වාසු ගැන නිව්ස් එකක්
අජිත් පැරකුම් ජයසිංහ
මේ දවස්වල කොවිඩ්-19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසු සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසු සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති නැහැ. මට නම් දැන් වාසුයි, පරණ වාසුයි අතර මහලොකු වෙනසක් පෙනෙන්නෙ නැහැ. හුඟක් අය ඔහොම තමයි.
පරණ සිද්ධියක් මතක් වුණා. 2002-2003 වගේ කාලෙ අපි ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් වැඩසටහන පරාජය කරන්නට වීදියේ සටන් කරනවා. ඒකෙ නායකත්වයේ හිටියෙ සරත් ප්‍රනාන්දු, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, මහමාන්කඩවල පියරතන හාමුදුරුවෝ වැනි අය. ඒ වුණාට පිකටිංවලට බොහෝ වෙලාවට තනියම ඇවිත් නායකයින් වගේ වොයිස් කට් දුන්න දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වාසු අනෙක් කෙනා බාහු. ඒ දවස්වල අපි මේ පොරවලට කිව්වෙ කෝකිලයො කියලා. අනුන්ගෙ කූඩුවල බිජු දාන නිසා.
නිව්ස් එක ඒක නෙමෙයි. ඒ දවස්වල අපි හිරු පත්තරේ මාසික පත්තරයක් විදියට කරනවා. මං හැමදාම ඒ පත්තරේට කවියක් ලිව්වා. ඒ පත්තරේ කවි පිටුවෙ ඒකට හොඳ තැනක් ලැබුණා. මං රාවයටත් කවි ලිව්වා. වැඩිහරියක් කවි දේශපාලන සටන් පාඨ වගේ. කවිවල කුණුහරුපත් තිබ්බා. ඒ කාලෙ ඒවා ජනප්‍රියයි. ඒ සමහර කවි ගැන දැන්නම් මට ලැජ්ජයි. නිව්ස් එක ඒකත් නෙමෙයි.
දවසක් මොකක් හරි සාකච්ඡාවක් ඉවරවෙලා අපි කතා කරමින් ඉන්නකොට හිරු පත්තරේ ගැනත් කතා කළා. අන්න ඒ වෙලාවෙ වාසු සහෝදරයා කිව්වා “මං කැමතියි අජිත් පැරකුම් ජයසිංහගේ කවිවලට” කියලා.
එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි.
කවි ලියන, කවි ගැන ගැඹුරු විචාර ලියන අයයි, කවි කියවන අයයි අතර වෙනසක් නැහැ කියලායි මං දැන් හිතන්නෙ. ඒ වගේම කවි කියවන අයයි නොකියවන අයයි අතරත් වෙනසක් නැහැ.
මේ වාසු සහෝදරයා ගැන කවියක්, වාසු කැමති, මං අකැමැති ස්ටයිල් එකෙන්:
රතු පාටට කළු මුසු වී
කුරහන් පාටට හැරුණා
කස්ත්‍රො වගේ හිටපු වාසු
මහින්ද ළඟ පකය වුණා
මාක්ස්වාදයේ අඩිය
ධනවාදෙන් ෂැන්ඩි වුණා
සාදුකකින් පෙළුණ වාසු
මැදමුලනෙන් බැහැල ගියා
අන්තිම සටනට එක්වුණ
වාසු පාර්ලිමේන්තු ගියා
ගොවි කම්කරු ජනතාවට
ජාතිවාදෙ විෂ පෙවුණා
ඝන වූ දේ වාෂ්ප වී
භෞතිකවාදෙත් කෙලෙසුණා
ධම්මිකගේ පැණිය බීපු
වාසුත් ආසාදනය වුණා
සරාගී, සුන්දර, සරල චරිතයක් වන වාසුදේව නානායක්කාර සහෝදරයාට අසූ දෙවෙනි වියේදී අභිමුඛ වූ මෙම අභියෝගය ජයගන්නට ශක්තිය ඇතැයි මම සිතමි. කොරෝනා වයිරසය පැරදවීමට ඔහු සමත් වේ නම්, ඔහු විසින් කරන ලද සියලු දේශපාලන අරගලවලට වඩා එය වටින්නේ යයි මම සිතමි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.