IMF කොන්දේසි හා පෙරටුගාමී ලයින්
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
IMF කොන්දේසි කියලා ජාතියක් ගැන බොහෝ දෙනා කතාකරනවා. IMF කොන්දේසි කියන යෙදුමම වැරදියි. IMF එකත් එක්ක රජයන් එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ආර්ථිකයන් බේරාගැනීමේ ක්‍රියාමාර්ග සැලසුම් කරන්නෙ. IMF වැදගත් වන්නෙ හේතු කීපයක් නිසා.
1. ආර්ථිකයන් හැඩගස්වාගැනීම සඳහා දෙන විශේෂඥ උපදෙස්
2. රජයත් එක්ක එකතු වෙලා සකස් කරගන්නා වැඩසටහන
3. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කරනු ලබන අධීක්ෂණය
4. වැඩසටහන ක්‍රියාත්මක කරන අවධියේදී ලබාදෙන ආධාර
ලංකාවට බංකොලොත්භාවයෙන් ගොඩඒම සඳහා තියෙන පියවරවලදි IMF සමග වැඩසටහනකට එළැඹීම අනිවාර්යතාවක් වගේ පෙනෙනවා. හේතුව වෙනත් කිසිදු විකල්පයක් නැතිකම. එහෙම නැතිනම් මොකක් හරි රටක් අපට බේල්අවුට් එකක් දෙන්න ඕනැ. එහෙම රටක් ලෝකෙ නැහැ.
IMF සමග කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසු තමයි ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සාකච්ඡා කරන්න පදනම සැකසුනේ. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමෙන් පස්සෙ තමයි ලංකාවෙ ණය ස්ථාවරත්වය ඇතිවෙලා ආර්ථිකය යළි පණගන්වන්නට හැකිවෙන්නෙ. බංකොලොත්භාවයෙන් මිදෙන්නෙ නැතුව තවදුරටත් විදේශ ණය ගන්න බැහැ. විදේශ ණය නැතුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට ප්‍රාග්ධනය නැහැ. සංවර්ධනය නොවී රටේ ආර්ථිකය ස්ථාවර වෙන්නෙ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව තවම රටට හෙළිදරව් කර නැහැ. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ‘වයර්’ යූටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන කරන් තාපර් මෙහෙවූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.
“මේ වසරේ අපගේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් පවතින තත්ත්වයක් පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිය විය හැක්කේ වැඩ සටහන නිමා වනවිට හෙවත් වසර තුනක් අවසානයේදී එම අයවැය පරතරය සියයට දෙකක අතිරික්තයක් බවට පත්කර ගත යුතු බවයි. ඒ අනුව මුළුමනින් ගත් විට සියයට හයක (6%) වෙනසක් අප අයවැය තුළ සිදුකර ගත යුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආදායම් වැඩි කර ගත යුතුය.”
ප්‍රාථමික ගිනුමේ ශේෂය යයි කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණය පොලී ගෙවීම් හැර සෙසු රාජ්‍ය වියදම අතර වෙනසයි. ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන රාජ්‍ය වියදම පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වාගත හැකි නම් ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයකැයි කියනු ලැබේ. (ප‍්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂය = විදේශ සාධක ලැබීම් – විදේශ සාධක ගෙවීම්)
යහපාලන ආණ්ඩුව පැවති සමයේ මංගල සමරවීර මුදල් ඇමති ධුරයේ කටයුතු කරද්දී මෙම තත්වය අත්පත් කරගැනීමට රජය සමත් වුණා. 2017, 2018 යන වසර දෙකේම ප්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂයක් වාර්තා වුණා. ප‍්‍රාථමික ශේෂයේ අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් ලෙස 2017 වසරේ 0.025ක් (රුපියල් බිලියන 2.1) වූ අතර 2018 වසරේදී 0.6% (රුපියල් බිලියන 91.4ක්) දක්වා වැඩි වුණා.
2018 වසරේ රජය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කළේ රාජ්‍ය ආදායම් අඩු වීම මධ්‍යයේයි. මෙම තත්ත්වය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රාග්ධන වියදම්හි සිදුවූ පහළ යෑම උපකාර වුණා.
රාජ්‍ය ආදායම් කියන්නෙ බදු අය කිරීම් වේ. ඒ අනුව රජයට බදු ආදායම් ඉහළනංවා ගැනීමට අනිවාර්යයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් අඩුකිරීම පිළිබඳ කිසිවෙකු එඩිතරව කතාකරන්නේ නැහැ. රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා බොහෝ අය යෝජනා කරන්නේ ඇමති මණ්ඩලය අවම කිරීම හා දූෂණය නැතිකිරීම වැනි කාරණාය. එමගින් යම් රාජ්‍ය වියදම් අඩුවීමක් සිදුවන බව සැබෑයි. එහෙත්, එය ප්‍රමාණවත්ද?
දේශීය ණය ගන්නෙ නැතුව රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැහැ. හේතුව රජය නඩත්තු කරන්නට යන පඩි නඩි, බලශක්තිය, කාර්යාල ආදී වියදම් ටික එකතු කරලා බැලුවත් ඒ ටික පියවාගන්නටවත් රාජ්‍ය ආදායම මදි. ණය පොළී හා වාරික ගෙවන්නත් තියෙනවා. රජයේ ආදායමට වඩා ණය හා පොළී වැඩිවෙන්නෙ ඒ නිසා.
ඒ අස්සෙ රජය කරන තෙල් ආනයනය හා විකිණීම, විදුලි බල සම්පාදනය, ජල සම්පාදනය ගුවන් සේවා, බස් සේවා, දුම්රිය සේවා ආදියේ සිට කජු විකිණීම දක්වා වන බිස්නස්වලින් තවත් පාඩුයි. ඒවායේ පාඩු පියවන්නත් ඕනැ මහා භාණ්ඩාගාරයෙන්.
ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් 2006 වසරේ සිට 2020 වසර දක්වා ලැබූ පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශකවරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසනවා.
රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රධාන මාර්ගයක් වන්නේ මෙම පාඩු අවම කරගැනීමයි. IMF කියන්නෙ මේ බිස්නස්වලින් පාඩු නොලැබ ඉන්න කියන එක. ඒක මහලොකු දෙයක් නෙමෙයි. නිෂ්පාදන වියදමට භාණ්ඩ හා සේවා අලෙවි කරන්න. එහෙම කරන්න ගියාම නිෂ්පාදන වියදම වැඩියි. හේතුව අකාර්යක්ෂමතාව, දූෂණය, නාස්තිය හා සේවක අතිරික්තය. දීර්ඝ කාලයක් තිස්සේ ලාභ ලැබීමේ උවමනාවකින් තොරව හා පාඩු මහජන මුදලින් පියවාගනිමින් පවත්වාගෙන යාම නිසා මේ ආයතන ඒ ක්‍රමයට හැඩගැහිලා. වෙනස් කරන්නට පරම්පරාවකින්වත් පුළුවන් වෙයි කියලා හිතන්නට අමරුයි.
ආකල්ප වෙනස තේරුම් ගන්නට උදාහරණයක් විදියට රජයේ සේවකයන් අනියම් හා විවේක නිවාඩු ගැන සිතන්නේ අනිවාර්ය අයිතිවාසිකමක් විදියට. පෞද්ගලික අංශයේදී එය වැඩ කර උපයාගත යුතු දෙයක්. නිවාඩු ලැබෙන්නේ වැඩ කළොත්.
රජය බිස්නස් නොකර ඒවා පෞද්ගලික අංශයට පවරා නියාමනයට අවධානය යොමුකරන එක වැදගත් වෙන්නෙ ඒ නිසායි. ඒක කියන්නෙ අපි වගේ දේශපාලන ක්‍රියාකාරිකයන් මිස IMF නෙමෙයි. ඒකෙන් පෞද්ගලික අංශය ශක්තිමත් වෙන එක ආර්ථිකයට වාසිදායකයි. රජයට කරන්නට තියෙන්නේ බදු ප්‍රතිපත්ති වෙනස් කර බදු අයකිරීම වැඩි කර ගැනීමයි. ඒක පවා කරගන්නට දේශීය ආදායම්, සුරාබදු, රේගු වැනි දෙපාර්තමේන්තුවලට නම්, බදු අයකිරීම පවා පෞද්ගලීකරණය කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. උදාහරණයක් විදියට දැනටමත් දුම් පරීක්ෂාව ලෙස හැඳින්වෙන කාබන් බද්ද පෞද්ගලීකරණය කරලා තිබෙන්නෙ. හිතන්න දුම් පරීක්ෂාවත් රජයේ ආයතන හරහා කරගෙන ගියාය කියලා. එහෙනම් මේ වෙනකොට ඒකත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායක් වෙන්නට ඉඩ තිබුණා.
කෙස් පැලෙන තර්ක කළත් මේ සරල සත්‍යයට විකල්ප ඉදිරිපත් කරන්නට ඔය පෙරටුගාමී ලයින් එකට බැරි වෙලා තියෙනවා. ඔතනදි විකල්පය විදියට කරන්නට පුළුවන් ණය නොගෙවා, බංකොලොත් රටක් විදියට ලෝකෙ එක්ක සීමිත සම්බන්ධකම් ප්‍රමාණයක් පවත්වා ගනිමින් දේශීය ස්වයංපෝෂී ආර්ථිකයක් හදන හැටි විස්තර කරන එක තමයි. ඒක මහලොකු ආර්ථික විද්‍යාවක් නෙමෙයි. අපි වවාගෙන අපි කනවා. රට ඇතුළෙ නිෂ්පාදනය කරගන්න පුළුවන් දේ පරිභෝජනය කරනවා. පිටරට යවාගෙන ඩොලර් උපයාගන්න පුළුවන් වුණොත්, ආනයන කරගන්නවා. ඒ ගානට රටේ ආර්ථිකය කප්පාදු කරගන්නවා. ඒක ආර්ථික ජාතිකවාදයක්. ගෝලීය ආර්ථිකය, ගෝලීය නිෂ්පාදන දාම, ගෝලීය සැපයුම් දාම ආදිය විතරක් නෙමෙයි ෆේස්බුක් වගේ ගෝලීය සන්නිවේදන මාධ්‍ය පවා එතනදි අදාළ නැහැ.
පෙරටුගාමී ලයින් එකේ ඉන්න පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් පාර්ශ්වය, මොන්ලාර් වගේ රාජ්‍ය නොවන සංවිධාන, මේ වගේ බොළඳ, ජනප්‍රියාවාදී වෘත්තීය සමිති, පිළිගැනීමක් නැති ඊනියා ඇකඩමික්ස්ලා, අන්තවාදී කල්ලි, කණ්ඩායම් හා සෙසු තනි අලින්ට කරන්න තියෙන්නෙ ඔය වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලාගැනීමේ උපායමාර්ගයක් ක්‍රියාත්මක කරන එක.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.