ලිංගිකත්වය සම්බන්ධ පුවත් තුනක්
පසුගිය දිනවල විකාශය වූ ප්‍රවෘත්ති හා සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. යම් කිසි පුද්ගලයෙක් පාසල් සිසුවියක් යයි සිතිය හැකි යුවතියකගේ මුහුණු පොතෙන් අර ගත් ඡායාරූපයක් සිය ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යොදා තිබිණි. අර දැරිය ඔහු පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා ඇගේ මිතුරු මිතුරියන්ට පණිවුඩ එවා තිබිණි. අදාළ පුද්ගලයාගේ මුහුණු පොතට ගොස් බැලූ විට අර දැරිය එහි තබා තිබුණු පණිවුඩයක් ද දුටිමි. "තමුසෙ කවුද? ඇයි තමුසෙ මගෙ පිංතූරෙ ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ?" කැමරාව සුලබ ආම්පන්නයක් වී තිබෙන නූතන යුගයේ කිසිවෙකු තවත් අයකුගේ ඡායාරූපයක් ගැනීම හා සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ෂෙයා කරන ලද ඡායාරූපයක් නො මනා නො වන දෙයකට භාවිතා කිරීමේදී විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇත. මුහුණු පොත ප්‍රචලිත වීමත් සමග එයට සම්බන්ධ වී තමන්ගේ ඡායාරූප බෙදා ගත් කිසිවෙකුට තව දුරටත් එම ඡායාරූපය පෞද්ගලික යයි කීමට හිමිකමක් තිබේද? ඡායාරූපයක් යනු ආලෝකයෙන් ලිවීමේ කලාවක් වන මුත් එය චිත්‍රයක් වැනි පූර්ණ පරිකල්පනයක් නො වේ. ඒ නිසා කෙනෙක් ඡායාරූපයක නිර්මාන හිමිකම ගැන තර්ක කිරීම ද මට නම් විකාරයකි. ...