කොවිඩ්-19 සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙනු

බිම් මට්ටමෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව හා රජයේ ජාතික මට්ටමේ නිල සංඛ්‍යාලේඛන අතර වෙනස්කම් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම සැකය වෙනත් අංශ විසින් ද මතුකර තිබේ.

නිල සංඛ්‍යාලේඛන අනුව පවා මේ වන විට දිනකට රෝගීන් දහසකට ආසන්නව ද, මරණ දහයකට ආසන්නව ද හමුවන දින තිබේ. ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී 13ක මට්ටමේ සිට වර්තමානයේදී 19දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලෝකයේ කොවිඩ්-19 ප්‍රස්ථාරයේ වක්‍රය පහතට නැඹුරු වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඉදිරිපුවරුවෙන් පෙනේ. (1 රූපය බලන්න)

කොවිඩ්-19 ලෝක ප්‍රස්ථාරයේ වක්‍රය පහතට හැරෙමින්

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, රුසියාව, එක්සත් රාජධානිය වැනි වේගයෙන් කොවිඩ්-19 පැතිර ගිය රටවල ද ප්‍රස්ථාරයේ වක්‍රය පහළට නැඹුරු වී තිබේ. (2 රූපය)


කොවිඩ්-19 වේගයෙන් පැතිරුණු රටවල ප්‍රස්ථාරවල වක්‍රයන් පහතට හැරෙමින්

එහෙත්, ශ්‍රී ලංකාව පවතින්නේ අර්බුදකාරී තත්වයක බව ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රස්ථාරය පෙන්නුම් කරයි. (3 රූපය බලන්න)
රී ලංකාවේ කොවිඩ්-19 තත්වය තවමත් අවිනිශ්චිතය

ශ්‍රී ලංකා රජය එක් යුගයකදී උත්සාහ කළේ කොවිඩ්-19 තුරන් කර, එසේ කළ ලොව පළමු රට ලෙස වාර්තාගත වීමටයි. මෙවැනි මෝඩපහේ ආසාවන්ට වසංගතවේදීන් පවා අනුග්‍රහ දැක්වූ බව පෙනෙන්නට තිබේ. ඒ වෙනුවෙන් රට පුරා තේරුමක් නැති ඇඳිරි නීතියක් දමා ආර්ථිකය කඩාකප්පල් කළ අතර, දැන් රෝගය වේගයෙන් පැතිරෙමින් තිබියදී සීමිත අවහිර කිරීමක්වත් කරගැනීමට බැරි මට්ටමට රටේ ආර්ථිකය පිරිහී තිබේ.

දැන් රජය උත්සාහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සාර්ථක ලෙස කොවිඩ්-19 පාලනය කරගෙන සිටින බව පෙන්වීමටයි. ඒ වෙනුවෙන් අනුගමනය කරන ප්‍රධාන මූලෝපාය වන්නේ තොරතුරු සැඟවීමයි. අලුත් කොවිඩ්-19 ප්‍රභේදයක් පවා ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින සංදර්භයක් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට පවසන්නේ රටේ තවමත් තිබෙන්නේ පොකුරු කීපයක් බවයි. කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බව රජය ප්‍රකාශ කරන්නේ නැත. එසේම, මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ වර්ධනයක් ද නැත.

මේ අතර රජය කොවිඩ්-19 සම්බන්ධයෙන් ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවාද යන සැකය බොහෝ පාර්ශ්ව මතුකරයි.

ආණ්ඩුව කොවිඩ්-19 සම්බන්ධයෙන් මුලපටන්ම විවිධ නොමග යැවීම් කළේය. සෞඛ්‍යය සම්බන්ධ ඇමතිවරුන් විසින් කරන ලද මුට්ටි ගඟට දැමීම්, පැණි ප්‍රවර්ධනය කිරීම් ආදිය උදාහරණය.

තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය.

Adapted from praja.lk





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා