ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

 

ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි.

දේශපාලනික වශයෙන් ඇමරිකන් විරෝධීන් ලෙස කටයුතු කරන බලවේගයක් ලෙස නිරූපණය වන බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ යථාර්ථය ෆයිසර් හා සිනොෆාම් එන්නත් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනේ. මේ අතර,

කියවන්න: ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා

සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහන්වලදී ෆයිසර් එන්නත සොරකම් කර තම ඥාති හිතවතුන්ට ලබාදෙන ආකාරය පසුගියදා වීඩියෝ කර මාධ්‍යවලින් ප්‍රදර්ශනය කළේ කිසියම් සැලැස්මකට අනුව යයි මම සිතමි. ඒ සැලැස්මේ ඊළඟ පියවර ලෙස දැන් ෆයිසර් එන්නත ලබාදීම සෞඛ්‍ය අංශවලින් ඉවත් කර හමුදාව වෙත ලබාදී තිබේ.

ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසූ බව වාර්තා විය.

හමුදාව එන්නත් දෙන තැන්වල ගොස් ඒවායේ අඩුපාඩු සොයන්නට පුළුවන් උකුස්සන් රටේ නැත.

රජයේ මෙම පියවරෙන් වෛද්‍යවරුන් දැඩි අවමානයකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළකරන අදහස්වලින් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, එන්නත්කරණය සම්බන්ධ දැවැන්ත අවුලක් රටේ නිර්මාණය කිරීමට වෛද්‍යවරුන් දායක වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය අවුල් ජාලයක් බවට පත්කර, ප්‍රතිපත්තියකින් තොරව, දැන හැඳුනුම්කම් මත එන්නත ලබාදීමේ ක්‍රමයක් නිර්මාණය කළේ කවුරුද? දේශපාලකයන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වන වෛද්‍යවරුන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් වයස අවුරුදු 60ට වැඩි අය හා බහුවිධ රෝගාබාධ සහිත පුද්ගලයන් එන්නත් නොකර, එන්නත්කරණ වැඩසටහන විකෘති කිරීමේ ප්‍රතිඵල අපි තවමත් භුක්ති විඳිමින් සිටින්නෙමු.

මෙම සටහන තබන දිනයට පෙර දිනයේ පවා කොවිඩ්-19 හේතුවෙන් මියගිය අති බහුතරය වයස අවුරුදු 60ට වැඩි අයයි. ඔවුන් අතරින් ද බහුතරය තවමත් එන්නත ලබාගැනීමට අවස්ථාව නොලැබුුණු අයයි.

සෞඛ්‍ය අංශ වගකීම් විරහිත ලෙස ක්‍රියාකිරීමේ වාසිය භාවිතා කරමින් ජනාධිපතිවරයා හා හමුදාපතිවරයා එන්නත්කරණය හයිජැක් කර තිබේ. සෞඛ්‍ය අංශ හමුදාවෙන් ආදේශ කළ හැකි යයි සිතීම ම දේශපාලනික මුග්ධත්වයකි. කුමන පාලන ක්‍රමයක් යටතේ වුව, සමස්ත රාජ්‍ය සේවයම හමුදාකරණය කළ නොහැකිය. එසේම, ශ්‍රී ලංකාව වැනි දිගුකාලීන ප්‍රජාතාන්ත්‍රික ඉතිහාසයක් ඇති රටවල රාජ්‍යය මත හමුදා ආධිපත්‍යය පිහිටුවීම ද පහසු නැත.

එමෙන්ම, මෙවැනි තර්ජන හමුවේ රාජ්‍ය සේවයට ද කලින් කළ අන්දමින් වගකීම් විරහිත වීමේ නිදහස අහිමි වනු ඇත. කාර්යක්ෂම, ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් අරගල කරමු.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා