පිංතූර හා යථාර්ථය
අජිත් පැරකුම් ජයසිංහ
පිංතූර බොරු කියන්නේ නැත. එසේම, සම්පූර්ණ කතාවම කියන්නේ ද නැත. පිංතූර වනාහි පසුවන කාලයේ වාර්තාකරණයක් හා බාහිර සාක්ෂියක් පමණි.
– පෝල් ඕස්ටර්, ඇමරිකානු ලේඛක හා සිනමා අධ්‍යක්ෂ
චලනය වන සිදුවීම් අතරමැද එක් නිශ්චල ඡායාරූපයක් මත පදනම්ව යථාර්ථය විග්‍රහ කිරීමට උත්සාහ කරන අය ඉහත දක්වන ලද ප්‍රකාශය කෙරෙහි සැලකිලිමත් වන්න.
පසුගිය දිනවල බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හා දුම්රිය මගියකු සිටින ඡායාරූපයක් ගැන බොහෝ විග්‍රහ ලියැවිණි. එහිදී එම තරුණ දුම්රිය මගියා ඇමතිවරයාට ගරු නොකිරීම සම්බන්ධයෙන් ඇතැමෙකු ඔහුට ප්‍රශංසා කළහ.
එහෙත්, එම තරුණයා ඊට මොහොතකට පෙර ඇමතිවරයාට ප්‍රතිචාර දැක්වූ ආකාරය හෝ ඉන්පසු ප්‍රතිචාර දැක්වූ ආකාරය අප දන්නේ නැත.
ඡායාරූපයක ඇති අනෙක් ලක්ෂණය වන්නේ ක්‍රොප් කිරීමේ හැකියාවයි. එනම් පසුබිමෙන් කපා වෙන් කර ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එය ව්‍යාජ සංදර්භයක් නිර්මාණය කිරීමකි.
ඉන්ස්ටග්‍රෑම් හා වෙනත් ඇප් මගින් ඡායාරූපවල වර්ණය විචිත්‍ර කළ හැකිය. එය යථාර්ථය නොවේ. ෆොටෝෂොප් වැනි මෘදුකාංගවලින් ඡායාරූපයක් මුළුමනින්ම පාහේ ප්‍රතිනිර්මාණය කළ හැකිය.
ෆේස්බුක් අවකාශයේ පැහැපත්, නිකැළැල් සුන්දර රූසපුවෙන් යුක්තව දක්නට ලැබෙන අය සැබෑ ජීවිතයේදී හමුවූ විට ඇතැම්විට ඔබට හඳුනාගැනීමට ද දුෂ්කරය.
අප සියලුදෙනා අප කැමැති ආකාරයෙන් යථාර්ථය දකින්නට උත්සාහ කරන්නෙමු. අතීතයේදී මෙන් නොව, සමාජ මාධ්‍ය යුගයේදී අප සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාගත හැකිය. අප කැමති ආකාරයෙන් අපව වැඩි පිරිසක් වෙත ඉදිරිපත් කිරීමට අපට හැකිය. එය අපූරු තත්වයකි.
මෙහි තිබෙන බරපතලම ගැටලුව වන්නේ අප කරන බොරුවලට අන් අය රැවටීම නොව අපම රැවටීමයි.
සමාජ මාධ්‍ය ඉදිරිපත් කිරීම් අතරින් යථාර්ථය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ඥානය ගොඩනගාගන්නට උත්සාහ කරන්න. එය නූතන යුගයේ ජීවන කුසලතාවකි.
ඡායාරූපය තරම් ලස්සන යථාර්ථයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න. එය දේශපාලනයයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.