මං දැන් පොහොට්ටුවෙද?

 

අජිත් පැරකුම් ජයසිංහ

පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු!

රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා.

මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි නැතුව රාජපක්ෂලාගේ හොරකම් සම්බන්ධයෙන් කියන ගණන් හිලව් ප්‍රබන්ධ මං විශ්වාස කරන්නෙ නැහැ.

රාජපක්ෂලා වගේම එක්සත් ජාතික පක්ෂය/ සමගි ජන බලවේගයත් හොරකම් කළා. මහබැංකු වංචාව ඔප්පු කරන්නට බැරිවුණත්, ඒක සිදුවුණා.

හොරුන් නොමැති සබන් වගේ පිරිසිදු පක්ෂ බව කියන ජවිපෙ/ ජාජබ, පෙසප වැනි පක්ෂවලට ඍජු හොරකම් ගැන චෝදනා අඩුයි. ඔවුන් කරන්නෙ හොරකම් කරන අයගෙ ෆයිල් පෙන්නලා ඔවුන්ගෙන් කප්පම් ගැනීම. එහෙම නැතිනම් විවිධ දේශපාලන කොන්ත්‍රාත්. මේවා හැඳින්වෙන්නෙ ආධාර කියලා. ඒත්, තමන්ට ආධාර කරනවාය කියන අයගෙ නම් ඔවුන් ප්‍රසිද්ධ කරනවාද? නැහැ. ප්‍රසිද්ධ කරන්න බැහැ.

දේශපාලන පක්ෂවලට හා දේශපාලකයන්ට හොරකම් කරන්නට සිදුවෙලා තියෙන ප්‍රධාන හේතුව මොකක්ද? එ තමයි පවතින මැතිවරණ ක්‍රමය. ඒ යටතේ පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණ ජයගන්නට අතිවිශාල ධනස්කන්ධයක් වැය කළ යුතුයි. කොච්චර දක්ෂ වුණත්, සල්ලි නැතුව ඡන්දෙ ඉල්ලන්න ජවිපෙන්වත් අවස්ථාවක් දෙන්නෙ නැහැ.

රාජපක්ෂලා තමයි තමන් හොරකම් කරපු හා ඉන්පසු ආයෝජනය කළ සල්ලිවලින් වැඩිපුරම මැතිවරණවලට හා දේශපාලනයට වියදම් කරන්නෙ. ඔවුන්ගෙ කරේ එල්ලිලා බලයට ඒම පහසුයි. ඩලස්, ජීඑල්, විමල්, උදය, වාසු, ගොඩහේවා, චරිත හේරත් වගේ දැන් රාජපක්ෂලාට අරින්න වෙහෙසෙන දේශපාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන් හැදුණේ වැඩුණේ රාජපක්ෂලාගේ සෙවණේ වීම. ඔවුන්ට තනිව පැවැත්මක් තිබෙනවාද යන්න ඔවුන් ඔප්පු කර පෙන්විය යුතුයි.

දේශපාලකයන් හම්බ කරන්නේ මැතිවරණ වෙනුවෙන් වියදම් කරන්නට විතරක් නෙමෙයි. හොරකමට යොමුවුණාම ඒක වෙනම ලෝකයක් විවෘත කරනවා. රාජපක්ෂලා මුළු රටම හොරුන් බවට පත්කළා. වැඩකට නැති රජයේ රැකියා ඒ සඳහා ප්‍රධානතම ක්‍රමයයි. රජයේ පාසල් කම්කරු තනතුරකට යන පන්දම්කාරයකු දේශපාලකයාට වඩා හොඳ යයි ඔබ හිතනවාද? නැහැ. එම පුද්ගලයා බොහෝ විට හරිහමන් වැඩක් නොකර අවුරුදු 20-25 වැටුප් අරගෙන තව අවුරුදු 20-25 විශ්‍රාම වැටුප් ද ගන්නවා. රජයේ කොන්ත්‍රාත්, සැපයුම් ආදියත් එහෙමයි. ආර්ථිකය දිව්වෙ මේ ක්‍රියාවලිය පදනම් කරගෙන. දේශපාලනය හැඩගැසුණෙ ඒක පවත්වාගෙන යන්න. සමාජය පිළිගත්තෙ ඒ ක්‍රමය. ඒකට තමයි රාජපක්ෂවාදය කිව්වෙ.

දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.

රනිල් ව්‍යාපෘතිය රටේ විප්ලවීය වෙනස්කම් රැසකට දැනටම මුලපුරලා තියෙනවා.

1. සහනාධාර වෙනුවට ආනයන/ නිෂ්පාදන පිරිවැය අනුව ඉන්ධන, විදුලිය, ජලය, පොහොර, ආහාර ද්‍රව්‍ය ආදිය මිල කිරීම.

2. ඍජු බදු වැඩිකිරීම. වක්‍ර බදු ද ඇතුළුව රජයේ බදු ආදායම් වර්ධනය කිරීම.

3. රජය පවත්වාගැනීම සඳහා ණය මත රඳාපැවතීම අඩුකිරීම. රාජ්‍ය ආදායම් හා වියදම් අතර තුලනයක් නිර්මාණය කිරීමට මුලපිරීම.

4. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය හා පෞද්ගලික අංශයට, වෙළඳපොළට ප්‍රමුඛතාව ලබාදෙන ප්‍රතිපත්ති.

5. රජය නියාමන භූමිකාව නැවත සොයාගැනීමට උත්සාහ කිරීම

මේ වෙනස්කම් වාමාංශිකයන්ගෙ ඊනියා විප්ලවීය සටන් පාඨවලට වඩා ගැඹුරු සමාජ වෙනස්කම්වලට හේතු වෙනවා. මේ සියල්ල සිදුවන්නෙ දරුණු ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදයක් මැද.

මේ විප්ලවීය ක්‍රියාමාර්ගවලට එරෙහි ප්‍රතිවිප්ලවයේ කොඩිය අතට අරගෙන ඉන්නෙ කවුද? පැරණි රාජපක්ෂවාදී ක්‍රමය රැකගැනීම සඳහා මේ සියලු විප්ලවීය ක්‍රියාමාර්ගවලට විරුද්ධ කවුද? ප්‍රධාන බලවේග තමයි කාදිනල් – සෝභිත – නීතීඥ සංගමය – බෝන් අගේන් – සුමන්තිරන් – හකීම් – ෆොන්සේකා – ගුනරත්නම් (පෙසප) – සජිත් – ඩලස් ඇරියස්කාර දේදුනු සන්ධානය. අනුර කුමාරට අභියෝග කරන ජවිපෙ පිරිසකුත් ඒ පැත්තට අදිනවා. මේ දේදුනු සන්ධානයට කඩාකප්පල්කාරීත්වය කරන්නට පුළුවන්. ඒත්, වත්මන් ආණ්ඩුවට විකල්පයක්වත් යෝජනා කරන්නට බැහැ. ඒ වගේම මළාට ආණ්ඩුවක් කරන්න බැහැ. ඩලස් ජනාධිපති නිලවරණෙන් පැරදුනේ ලංකාවෙ වාසනාවකට. ගත්ත නං කොරයි එහෙනං.

මේ මොහොතෙ රනිල් ව්‍යාපෘතියෙ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව. එක්සත් ජාතික පක්ෂයවත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ රංගෙ බණ්ඩාර වැනි අය හිතාගෙන ඉන්නවා රනිල් පොහොට්ටුවට ගේම දුන්නාය, දැන් තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්නය කියලා. එජාප පොහොට්ටුව හා අනෙක් පක්ෂ එක්ක පුළුල් සන්ධානෙකින් ආවත් එජාප අපේක්ෂකයන් 10කටවත් ඊළඟ මැතිවරණයක් දිනාගන්නට ලැබෙන්නේ නැති බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. රනිල් කියන්නෙ මේ වෙනකොට පුළුල් අවකාශයක්. එජාපට ඕනැ නම් රනිල් එක්ක එකතු වෙන්න පුළුවන්. නැතිනම්, සජබට යන්නට පුළුවන්. මොක කරන්න වුණත්, සතිපතා පුවත්පත් සාකච්ඡාවක් තියාගන්නට හරි ඒ පක්ෂය හැකියාව ගොඩනගාගත යුතුයි.

පොහොට්ටුව රනිල් එක්ක ඉන්නෙ උපයෝගිතාවාදීව විය හැකියි. ඒත්, ඔවුන්ගේ පැවැත්ම සඳහා මේ වන විට රනිල්ගේ නායකත්වය ඉතා වැදගත්. ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වන තරමට ඔවුන් රනිල්ට සහාය දීමත් වැඩිවෙනවා. පොහොට්ටුවට එරෙහිව ගෙවල් ගිනිතැබීම්, දේපල මංකොල්ලකෑම් හා මිනීමැරීම් ප්‍රවර්ධනය කරන ත්‍රස්ත ප්‍රවණතාව මම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. අප විනාශ කළ යුත්තේ රාජපක්ෂලාව ශාරීරිකව නෙමෙයි. රාජපක්ෂවාදයයි. එය රාජපක්ෂවරුන්ම කරනවා නම් එයට දිරිගැන්විය යුතුයි.

සිදුවෙන දේ මිසක් සිදුවෙයි කියා බලාපොරොත්තු වෙන දේ මට වැඩක් නැහැ. මං ජීවත් වෙන්නෙ වර්තමානය එක්ක. රනිල් ව්‍යාපෘතිය දැනට ඉතා සාර්ථකයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා