ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව
අජිත් පැරකුම් ජයසිංහ
මේ අවස්ථාවෙ ජනප්‍රිය අදහසක් තමයි ජනතාවට තමන් කැමති කෙනෙකු පාලකයා කරගන්න අවස්ථාව දිය යුතු බව. ආර්ථිකය කඩාවැටෙනවාද, ගොඩයනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, ප්‍රතිසංස්කරණ කරනවාද, නැතිනම් අගාධයට යනවාද යන්න තීරණය කළ යුත්තේ බහුතර ජනතාවගේ කැමැත්ත මතය කියන එක තමයි මෙතන පදනම.
මොකක්ද මේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය. ඉතාම ජනප්‍රිය උදාහරණයකින් කිව්වොත්, චමරියක යාළුවන් තුන්දෙනෙකු උයාගෙන කනවා. එක්කෙනෙකු මුස්ලිම්. අනෙක් දෙදෙනා සිංහල හා දෙමළ. මේ අය කෑමට ගන්න දේ තීරණය කරන්නෙ බහුතර කැමැත්ත අනුව. ඒ අනුව, එක් දවසක් යෝජනා වෙනවා ඌරු මස් උයන්න ඕනැ කියලා. මුස්ලිම් මිතුරා විරුද්ධ වෙනවා. ඡන්දයක් විමසනවා. බහුතර කැමැත්ත අනුව ඌරු මස් යෝජනාව සම්මත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාය මේකද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්තද?
ලංකාවෙ දැන් තියෙන ස්වරූපයේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නැහැ කියන එක හතළිස් ගණන්වලදි සෝල්බරි කොමිෂන් සභාව ඉදිරියේ පවා සාකච්ඡා වුණා. පනහට පනහ කියන්නෙ ඒ පදනමින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක්. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වුණ නියෝජනය වෙනුවට මේ රටේ සුළුතර ජාතීන් ඉල්ලුවෙ සිංහලයන්ට 50%ක් හා සියලු සුළු ජාතීන්ට 50%ක නියෝජනයක්. ඒක ප්‍රගතිශීලී ඉල්ලීමක්. ඒත්, සෝල්බරි කොමිෂන් සභාව එයට ඉඩ දුන්නෙ නැහැ. එහෙත්, බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ නරක ආදීනව පාලනය කරන්නට ව්‍යවස්ථාවට ආරක්ෂණයන් එක්කළා. මේ දුර්වල ආරක්ෂණයන් නිදහස ලැබිලා මාස ගණනක් ඇතුළත බහුතර ප්‍රජාතන්ත්‍රවාදය විසින් පාගා දැම්මා. සුළුතර ජාතීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ඉන්දු පකිස්තාන් පුරවැසි පනත් ගෙනාවා. ඒ නිසා ලංකාවේ ක්‍රියාත්මක බහුතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැරදි බව ඔප්පු කරලාත් දැන් අවුරුදු 75ක් විතර වෙනවා.
බහුතර ප්‍රජාතන්ත්‍රවාදයටම තව ආලවට්ටම් දාන ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන තමයි ඔය ජනවරම කියන එකෙන් කරුණු ඉදිරිපත් කරන්නෙ. ජනවරම කියන්නෙ නීතිමය කාරණයක් නෙමෙයි. කොහොම වුණත්, ඒ සංකල්පය අනුව බැලුවාම, ලංකාවේ දශක ගණනාවක් තිස්සේ රජය සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන මහජන ආකල්ප අනුව, රජයේ ආදායම් හා වියදම් තුලනය කරන්නට කිසිම පාලකයෙකුට ජනවරමක් ලබාගන්නට බැහැ. ඒ කියන්නෙ රාජ්‍ය ආදායම් වැඩිකරන්නට ජනවරමක් ලැබෙන්නෙ නැහැ. මොකද, රාජ්‍ය ආදායම් වැඩිකරගන්නට තියෙන ප්‍රධාන ක්‍රමය බදු. ලංකාවෙ සියලුදෙනාට බදු ෆයිල් විවෘත කරනවාය කියලා ඡන්දෙ ඉල්ලලා ජනවරමක් ගන්න කාටවත් බැහැ.
ඒ වගේම තමයි වියදම් කප්පාදු කරන්නත් ජනවරමක් ගන්න බැහැ. රාජ්‍ය වියදම් කප්පාදු කරන්නට තියෙන ක්‍රමය තමයි ලක්ෂ 14කට වැඩි රාජ්‍ය සේවය, ලක්ෂ දෙකහමාරක් විතර වන අර්ධ රාජ්‍ය සේවය, ලක්ෂ පහමාරක් විතර වන විශ්‍රාමිකයන්, තවත් ලක්ෂ ගණනක් ජීවිකාව සකසාගන්නා කොන්ත්‍රාත් ව්‍යාපාර, ඒ වගේම, ගොවීන් කියන අයට දෙන පොහොර වගේ සහනාධාර ආදිය කප්පාදු කරන එක හා රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු නැතිකර දැමීම. ඒ සඳහා කරන දේ කියලා පුළුවන් නම් ඡන්දෙ ඉල්ලලා බලන්න. ඔය ජනවරම කියන එක කවදාවත් ලැබෙන්නෙ නැහැ.
ජනවරම ලබාගන්න නම් ඇත්ත කියලා බැහැ. බොරු කියන්න ඕනැ. ඒ නිසා දේශපාලකයන් අඛණ්ඩව බොරු කියනවා. මේ පට්ටපල් බොරු ප්‍රතිපත්ති ප්‍රකාශ විදියටත් මැතිවරණ ආසන්න කාලවලදී නිකුත් කරනවා.
ලංකාවෙ ජනතාව රවටන මූලික විදියක් තමයි, රජයට ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්නට පුළුවන්ය කීම. ඒක අන්තයකට යනකොට රස්සා දෙන එකේ සිට හාල් නොමිලේ දෙන එක දක්වා දේවල් රජය තමන්ට පවරාගත්තා. දැන් මේක තවදුරටත් කරන්නට බැහැ. ඒ වුණාට බල ලෝභී දේශපාලකයන් කරන්නෙ ඒකම කරනවාය කියලා නැවත නැවතත් මිනිසුන් රවටන එක.ඒ අනුව, ඔය ඊනියා ජනවරම කියන එක ජනප්‍රිය බොරු හරහා ලබාගන්නා ව්‍යාජ කැමැත්තක්. එහෙම ජනවරමක් ලබාගැනීමම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් ජනප්‍රිය බොරුවලට ස්ථාපිත වෙන්නට පුළුවන් නම්, එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් රැකගන්නට පවා අපි මහන්සි වෙන්න ඕනැ නැහැ.
අපි පාලනය වෙනුවෙන් අලුත් ක්‍රම හොයන්න ඕනැ. බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ගාව දැපනෙ වැටෙන්නට ඕනැ නැහැ. ලෝක ඉතිහාසය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයට වඩා ගොඩක් දිගයි, පළලයි.
ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ඇතැම් අයට චීන සල්ලි ගලනවාය කියලා චෝදනාවක් තියෙනවා. ඒක ඇත්ත වුණත්, බොරු වුණත්, චීනය පවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. ලංකාවෙ චීන හිතවාදී ආණ්ඩුවක් බිහි වුණොත්, චීන සල්ලිවලින් ලංකාවට දුවන්නට වුණොත්, ඒ ආණ්ඩුව චීන පරමාදර්ශ අනුව කටයුතු කළොත් ලංකාවෙ දැන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට මොකක් වෙයිද?
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මේ දවස්වල හඩනගා මතුකරන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පක්ෂයක් නෙමෙයි. ඒක ඇතුළෙ තියෙන්නෙ තනිකරම බලවත් සුළු පිරිසකගේ ඒකාධිපතිවාදයක්. ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නෙ ජනතා විමුක්ති පෙරමුණ. ජාජබ නමින් ජවිපෙ වටා එකතු වෙලා සිටින පිරිසට තියෙන්නෙ ජවිපෙ කියන හැටියට කියන දෙයක් කිරීම තමයි. ඔය නාම යෝජනා ලැයිස්තුවල සියලු අපේක්ෂකයන් ගැන තීරණ ගත්තෙ ජාජබ නෙමෙයි, ජවිපෙ. ජවිපෙ කිව්වාට ඒ පක්ෂයේ තීරණ ගන්නෙත් නායකත්වය විතරයි. ඉහළින් එන තීරණ කිසිවක් ප්‍රශ්න කරන්නට නිදහසක් ඔය ජවිපෙ තුළ නැහැ. එහෙම ප්‍රශ්න කිරීමම නුසුදුසුකමක් බවට පත්කර කපාදමනවා. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ එහෙම එකක්. ඔවුන්ගේ ආණ්ඩුවක් යටතෙ ඊට වඩා වෙනස් දෙයක් ලැබෙයි කියා බලාපොරොත්තු විය හැකිද?
ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂවලත් තත්වය අඩු වැඩි වශයෙන් මේ වගේ තමයි. එම පක්ෂවල නායකයන්ට අති විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන ධාරාවේ පක්ෂවල අභ්‍යන්තරයත් ප්‍රජාතන්ත්‍රවාදී නොවුණාට ඔවුන්ගේ භාවිතය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදීයි. හිට්ලර් කෙනෙකු නිර්මාණය කරන්නටය කියමින් බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහටත් වඩා ප්‍රජාතාන්ත්‍රික පාලකයකු වුණේ ප්‍රධාන ධාරාවේ තිබෙන මේ ප්‍රජාතාන්ත්‍රික නැඹුරුව නිසා.
ලංකාවෙ දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන ආදියෙත් බහුතරයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහෙම රටක තමයි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන බලලෝභීන් පිරිසකගෙ ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ගැටයකට ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් අහුවෙන්න යන්නෙ.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අන්තවාදයක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකවාදයක්. ශ්‍රී ලංකාව මේ විදියට සුරැකෙන්නට හේතු වුණ ඊලාම් යුද්ධ කිසි එකක් ගැන කිසිම තීරණයක් ප්‍රජාතාන්ත්‍රිකව අරගෙන නැහැ. මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය 16 වතාවම සම්බන්ධයෙන් තීරණ මහජන මතය විමසලා අරගෙන නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කෝකටත් තෛලයක් නෙමෙයි.
අන්ත ප්‍රජාතන්ත්‍රවාදයත් අනෙකුත් අන්තවාදයන් වගේම විකාරයක්. සියල්ල දැන් මේ තේරුම්ගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනුව සිදුවිය යුතුයි කියා සිතන එකත් හරියට දෙවියන් වහන්සෙගෙ කැමැත්ත වගේ එකක්. බහුතර කැමැත්ත නිවැරදිද කියල පරීක්ෂා කරන්නට තියෙන්නෙ කැමැත්තට ඉඩදීලා බලන එක විතරයි. එහෙනම්, 2022දි ඇයි අරගල කළේ? බහුතර කැමැත්තෙන් පත්වෙච්ච ආණ්ඩුවක්නෙ තිබුණෙ. 2022 අරගලය විසිනුත් ඔප්පු කර තිබෙන්නෙ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය වැරදි බව නොවෙයිද?
කොවිඩ් වෙලාවෙ රට දීර්ඝකාලීනව ලොක්ඩවුන් කරන එක බහුතර කැමැත්ත වුණා. සුළු පිරිසක් කිව්වා, ඒක කරන්න එපාය, රටේ ආර්ථිකය ආපහු ගොඩගන්න බැරි මට්ටමට වැටෙනවාය කියලා. අන්තිමට වුණේ මොකක්ද? කොවිඩි ලොව පළමු වසංගතය හෝ අවසන් වසංගතය නොවන බව ලෝකය නැවත සොයාගන්නකොට ඖෂධ සමාගම් විශාල බිස්නස් එකක් කරගෙන ඉවරයි. රටේ ආර්ථිකයත් බිඳවැටිලා ඉවරයි.
මගේ මූලික තර්කය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නොවන බවයි. හැබැයි, ඒකට විකල්පයකුත් දැනට මේ රටේ නැහැ. මොකද, ලංකාවෙ පාලකයන් බලයට පත්වන මූලික මූලධර්මය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඔවුන්ට පවතින්නට ඉන් පිට අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාය විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.