මහින්ද රාජපක්ෂ නියෝජනය කරන රටයාමේ පෙරේත පාරිභෝජනවාදය

 

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව දූපතක් වීම නිසාදෝ ලාංකිකයන් විදේශගත වීමට මහත් ඇල්මක් දක්වති. එසේම, ලංකාවෙන් විදේශගත වීම තරමක් දුෂ්කර කාර්යයකි. අතීතයේ නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ටිකට් රැගෙන රාමේශ්වරම් දක්වා යාමේ හැකියාව තිබිණි. තලේමන්නාරම දක්වා දුම්රිය මාර්ගය හදා තිබුණද, යුද්ධය අවසන් වී 12 වසරකට පසු පවා තලේමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වා අතීතයේ තිබුණු බෝට්ටු සේවය ආරම්භ කිරීමට අපි අසමත් වී සිටින්නෙමු.

රට යාම ලාංකිකයන්ට වරප්‍රසාදයකි. හේතුව රට යන ලාංකිකයන් ආපසු ලංකාවට එයිදැයි පවතින සැකය නිසා ලොව බොහෝ රටවල් ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට මැලිවීමයි. එසේම, ගුවන් ටිකට්පත් සඳහා ද අතිවිශාල වියදමක් දැරීමට සිදුවේ. සාමාන්‍ය ලාංකිකයන්ට විදේශගත වෙන්නට ලැබෙන්නේ මැද පෙරදිග රැකියාවක් හෝ ජීවිත කාලයටම වරක් කරන දඹදිව චාරිකාවක් වැනි අවස්ථාවකදීය. ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ රටෙන් කෙසේ හෝ පළායාමට බලාසිටින ඇතැම් ලාංකිකයන් බෝට්ටුවලින් හෝ යති. ලංකාවේ පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් කරදර බව කියා දේශපාලන රැකවරණ ලබාගන්නා පිරිසක් ද සිටිති. (ලිපියේ ඉතිරිය ඡායාරූ‍පයෙන් පසු)

එහෙත්, දේශපාලකයන්ට, රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවන්ට හා රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට එසේ නැත. ඔවුන්ට අනුන්ගේ සල්ලිවලින් විදේශගත වීමේ අවස්ථාව තිබේ. එබැවින් ඔවුන් විදේශගත වීමේ දැඩි ගිජුකමකින් සිටිති. විදේශගත වන බව තමා ජීවත් වන සමාජයට පෙන්වීමට ද එතරම්ම ගිජු වෙති. එයට හේතුව, ලාංකිකයන්ගෙන් 90%ක් පමණ ජීවිතයේ කිසිදු දිනෙක විදේශගත වී නැති තත්වයයි.

දේශපාලකයන්, රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවන් හා රාජ්‍ය නිලධාරීන් ද වැඩිදෙනෙකු විදේශගත වන්නේ මහින්ද රාජපක්ෂ ඉතාලි ගොස් සහභාගි වූ රැස්වීම වැනි සිල්ලර රැස්වීම් හා උත්සවවලටය. උත්සව ධනවාදය යනු නූතන පාරිභෝජනවාදයේ ප්‍රධාන කොටසකි. ඒ අතරිනුත්, පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය විශේෂය. හේතුව, මංගලෝත්සව මෙන් නොව, ඒවා පවත්වන්නේ කිසියම් ප්‍රශ්නයක් නිසා පීඩාවට පත්වී සිටින ජනතාවට සේවය කිරීමටය කියා රැස්කරනු ලබන පොදු අරමුදල්වලිනි. ලොව බොහෝ රටවල මෙම අවස්ථා ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවන් පිරිස එකම පිරිසකි. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අතර මෙම විදේශගත වීමේ අවස්ථා බෙදීයාම ඊට වඩා සාධාරණය.

කොවිඩ්-19 සමග ඔප්පු වූ වැදගත් කරුණක් වන්නේ මේ ජාත්‍යන්තර රැස්වීම් පවා සූම් වැනි අන්තර්ජාල වේදිකාවන් ඔස්සේ සාර්ථක ලෙස පැවැත්විය හැකි බවයි. ඒ සඳහා යන වියදම විවිධ රටවලින් නියෝජිතයන් කැඳවා රැස්වීම් පවත්වන විට යන වියදමෙන් දසලක්ෂයෙන් පංගුවකටත් වඩා අවම විය හැකිය. එහෙත්, එම තත්වය පාරිභෝජනවාදයට පටහැණිය.

උත්සව ධනවාදය ගැන මෙම ලිපිය කියවන්න

සමාජය හැඩගැසී තිබෙන්නේ අධික සම්පත් ප්‍රමාණයක් නාස්ති කරමින් ගුවනින්, ගොඩබිමින් දුරගමන් ගොස්, හෝටල්වල නැවතී, ඉහළපෙළේ ආහාරපාන බුදිමින් දුප්පත්කම නැතිකිරීම, ප්‍රචණ්ඩත්වය නැතිකිරීම, මානව අයිතිවාසිකම් තහවුරු කිරීම, පරිසරය සංරක්ෂණය කිරීම වැනි මාතෘකා ගැන කතාකිරීමටයි. ඒ සඳහා වැයකරන්නේ එම ප්‍රශ්නවලින් පීඩාවට පත් පුද්ගලයන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා එක්රැස් කරන අරමුදල්වලිනි.

රට යාම නම් පාරිභෝජනවාදී ජීවිතයට ඇබ්බැහි වූවන් දැන් ඉන්නේ නලිය නලියාය. උන්ට ගුවනින් නොගොස්, පිටරට හුළං නොවැදී ඉන්නට බැරිය. මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරයෙන් සංකේතවත් වන්නේ එයයි. රටක් දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින වකවානුවක ඩොලර් වියදම් කරමින්, පවුලේ අය, හිතවතුන්, දොස්තරලා, වෛද්‍ය උපකරණ ආදිය රැගෙන මහින්ද ඉතාලියේ කරන සංචාරයෙහි තිබෙන දේශපාලනික කියවීම එයයි. ඔහු කරන්නේ වැදගත් නියෝජනයකි. එනම්, සමාජයේ වරප්‍රසාදිත කොටසකගේ පාරිභෝජනවාදී අවශ්‍යතාවකි. (සෞඛ්‍ය අභියෝග සහිත පුද්ගලයකු බව වාර්තා වන මහින්ද රාජපක්ෂ මෙවැනි නිරර්ථක ගමනක් යාම පිටුපස රාජපක්ෂ පවුලේ වෙනත් දේශපාලනික, ව්‍යාපාරික, ආගමික අරමුණු තිබිය හැකිය. රාජපක්ෂලා යනු අත ලෙවකන්නට මී කඩන අය නොවේ.)

මේ වනාහි 2019ට පෙර පැවති පාරිභෝජනවාදී ලෝකයට ආපසු යාමේ මිනිස් පෙරේතකමයි. එහෙත්, කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් මිනිස් සමාජයට උගන්වන පාඩම වන්නේ අප අධි පාරිභෝජනවාදයෙන් මිදුණු අලුත් යුගයක් වෙත යා යුතු බවයි. අභ්‍යවකාශයේ සංචාරක ගමන් යන්නට තරම් විද්‍යාව දියුණු වුව ද, පුංචි වයිරසයකට ඒ සියලු ජයග්‍රහණයන්ට පදනමින්ම අභියෝග කළ හැකි බවයි. විද්‍යාව මේ අභියෝගයද ජයගනු ඇත. එහෙත්, මේ අවසන් අභියෝගය නොවේ.

අධි පාරිභෝජනවාදයෙන් නොමිදුණු ලෝකය සදා දුකකි. මහින්ද රාජපක්ෂ විසින් සංකේතවත් කරනු ලබන කෑදර දැක්ම අප විසින් පරාජය කළ යුතුව තිබේ.

මේ ලිපියත් කියවන්න:

වසංගතයට විසඳුම නවීන විද්‍යාවද?

Adapted from praja.lk


Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය