ලසිත් මාලිංග ජනාධිපතිට හූ කියෙව්වා ද?

ලසිත් මාලිංගගේ සමුගැනීමේ එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රේක්ෂකාගාරයේ පිරිසක් හූ කීම මේ වන විට ඔබ දන්නා කාරණයකි. ඔවුන් ‘පඹයා – මෛත්‍රී’ යි කෑගසා හූ කියනු වීඩියෝවලින් දුටුවෙමි.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing
ජනාධිපති මෛත්‍රී යනු 2015 ජනවාරි 8 ජනවරමට පයින් ගසා, එය එකී ජනවරමෙහි සතුරන්ට විකිණීමට ගොස් හොරට කිරා අසුවීම නිසා විරුව පට්ටං ගසාගන්නට සිදු වූ නායකයකු බව ඇත්ත ය. එහෙත්, ඔහු දේශපාලනික වශයෙන් පඹයකු නොවේ. මේ වන විටත්, ඔහු දේශපාලනයේ දක්ෂ ක්‍රීඩාවක යෙදෙමින් සිටියි. ඉදිරි ජනාධිපතිවරණයකදී ඔහු පොදු ජන පෙරමුණට දමන කොන්දේසිවලට එමගින් දක්වන ප්‍ර‍තිචාරය ඉතා වැදගත් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ජනාධිපතිවරණයක් දිනන්නට බැරි ය. එහෙත්, ඡන්ද කඩන්නට පුළුවන.
ඔහුගේ ගැටලුව වූයේ ඔහු වනාහි ඔහුට තේරුම් ගන්නට බැරි දේශපාලන සංදර්භයක් තුළට ඇද දමා අතරමං කරනු ලැබූවකු වීමයි. ඔහුට නායකත්වය දිය යුතු පරිණත දේශපාලනඥයා වන රනිල් වික්‍ර‍මසිංහ ඔහුගේ භූමිකාව ඉටු කළේ නැත. මෙම පුද්ගලයන් දෙදෙනා අතර ඇති වූ ගැටුම දැන් දෙන්නා මුහුණට මුහුණ නොබලන මට්ටමට වැටී ඇත. නායකත්වයක් ලැබිය යුතුව තිබුණු අයෙකු නායකත්වය යනු කුමක්දැයි සොයාගිය ගමන ඔහුගේ පසුගිය වසර හතරහමාරක දේශපාලන රැකියා මාර්ගයයි.
ජනාධිපති මෛත්‍රීපාල ලසිත් මාලිංගගේ අවසන් එක් දින තරගය බලන්නට නොයා යුතුව තිබිණි. එය ඔහුට අනවශ්‍ය වැදගත්කමක් දීමකි. ලසිත් මාලිංග දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු වැනි දක්ෂයන් රැසක් ලංකාවෙන් බිහි වූ අතර ඉදිරියට ද බිහි වනු ඇත. ලසිත් මාලිංග මෙම වකවානුවේ ලංකාවේ වීරයකු මිස ලෝක මට්ටමේ සදාතනික පුරාවෘත්තයක් නොවේ.
ලසිත් මාලිංගගේ තාවකාලික උද්වේගකාරී ජනප්‍රියත්වයේ පානෙන් එළිය බලන්නට ජනාධිපති තනතුර හොබවන්නෙකු යන්නේ මොකට ද? එවැනි වැඩ ගැලපෙන්නේ මහින්ද රාජපක්ෂ වැනි උද්වේගකාරී නායකයන්ට ය. මෛත්‍රීපාල සිරිසේන කළ යුතුව තිබුණේ ලසිත් මාලිංගව ජනාධිපති මන්දිරයට කැඳවාගැනීමයි.
මහින්දගේ කරට අතදැමීමෙන් හෝ ක්‍රිකට් තරගය බලන්නට ආ සෙනග ලවා ජනාධිපතිවරයාට හූ කියවීමෙන් හෝ ලසිත් මාලිංගට කිසිවක් ලැබෙන්නේ නැත. පොහොට්ටුවෙන් දේශපාලනයට නොආවොත්, ලසිත් මාලිංග තව මාස කීපයකින් කාටත් අමතක වනු ඇත. දේශපාලනයට ආවත්, සනත් ජයසූරිය වැනි දේශපාලකයකු වීමට වඩා දෙයක් ලසිත් මාලිංග කරන්නට බැරි ය. කොටින් ම කීවොත් ලසිත් මාලිංගගේ අවසන් තරගය යනු ඔහුගේ පරිච්ඡේදයේ සමාප්තිය මිසක ඔහු හිතන තරම් මගුලක් නොවේ. ලසිත් මාලිංගව හැදුවේ මේ රටයි. ඔහුගේ සැඟවුණ දක්ෂතා හඳුනාගත්තේ මේ රටේ ක්‍රිකට් පුහුණුකරුවනුයි. ඔහුට පිටිය විවෘත කර දුන්නේ මේ රටේ පාසල් ක්‍රිකට් මිස ඔහු සිය දරුවන් සමග යන්නට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාව නොවේ. මේ රටට ඔය තරම් පඩේ දමන්නට තරම් ලංකාව මාලිංගට කළ වරදක් නැත. ඔහු ඔහුගේ කාර්යය හරියට ඉටු කළේ ය. ලංකාව ඒ වෙනුවෙන් ගරු කළ යුතු අන්දමට ඔහුට ගරු කළා ය.
සිරිසේනට හූ කිව්වේ වැඩකට නැති රස්තියාදුකාර අයුතු ජන රාශියකි. මොබ් යනු තාර්කික බුද්ධියෙන් විමසා බැලීමෙන් තොරව එවේලේ මතු වන නායකත්වයක් පසුපස අන්ධ වශී වීමකින් දුවන ප්‍ර‍චණ්ඩ විකාරකාරයන්ගේ සාමූහිකයකි. මෙතන සිටි පොහොට්ටුකාරයකු වැඩේ පටන් ගන්නට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර හූ කියපු එවුන් එක එකා අපහාස නීතිය හෝ වෙන මොකක් හෝ නීතියක් යටතේ විමර්ශනයක් සඳහා රහස් පොලිසියට කැඳෙව්වා නම් මොබ්වලින් මුක්ත තනි තනි සොකඩයන්ට රෙද්දෙ චූ යනු ඇත. රටක විනයක් තිබිය යුතු ය. දේශපාලන නොවන, ක්‍රීඩා උත්සවයකදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් ක්‍රීඩාලෝලීන් විනය විරෝධී අන්දමින් ක්‍රියා කිරීම වැළැක්විය යුතු ය. නැතිනම් මෙය නරක පූර්වාදර්ශයක් සපයනු ඇත. ක්‍රීඩා පිටියට දේශපාලනය ගෙන ඒම වැළැක්විය යුතු ය. දේශපාලකයන්ට හූ කියන්නට උවමනා අය දේශපාලන රැස්වීමකට ගොස් එසේ කර පෙන්විය යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා