තරුණයන්ට අවස්ථාව දෙන්නට මැතිවරණ ක්‍රමය වෙනස් කරමු

 October 6, 2022 Politics

– අජිත් පැරකුම් ජයසිංහ

2022-10-09 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයට ලියූ ලිපිය

තරුණයන් දේශපාලනයෙදි ප්‍රමුඛද? ඔවුන්ට නායකත්වය දෙන්නට ඕනැද? මං නම් හිතන්නෙ කාටවත් එහෙම පුදන්න ඕනැ නැහැ. උත්සාහ කරලා ගන්න ඕනැ. එහෙම ගන්නට පුළුවන් අය ඒ උත්සාහය තුළදි නායකත්වයත් ගොඩනගා ගන්නවා.

එහෙම ස්වෝත්සාහයෙන් නායකත්වය ගොඩනගාගත්ත අය අප අතර ඉන්නවා. චම්පික රණවක එහෙම කෙනෙක්. එයාගෙ තාත්තා අගමැති, ජනාධිපති, ඇමති, මන්ත්‍රී නෙමෙයි. මෑත වකවානුවේදී ඉදිරියට ආ පැතුම් කර්නර්ත් එහෙම කෙනෙක්.

ජවිපෙ නායකයන් එහෙම අය නෙමෙයි. ඒ අය එන්නෙ පක්ෂ අභ්‍යන්තරයෙන්. ඇතුළෙන් තෝරලා දෙන පුද්ගලයාව අනුගාමිකයන් තර්කයකින් තොරව නායකයා විදියට පිළිගන්නවා.

විමල් වීරවංශ ජවිපෙන් ඉහළට ඇවිත් දැන් වෙනම ගමනක් ගිය නායකයෙක්.

සජිත් ප්‍රේමදාසගේ පියාගෙන් ලැබුණු දෙයට වඩා ඔහු ගොඩනගාගත් දෙය විශාලයි.

නාමල් රාජපක්ෂ එන්නෙත් ජවිපෙන් වගේ පවුල් දේශපාලනයක් ඇතුළෙන්. එතනින් තෝරලා දෙන පුද්ගලයාව ඒ අනුගාමිකයිනුත් තර්කයකින් තොරව භාරගන්නවා. ගෝඨාභයව භාරගත්තෙ එහෙමයි.

ජාතික තරුණ ප්‍රතිපත්තිය අනුව තරුණ ප්‍රජාව කියන්නෙ වයස අවුරුදු 15-29 අතර අයට. ඒත්, ලංකාවෙ දේශපාලනයෙදි කොණ්ඩෙ ඩයි කරගෙන හරි පැහෙන්නෙ නැතුව හරි හිටියොත් අවුරුදු හැටක් විතර වෙනකල් තරුණයකු ලෙස පෙනී ඉන්න පුළුවන්.

ලංකාවෙ වයස අවුරුදු 15-29 අතර තරුණ ජනගහනය 23%ක් විතර වෙනවා. ඒත්, වයස අවුරුදු 15-24 අතර තරුණයන්ගෙන් 25%කට වඩා අයත් වෙන්නෙ නීට් කමියුනිටි එකට. මොකක්ද මේ නීට්? NEET කියන්නෙ Not in Education Employment or Training. ඒ කියන්නෙ අධ්‍යාපනයක, පුහුණුවක හෝ රැකියාවක නොයෙදෙන පිරිස. ඒ වයසෙදි ඒක බරපතල ප්‍රශ්නයක්. තුන් පාරක් විතර උසස් පෙළ උත්සාහ කරන තරුණ තරුණියන්, අධ්‍යාපනයෙන් හැලිලා ඔහේ පා වෙවී ඉන්න අය, අඩු වයසින් කසාද බැඳපු තරුණියන් ආදිය මේ ප්‍රජාවේ ප්‍රධාන කොටස්.

තරුණයන්ට රට භාර දුන්නොත් සුපිරියට කරයි වගේ අදහස් සමාජයේ තියෙනවා. අපිත් තරුණ කාලෙ ඒ වගේ බොළඳ අදහස් සහිතව බලය අපේ අතට ගන්න කැරැලි ගැහුවා. ගත්ත නම් මොනව කරයිද දන්නෙ නැහැ. ට්‍රයල් ඇන් එරර් හෙවත් වැරදි කරමින් ඉගෙන ගන්න ක්‍රමයට ඉගෙන ගන්නටත් ඉඩ තිබුණා. කොටි සංවිධානය එහෙම තමන්ගෙ නිල නොවන රාජ්‍යය තුළ එහෙම වුණා.

මේ කාලෙ තරුණයන් අතර අරගලයට සම්බන්ධ වුණු පිරිස් දේශපාලනික වශයෙන් වැදගත්. ඔවුන් සමග කතාබහ කරන විට ඔවුන් ඉන්න උද්දාමය පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අපි ගෝටව ගෙදර ඇරපු කට්ටිය, අපට ඕනැ නම් අපි ඕනැ එකෙකුට අරිනවා, ජනතාව නැගිටලා ආවම බලාගනිමු වගේ මානසිකත්වයක තමයි ඉන්නෙ. ඔවුන් අතර දකින්නට ලැබෙන්නෙ කඩා බිඳ දමා ඉබේ ගොඩනැගෙන තෙක් බලාඉන්න ලක්ෂණයක්. ඒත්, එහෙම ඉබේ ගොඩනැගෙනවද? මේක රෝසා ලක්ෂම්බර්ග් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා. සමාජවාදය ගොඩනගන්නට ඕනැ. ඉබේ ගොඩනැගෙන්නෙ නැහැ. එහෙම නොකළොත්, ම්ලේච්ඡත්වය කරා යන්නටත් පුළුවන්.

අරාජිකවාදය කරා යොමුවී තිබුණු ලංකාව එයින් ගොඩගන්නට වගකීම හා අවදානම භාරගෙන නායකත්වය දෙන්නෙ රනිල් වික්‍රමසිංහ. ඔහු තරුණයකු නෙමෙයි. තරුණභාවය ප්‍රවර්ධනය කරන කිසිම නායකයෙකු මේ අවදානම ගත්තෙ නැහැ. එහෙම ගන්න ඉදිරියට ආවා නම් ආවෙ, ඩලස් අලහප්පෙරුම. වයස 63යි.

තරුණයන්ට, වැඩිහිටියන්ට, කාන්තාවන්ට, එල්ජීබීටී අයට, කුල පීඩිතයන්ට, සුළුතර ජාතීන්ට, වෘත්තිකයන්ට, උගතුන්ට ආදී සැමට උත්සාහ කරලා පාර්ලිමේන්තුවට එන්නට පුළුවන් විදියට මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්නට උත්සාහ කරන්න ඕනැ. දැනට තියෙන ක්‍රමය යටතේ මහජන නියෝජිතයකු වෙන්නට අතිවිශාල ධනස්කන්ධයක් අවශ්‍යයි. කිසිම පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. තරුණයින් ඉදිරියට එන්නට නම් පවුලේ කෙනෙකු දේශපාලන නායකයකු වෙන්නට ඕන. ජනාධිපති රනිල් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ජනමත විචාරණයකට යන බවක් කිව්වා. ඒකට ප්‍රමුඛතාව දෙන එක පාඩු නැහැ. ඒක නොකර තරුණ අසහනය දුරුකරන්නත් බැහැ. ක්‍රමය පවත්වාගෙන යන්නටත් බැහැ. හොඳ පාර්ලිමේන්තුවක් තිබුණොත් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් හදාගන්න පුළුවන් වේවි.

රනිල්ගෙ ඒ යෝජනාව එහෙමම යට ගියා. ඒකෙ දේශපාලනික වැදගත්කම බොහෝ අය හරියට වටහාගත්තෙ නැහැ. තියෙනවාය කියල හිතන සුළු වාසිය පාවිච්චි කරලා ආසන සංඛ්‍යාව වැඩිකරගන්නට හිතමින් මහ මැතිවරණයක් ඉල්ලන ජවිපෙ, සජබ වගේ පක්ෂ ඇයි එහෙම කරන්නෙ? මැතිවරණ ක්‍රමය වෙනස් කළොත්, අරගලයේ තරුණ බලවේග ඔවුන්ට අභියෝගයක් වෙන්නට ඉඩ තියෙන නිසාද? රනිල්ගෙ යෝජනාව නැවත ඉදිරියට ගන්නට ඕනැ.

මහ මැතිවරණයකට කලින් මැතිවරණ ක්‍රමය වෙනස් කරනු!

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා