එන්නත ගත්තාම ඉන්න ඕනැ විදිය (WHO උපදෙස් ඇසුරෙන්)


 February 26, 2021 Health

මේ දිනවල රටේ ඇතැම් තැන්වල කෝවිඩ්-19 එන්නත ලබාදෙනවා. එන්නත ලබාදෙන ආකාරයේ කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මහජනතාවට රස්තියාදු වෙන්නට සිදුවෙලා. බලපුළුවන්කාරයන් පෝලිම් පැන ගොස් එන්නත ලබාගන්නවා.

කෙසේ වෙතත්, මහජන මුදලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කරන්නටත්, එය ජනතාවට ලබාදෙන්නටත් රජය තීරණය කර අවසන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකසාගත යුතුයි. ඒ ප්‍රතිපත්තිය කුමක්දැයි පුරවැසියන් දැනගත යුතුයි. ලංකාව කියන්නේ සෞඛ්‍ය සේවකයන්ටත් කලින් රටේ දේශපාලන නායකයන් හොරෙන්ම එන්නත ලබාගත් බව පෙනෙන රටක්. දේශපාලකයන් මහජනතාවට කලින් විලිලජ්ජා නැතුව කලින්ම එන්නත ලබාගත් රටක්. ඒ නිසා පුරවැසියන්ට තමන්ගේ මුදලින් ආනයනය කරන ලද එන්නත ලබාගන්නට පවා සටන් කරන්නට සිදුවෙලා. එය කණගාටුදායක තත්වයක්. එහෙත්, එම තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.

එන්නත ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි දේ ගැන අවබෝධ කරගන්න. මෙම තොරතුරු සඳහා මූලාශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

එන්නත්වල විවිධ අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. කල් තබාගන්නා ද්‍රව්‍ය, ස්ථායීකාරක, මිශ්‍ර වීම පහසු කරන රසායනික, අවෂේප, සහ සමහර අවස්ථාවල තනූකකාරක හෝ උපකාරක රසායනික එහි අඩංගු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන මූලාශ්‍ර පෙන්වා දෙනවා. එහෙත්, එහි තිබෙන වඩාත්ම වැදගත් දෙය වන්නේ ප්‍රතිදේහජනකයි. ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන ක්‍රියාකාරී සංඝටකය එයයි.

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට එන්නත් ලබාදුන් පසුව පවා ඔවුන්ට අමාරුකම් ඇතිවෙනවා. ඒත්, ඔවුන්ට ඒවා කියාගන්නට බැහැ. කෝවිඩ්-19 එන්නත නිසාත්, උණ, සීතල, හිසරදය, මහන්සිය, ඇඟපත රිදීම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම, ශරීරයේ එන්නත ලබාදුන් ස්ථානය රතුවීම හෝ එම ස්ථානයේ වේදනාව හෝ ඇතිවිය හැකියි.

Translations by Creative Content Consultants

හැමෝටම අතුරු ආබාධ ඇතිවන්නේ නැහැ. එහෙත්, ඔබට එසේ ඇතිවෙන්නට පුළුවන්. ඒවා සාමාන්‍ය, සුලබ තත්වයන් බව අවබෝධ කරගන්න.

එමගින් ඔබට අපහසුතාවක් ඇතිවෙන්නටත් පුළුවන්. සමහරවිට අසනීප ගතියක් දැනේවි. ඒවා සුළු  ප්‍රතිචාරයි. දින කීපයකින් ඒවා ඉබේම සුවපත් වෙනවා.

ඔබට උණ හා ඇඟපතේ වේදනාව මගහරවාගැනීම සඳහා සාමාන්‍යයෙන් ඔබ ලබාගන්නා ඖෂධ ලබාගන්නට පුළුවන්.

එන්නත නිසා ඔබට අතුරු ආබාධ ඇතිවෙනවා නම්, එය සාමාන්‍යයෙන් සිදුවන්නේ එන්නත ලබාගැනීමෙන් පැය 12කට පසුව බව තිබෙන තොරතුරු අනුව පෙනෙනවා. එම නිසා, මෙම කාල පරිච්ඡේදය තුළ වැදගත් වැඩ යොදාගන්නට එපා. අවශ්‍ය වුණොත් විවේක ගන්නට සූදානම්ව ඉන්න.

අතුරු ආබාධ ඇතිවන බොහෝදෙනාට එන්නත ලබාගැනීමෙන් පසු පැය 36 – 48 අතර කාලය තුළදී  අතුරු ආබාධ අඩුවී යාම ආරම්භ වෙනවා.

එහෙත්, අතුරු ආබාධවල ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

ඉතා දරුණු හා දිගුකල් පවතින අතුරු ආබාධ මතුවී තිබෙන්නේ ඉතා කලාතුරකින්.

ඒ වුණත්, ඔබට සාමාන්‍ය හෝ බරපතල අසාත්මිකතාවක් හෙවත් ඇලර්ජි තත්වයක් හෝ ඇනෆිලැක්ටික් තත්වයක් ඇතිවෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. බරපතල අසාමික තත්වයක් හඳුනාගැනීම පහසුයි. හිටිවනම සිරුර කැසීම, උගුර හෝ දිව ඉදිමීම, හතිය, වමනය හා ක්ලාන්ත ගතියක් දැනීම බරපතල අසාත්මිකතාවක ලක්ෂණයි. මෙය සුවපත් කළ හැකි තත්වයක්. එහෙත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

සෞඛ්‍ය අංශ විසින් එන්නත්වල සුරක්ෂිතබව අඛණ්ඩවම නිරීක්ෂණය කරනවා. බරපතල අතුරු ආබාධ ඇතිවීම ගැන අධ්‍යයනය කිරීම එහිදී ඉතා වැදගත්. එම නිසා, ඔබට එවැනි තත්වයක් ඇතිවුවහොත් ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුම්දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එමගින් වඩාත්ම ප්‍රශස්ථ ප්‍රතිඵල ලබාගත හැකි අයුරින් එන්නත භාවිතා කරන්නේ කෙසේදැයි තීරණය කිරීම විශේෂඥයන්ට පහසු වෙනවා.  

එන්නත ලබාගත්තාය කියා දැන් සියල්ල හරි යයි සිතන්නට එපා. මුඛ ආවරණ පැළඳීම, මීටරයේ පරතරය තබාගැනීම, සෙනග රැස්වන ස්ථාන මගහැර සිටීම වැනි සෞඛ්‍යාරක්ෂක පියවර දිගටම අනුගමනය කරන්න. හැම කෙනෙකුම ආරක්ෂිත වනතෙක් සමස්ත සමාජය සුරක්ෂිත නැති බව මතක තබාගන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා