ආනයන තහනම සංචාරක කර්මාන්තයට බාධාවක්

 

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 3000 ඉක්මවා යාමත් සමග සංචාරක ව්‍යාපාරය වේගවත් ලෙසින් යථා තත්ත්වයට පත්වන බව පෙනී යන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සේවය කරන ජීවන ප්‍රනාන්දු පසුගියදා ෆේස්බුක්හි සටහනක් තබා තිබිණි. ඔහු මෙසේ ද පැවසීය: “මෙරටට පැමිණෙන සංචාරකයකු දිනකට ඩොලර් 173.8 ක ප්‍රමාණයක් වියදම් කරනා අතර සංචාරකයකු මෙරට රැඳී සිටිනා කාලයේ සාමන්‍යය දින 10.8 කි මේ අනුව එක් දිනකදී සංචාරකයන් 3000ක් පැමිණි විට ඔවුන්ගෙන් ඩොලර් මිලියන 5.6ක මුදලක් ජාතික ආර්ථිකයට ගලා එයි. සංචාරක ව්‍යාපාරයේ නැගිටීම ශ්‍රී ලංකාව පෙලෙනා විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට මහත් රුකුලක් වනු ඇත.”

පසුගිය 24දා සංචාරක අමාත්‍යාංශය පැවසූ පරිදි 2021 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් 134,000 ඉක්මවන බවයි. දෙසැම්බර් මාසයේදී 50,000කට අධික සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

සංචාරක අමාත්‍යාංශය 2025දී මිලියන 7ක සංචාරක ඉලක්කයක් තබා තිබේ. එමගින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10කි. පාස්කු ප්‍රහාරය සිදුවන්නට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 21 ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණියහ. රටට ඩොලර් බිිලියන හතරකට ආසන්න ආදායමක් ලැබිණි. ලක්ෂ පහකට ආසන්න පිරිසක් සංචාරක කර්මාන්තය තුළ ඍජුව හා වක්‍රව රැකියාවල යෙදුණහ. 2018 පාස්කු ප්‍රහාරය හා ඉන්පසු කොවිඩ්-19 නිසා සංචාරක කර්මාන්තය කඩා වැටිණි.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයට තිබෙන විසඳුම් අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වේ. විදේශ සංචාරකයන්ට දෙවියන්ට මෙන් සැලකීම ගුවන් තොටුපළේ සිටම දැනටමත් ආරම්භ වී තිබෙන බව අප සමග කතා කළ සංචාරක මාර්ගෝපදේශක ධම්මික වික්‍රමආරච්චි පැවසීය. ඔහු පවසන පරිදි මේ වන විට සංචාරක කර්මාන්තයේ යෙදී සිටි මාර්ගෝපදේශක රියදුරන් වැනි සුළු ව්‍යාපාරිකයන් වාහන නැතිකමින් පීඩා විඳිති. පසුගිය කාලයේ ඔවුන් බොහෝදෙනෙකු ආදායම් නොමැතිකමින් වාහන විකුණා දැමූහ. දැන් වාහන මිල අනුව වාහන සේල්වලින් එම වාහනම ආපසු මිලදී ගැනීමට අති විශාල ධනයක් අවශ්‍යය. වාහන කුලියට දෙන ස්ථානවල කුලිය සංචාරක සමාගම්වලින් ඔවුන්ට ලබාදෙන කුලියට වඩා ඉහළය. මේ අතර තිබෙන වාහන ද දැන් පරණය.

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත.

අපට සංචාරක කර්මාන්තය අවශ්‍ය නම්, අපි ගෝලීය ආර්ථිකයත් සමග සුබවාදී මනසකින් යුතුව සම්බන්ධ විය යුතුය. අනවශ්‍ය ආනයන වළක්වාගැනීමට නම් අප බුද්ධිමත් විය යුතුය. පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පාරිභෝජනය ප්‍රවර්ධනය කිරීම දේශපාලනික අරගලයකි. තහනම් කිරීම්වලින් පුරවැසියන් තැනිය නොහැකිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා