ජනාධිපති සමාව හා රන්ජන් රාමනායක


 August 11, 2022 Law People

අජිත් පැරකුම් ජයසිංහ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය. ඒ අනුව, බොහෝ දුරට, ඉදිරි සතියේදී රන්ජන් රාමනායකට නිදහස ලැබීමට ඉඩ තිබේ.

රන්ජන් රාමනායක දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම,යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම මත පදනම්ව සිදුකරනු ලබන මෙම ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කළ බවත් රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීම හේතුවෙන් අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ජනාධිපති සමාව ලබා දිය යුතු බවත් විජයදාස රාජපක්ෂ සඳහන් කළේය. රන්ජන් රාමනායකගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බව ද ඔහු ප්‍රකාශ කළේය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධානවලට අමතරව, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදුකළ යුතු යයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද නිර්දේශ අතර “ජනාධිපති සමාව ලබාදිය යුත්තේ නීති මගින් පිහිටුවන ලද, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශානුකූලව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ව්‍යූහයක නිර්දේශ පරිදි” බව ද දැක්විණි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගි අගෝස්තු 2දා මාධ්‍යවලට ප්‍රකාශ කළේ ජනාධිපති සමාව පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් කළ යෝජනා සාමාන්‍ය නීතියකින් හෝ චක්‍රලේඛයකින් කළ යුතු බවය.

ජනාධිපති සමාව ලබාදීම සිදුවන්නේ ඉතාම අවිධිමත් ආකාරයකටය. මෑත කාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදෙන ලද ජනාධිපති සමාව අධිකරණය විසින් අත්හිටුවා නිසි ක්‍රමවේදය යටතේ එය සිදුවුණිදැයි පරීක්ෂා කරනු ලැබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන් ජූඩ් සමන්තට ජනාධිපති සමාව ලබාදුන් ආකාරය දැඩි මතභේදයට ලක්වී තිබේ. එහිදී අයථා ක්‍රියා සිදුවී තිබෙන බව මෛත්‍රීපාල සිරිසේන විසින් පසුව කරන ලද ප්‍රකාශවලින් ඇඟවේ. ජනාධිපති සමාව ලබාගත් සැණින් එම පුද්ගලයා රටින් පිටවී තිබෙන බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, එස්.බී. දිසානායක වැනි අය ද ජනාධිපති සමාව ලැබූ ‘ප්‍රභූවරු’ වෙති. ජේ.එන්. තිස්සයිනායගම් ජනමාධ්‍යවේදියා ඇතුළු තවත් අයට ද ජනාධිපති සමාව ලැබී තිබෙන නමුදු දිළිඳු හෝ බලයෙන් අඩු අයෙකුට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා විධිමත් හා ඵලදායී ක්‍රමවේදයක් නැත.

සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දුට 2009දී ජනාධිපති මහින්ද රාජපක්ෂ සමාව දී නිදහස් කළේ ය.

මෙම මරණ දඬුවම සුවිශේෂ එකකි. මක් නිසා ද යත්, 2004දී විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමෙන් පසු රජය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීර‍ණයෙන් පසු අධිකරණය විසින් නියම කරන ලද පළමු මරණීය දණ්ඩනය මෙයයි. මේ සමග ඇය සමග මිනීමැරම සිදු කළ තවත් තිදෙනෙකු ද ජූරියේ සාමාජිකයන් සත් දෙනාගෙන් සයදෙනෙකු විසින්ම වරදකරුවන් බවට තීරණය කරනු ලැබීම හේතුවෙන් මරණ දඬුවමට ලක්වූහ. 

සැමියාගේ අනියම් බිරිය ඇගේ සේවිකාව ද සමග ඝාතනය කර මරණීය දණ්ඩනයට ලක්වී යන්තම් වසර හතරකින් ගෙදර ම නැවත පදිංචි වීමේ වරම් ලද මේ සුවිශේෂ ගැහැනිය එවකට නැවත පදිංචි කිරීමේ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යනුකූල භාර්යාවයි.

ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.

ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණුන් දෙදෙනෙක් ද වූහ.

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බව දක්නට ලැබේ. එය නීතිගත කළ යුතුය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා