහර බොම්බයි මොටයි මාමලා නයිස් කියලා රෝස පාට, කහ පාට තුනී, පැතලි, රවුම් කඩදාසි වගේ කෑමකුත් විකිණුවා. ඒක බොම්බයි මොටයි තරම් ම පැණිරහ නැහැ. හැබැයි කටට ගත්තාම අර වගේ ම ක්ෂණයකින් දිය වෙලා යනවා. 

දැන් අපේ ගම්වල බොම්බයි මොටයිකාරයන් නැහැ. අපේ ගම් දැන් ගම් නෙමෙයි. දියුණු නො වෙච්ච නගර. මොනවා වුණත්, අද පවා ලාම්පු තෙල් කරත්ත පවා දැක ගන්නට පුළුවන් කොළඹ හතේදි. 

මේ පිංතූරෙ මං ගත්තෙ කොළඹ තුනේ රැජින පාරෙදි. ටිටිනි - ටිටිනි, ටිටිනි - ටිටිනි කියලා අප්‍රිකානු සංගීත භාණ්ඩයක වගේ ශබ්දයක් ඇහිලා බලනකොට මෙන්න එනවා බොම්බයි මොටයි වෙළෙන්දෙක්. පෙට්ටිය එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා. හැබැයි මූලික ලක්ෂණ එමමයි. පොඩ්ඩක් නවත්තලා ගත්තා පිංතූරයක්. 

“මං මේක ෆේස්බුක් දානවා," මං කිව්වා.

“දෙන් දානවද?" ඔහු ඇහුවා. “අපේ බොස් යේක පලනවා. මං කියන්නං පලන්න කියලා." 

බස්සෙකට නැග්ග ගමන් මං ෆෝන් එකෙන් ම ඒක ෆේස්බුක් දැම්මා. බොස් දැක්කද දන්නෙ නැහැ.

ලොකු වෙළඳාමක් නැතුව ඇති. හැබැයි ජීවිතය රසවත් කරන උරුමයක් ඉදිරියට ගෙන යන මිනිහෙක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.